වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




A/L ඉවරයි දැන් ඉතින් ලක්මිණි හමුවෙමු

A/L ඉවරයි දැන් ඉතින් ලක්මිණි හමුවෙමු

ළඟදීම චිත්‍රපටයක් කරනවා

A/L අවසන් වූ, තරුණයන්ගේ සත්‍ය කතාව එයයි. මේ සතියෙහි දින පහෙහිම රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘ඒ/ඹ් ඉවරයි’ ටෙලි නාට්‍යය කියන්නේ ඔවුන්ගේ කතාවයි. ඒ අපූරු කතාව ඔබ වෙත ගෙන එන්නේ තාරුණ්‍ය අතර සිටිනා ඔහු ලක්මිණි අමරදේවයි. වේදිකාවෙන් තම කලා ගමන ආරම්භ කරන ලක්මිණි අමරදේව පුංචි තිරයට වඩා රිදී තිරයට ආදරය කරන්නෙකි. මේ පෙළ ගැසෙන්නේ ඔහු සමඟ ඔහුගේ කලා ජීවිතය, ඒ ලෙවල් ඉවරයි හා ඉදිරි ගමන පිළිබඳ කළ සංවාදයකි.

කලා ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ඔබගේ පසුබිම ගෙවී යන්නේ කොහොමද?

‘මගෙ ගම මාතර. මා පාසල් යන්නේ රාහුලයටයි. ඕ ලේවල්වලින් පස්සේ ඒ ලෙවල්වලට මමත් හිතාගෙන හිටියේ ආට් කරන්නයි. නමුත් ඒ ලෙවල්වලට කළේ බයෝ සයන්ස්. ඒක කළේ ආසාවෙන් නම් නෙමෙයි. අපේ පුරුද්දක් තියෙනවානේ දෙමව්පියන්ට ඕනෑවට ළමයි හදන. අන්න ඒ වගේ හැදුනු එකෙක් මං. ඒ අතරෙදි මං නිවෙසින් ආවා. එළියෙන් ඉඳගෙනයි ඒ ලෙවල් කළේ. එළියට ආවේ නිදහස සොයාගෙන වගේම ජීවත්වෙන්න අලුත් විදියක් හොයා ගෙනයි. එදා ඉඳලම සිනමාකාරයෙක් වෙනවා කියන අදහස මගේ සිතේ තිබුණ දෙයක්. ඕ ලෙවල් කාලය වෙන කොට මම මාතර තිබුණු චිත්‍රපට ශාලාවල ෂෝස් තුනම බලනවා. රෑ 9.30 තිබුණොත් ඒත් බලනවා. එක ෆිල්ම් එක දහ දොළොස් වතාවක් බලනවා. ඒක තමයි ජීවිතය වුණේ. ඊට එහා ප්‍රාර්ථනාවක් නොතිබුණු තරම්.

ගමෙන් කොළොම්පුරයට පය තිබ්බට පස්සේ ඔබගේ ප්‍රාර්ථනාවට යම් ඉඩක් නිර්මාණය වෙනවා නේද?

‘ටවර්හෝල් රඟහල පදනමේ නාට්‍ය පාසලට සම්බන්ධ වුණු මා මුලින්ම යෞවන සම්මාන උළෙලට ඉදිරිපත් වෙන්නේ 1998 වසරේදී. ‘දෙවැනි තට්ටුව’ට සම්මාන පහක් ලැබුණා. 2001 දී මම කළ ‘ටුටූගේ තානායම’ට හොඳම රංගාලෝකයට හිමි සම්මානය ලැබුණා. ඊළඟට රැල්ලට අහු වෙලා එහා මෙහා වීසි වෙමින් සිටිය මම අරමුණක් සෙව්වා. අරමුණට ළං වෙන හැටි හිතුවා. ඊට පස්සෙයි 2008 දී ‘රස්තියාදුකාරයා’ ටෙලි නාට්‍යය කරන්නේ. ඒ සුමති සම්මාන උළෙලේ ඇගයීමට පවා ලක් වුණා. ඊටත් අවුරුදු පහකට පස්සේ ඒ ලෙවල් ඉවරයි පුංචි තිරයට ගෙනාවා.’

‘ඒ ලෙවල් ඉවරයි’ ටෙලි නාට්‍යයේ දිවෙන්නේ ඔබගේ ජීවිතයමද?

‘අපේ ජීවිතයි. මගේ ජීවිතය නම් එළියට දාන්න වෙන්නේ නෑ. මොකද එහෙම වුණොත් ඒ නිර්මාණය අනිවාර්යයෙන්ම තහනම් කරයි. ඒ වගේම මගේ ජීවිතයේ කොටසක් විතරක් එළියට දාන්න මම කැමැති නැහැ. ඒක ඒ විදියෙන්ම නිර්මාණශීලී විදියට එළියට අරගෙන එන්න ආසයි. කෑලි කැපුවම ඒක කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා හැඩය නැතිව යනවා. නමුත් චිත්‍රපටයකින් ඒක කරන්න පුළුවන්. ඒ නිසා ළඟදීම චිත්‍රපටයක් කරන්න බලාගෙන ඉන්නවා. මම හිතන්නේ ළඟදීම ඒ දේ සිද්ධ වේවි.

ඒ ලෙවල් ඉවරයි තිර පිටපත ලියන්නෙත් ඔබ. තිර පිටපත හරහා ජීවත්ව සිටින කාලයේ ලැබූ අත්දැකීම් ප්‍රතිනිර්මාණය වෙන්නේ කොහොමද?

‘ඒක ජීවිතයේ ආයෝජනයක්. ඒත් ඒකට තියෙන්නේ මුදල්මය වටිනාකමක් නොවෙයි. නිවුස් වැලිව් එකක්. ඒ වැලිව් එක ආට් එකක් හදලා එළියට දමන කොට ඒක එක්ස්චේන්ජ් වැලිව් එකක් බවට පත්වෙලා. නමුත් ඒ පරමාර්ථයම වඩා පුළුල් පරමාර්ථයක් වෙනුවෙන් තමයි ටෙලි නාට්‍යයක් ලෙස ඒ ලෙවල් ඉවරයි නිර්මාණය කළේ. මේකේ තිබෙන්නේ අපේ කතන්දරේ. කොළඹට ටෙලි නාට්‍ය කරන්න, රඟපාන්න ආව කට්ටියගේ ඇත්ත කතන්දරේ. අපට තියෙනවා තමන් ඉන්න තැන දමලා ඊට වඩා හොඳ තැනකට යන මානසිකත්වයක්. ඒක හැමෝටම වලංගුයි. ඒ කාරණය මටත් පොදුයි. ඒ නිසා මගේ ආට් එකේ සමාජ පරමාර්ථයක් තිබෙනවා. ඒකට මම කැමැතියි.

මේ ටෙලි නාට්‍යය මේ කාලයේ විකාශය වන ටෙලි නාට්‍යවල තේමාව පැත්තෙන් වෙනස්ම නාට්‍යයක්. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

‘මේ නිර්මාණයේ හැම දේම වෙනස්. ලොජ් එකේ ඉඳගෙන පිටපත හද හදා කෑම උයන වෙලාවල් පවා තිබෙනවා. ඒ තරමටම අපි සතුටින් තමයි ඉන්නේ. මම කියන්නේ අපි ජීවත් විය යුත්තේ නිදහසේ. අපෙන් කාටවත් කරදරයක් නැත්නම් කවුරුවත් ඒක ගැටලුවක් කර ගත යුතු නෑ. අමුතු වැඩක් නිසා කට්ටියත් අමුතුයි. ටීම් වර්ක් එකක් නිසා හැමෝම මහන්සි වෙලා වැඩ කරනවා.

ඒ වගේම ටෙලිවිෂනය ළඟ වාඩි වෙලා ඇබ්බැහි වෙලා බලන්න පුළුවන් නාට්‍ය තිබෙන්නේ එකයි දෙකයි. බොහෝ දෙනෙක් කියනවා අපි ‘ඒ ලෙවල් ඉවරයි’ කියන ටෙලි නාට්‍යයට කැමැතියි කියලා. ඒ අපි ගැන නොදන්න අයගේ ප්‍රතිචාරයි.

කතා තේමා ඕනෑ තරම් තිබියදී ඇයි ඔබ මෙවැනි තේමාවක්ම තෝරා ගන්නේ?

‘මේක ටෙලි නාට්‍යකරුවන්ගේම ප්‍රශ්නයක් නොවෙයි. මුළු සමාජ ප්‍රශ්නයම මෙතන තිබෙනවා. සිංදු කියන අය, ඔෆිස්වල ජොබ් කරන අය, ගැහැනු ළමයින්ගේ ප්‍රශ්න, මිනිස්සුන්ට ජීවත් වෙන්න යන කොට තිබෙන ප්‍රශ්න, පිරිමියෙක් මුහුණ දෙන ප්‍රශ්න ආදී සියල්ලම මේක ඇතුළේ තිබෙනවා. මේක ආට් පිළිබඳ නොවේ, ජීවිතය සම්බන්ධ නාට්‍යයක්. ලොකුවට මේකේ චිත්‍රපටයක වගේ රූප රාමු ගේන්න අපට බැහැ. එහෙම කරන්න තරම් අපට චැනල්වලින් ගෙවන්නේ නැහැ. ඒ බජට් එක ඇතුළේ කරන්න පුළුවන් දේ අපි කරනවා. එහෙම නැත්නම් අපේ හොඳම නිර්මාණය නොවෙයි මේ. හොඳ නිර්මාණය දෙන්න තරම් දියුණු තාක්ෂණික උපකරණ පාවිච්චි කරන්න අපට නොහැකියි. හොඳ සංස්කරණයක් කරගන්න විදියක් නැහැ. ඒ වගේ ප්‍රශ්න රාශියක් තිබෙනවා.’

මේ ප්‍රශ්න සියල්ල නිර්මාණය වන්නේ මෙගා ටෙලි නාට්‍යයක් කියන ලේබලය හරහාද?

‘නෑ. ටෙලි නාට්‍යයක් කිරීමේදී ඒ සඳහා චැනල් එකකින් ගෙවන්නේ බොහොම අඩු මුදලක්. ටෙලි නාට්‍යයක් ලස්සනට කරන්න හරියටම ලක්ෂ තුන, හතරක්වත් ඕනෑ. ඒ වැඩේ ලස්සනට කරන්න නම් ඒකේ වැඩ කරන මිනිස්සුන්ට හොඳට ගෙවන්න ඕන. ඔවුන් ඒ මුදලින් තෘප්තිමත් බවක් ඇති වෙන්න ඕනෑ. මෙතනදි මිනිස්සු තෘප්තිමත් වෙන්නේ මුදල් ගැන හිතලා නෙවෙයි. නමුත් ව්‍යාපාරයකදී මිනිස්සු තෘප්තිමත් වෙන්නේ ඒ ආයතනයේ ගෙවීම ගැන හිතන නිසයි. මිනිස්සු බලනවා ඒ තරම් වේතනයක් දෙන රැකියාව පරිස්සම් කර ගන්න. දැන් මිනිස්සු ටෙලි නාට්‍යවල වැඩ කරන්නේ ඒවාට සාප කර කර. එහෙම නොවී හරියට ගෙවන්න පුළුවන් නම් ඒ හැම කෙනාම තමන්ගේ වැඩේ හරියට කරනවා. වෘත්තීය තරගකාරීත්වයක් ඇති වෙනවා.

මෙහෙම තත්ත්වයක් නිර්මාණය වීම වෙනස් කිරීමට කුමක්ද කළ යුත්තේ?

‘හරි අපි කියනවා ඔය ගානට ටෙලි නාට්‍යය දෙන්නේ නෑ කියලා. එතකොට කොහෙන් හරි එකෙක් ඉන්නවා ඒ ගානට ටෙලි නාට්‍ය හදලා දෙන. ලෝකයේ ඕනෑම ආයතනයක් නිෂ්පාදනයක් කරන්න වෙන කවුරු හරි අයට භාර දෙනවා නම් ගොඩක් සාකච්ඡා යනවා. ඒකේ ප්‍රමිතිය ගැන කතා කරනවා. ඒ නිෂ්පාදනය සබන් කැටයක් කියලා හිතන්නකෝ. එතකොට ඒ සබන් කැබැල්ල හදවලා බලලා, ඒකේ ප්‍රමිතිය, ඒකේ වැඩ කරන සේවකයින් පිළිබඳ සහතිකයක් අරගෙන, ඒ අයට ඒක කරන්න පුළුවන් ද කියලා තීරණයකට ඇවිත් තමයි නිෂ්පාදනය කරන්න ඔවුන්ට භාර දෙන්නේ. අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ එහෙම ප්‍රමිතියක් නෑ. අද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන කෙනා හෙට රඟපනවා.

අධ්‍යක්ෂණය කරනවා. තවත් සමහර විට කැමරා අධ්‍යක්ෂණයටත් පිවිසේවි. තමන්ගේ නිෂ්පාදනය පිළිබඳ හිතන්නේ නැති එකම නිෂ්පාදන ආයතනය වෙන්නේ නාලිකා පමණයි. ප්‍රමිතියට හදන ටෙලි නාට්‍යවලට අයවැයක් තියෙනවා. මෙගාවලට අයවැයක් නෑ. හරියට ඒවා කරන්නේ කෑලිවලට ඇඳුම් මහනවා වගේ. කර්මාන්තයක් එතැනට වැටෙන්න ඕනෑ නෑ. අපේ ටෙලි නාට්‍ය අද තිබෙන්නේ එතැනයි. මේ සෑම දෙයකටම ප්‍රතිපත්තියක් අවශ්‍යයි.

ඒ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම සඳහා ඔබ ඇතුළු පිරිසට කළ හැක්කේ කුමක්ද? කවුද ඒක නිර්මාණය කළ යුත්තේ?

‘අප එකතු විය යුත්තේ කාත් සමඟ ද කියන ප්‍රශ්නය මට තිබෙනවා. එකතු වෙන්න දෙයක් ඇත්තේ නෑ. මම කියන්නේ බලල හැදෙන්න කියලයි. බලන්න සමාජයක ඉන්න මිනිස්සු කොයි තරම් ආත්මාර්ථකාමී ද කියලා. බහුතරය සුබවාදීව හිතනවා නම් සෑම දෙයකටම ප්‍රතිපත්තියක් තිබෙනවා නම් ඒක වඩා හොඳයි. මේ ගැන කතා කරන අය කතා කරන්නේ කතා කරන වෙලාවට පමණයි. ඒ පුද්ගලයා ගෙදර ගියාට පස්සේ වෙනස්ම පුද්ගලයෙක්. හැමෝම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජීවත්වීමක් තිබෙන්නේ. ඒක වෙනස් කරන්න නම් ඉහළින්ම ඒක සිද්ධ වෙන්න ඕන දෙයක් ලෙසයි මා දකින්නේ.

ඔබ මීළඟට ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණෙන්නේ සිනමා නිර්මාණයක් ඔස්සේද?

‘හොඳ එන්ටර්ටේන්ට්මන්ට් චිත්‍රපටයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වන විට ඒ කටයුතුවල භාගයක් පමණ වැඩ අවසානයි. චිත්‍රපටයක් බැලුවාට පස්සේ ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕනෑ. ඔවුන්ට චිත්‍රපටය කියන්නේ කාලය ගත කරන හොඳ විදියක් වෙන්න ඕනෑ. එතකොට මිනිස්සුන්ට තේරෙයි රු 500 ක් දීලා බුරියානි එකක් කනවාට වඩා පවුලේ කට්ටියත් සමඟ චිත්‍රපටයක් බලන එක හොඳයි කියලා. ඒ වගේ තැනකට සිනමා කර්මාන්තය ආවොත් මිනිස්සු බුරියානි නොකා චිත්‍රපට බලාවි. නමුත් ඒ තත්ත්වය අද සිනමාවේ නෑ. එදා තිබුණා. තාමත් අපි කලංසූරියට, විමල් කුමාර් ද කෝස්තලාට ආදරෙයි.

අද තියෙන්නේ ටෙලි නාට්‍ය වගේ චිත්‍රපටයි. ඒ තත්ත්වය දියුණු කරලා හදාගන්න ඕන තත්ත්වයක්. කොහොම වුණත් මම වඩාත්ම කැමැති සිනමා මාධ්‍යයටයි. ඒක බොහොම නිදහස් මාධ්‍යයක්. මම හිතන දේ කරන්න එතැන නිදහස තිබෙනවා. මේ ඔස්සේ ඉඳගෙන කරන මගේ නිර්මාණය ඉදිරියේදී හොඳ වැඩක් වේවි.