වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




හැම දේම කාලය තීරණය කරාවි

හැම දේම කාලය තීරණය කරාවි

මං ෆේල් වෙන්න වැඩ කරන්නෙ නැහැ

අද අපේ කථා නායිකාව කුෂාණි සඳරේඛා. කලාවේ ගුණ සුවඳ උප්පත්තියෙන්ම රැගෙන මෙලොව එළිය දකින ඈ කුඩා කල සිටම සංගීතයේ විවිධ සංධිස්ථානයන්හි හමු වූ හැටි අපට තවමත් මතකයි. වරංගනා ඈ වෙනස්ම ආකාරයකට අප වෙත පැමිණී ගීතයක්. ඒ ලෙසින්ම ‘කුරුල්ලෝ ඔබේ තාලෙන්’ ගීතය හරහා මෑත භාගයේ අතිශය ජනප්‍රියත්වයට පත් කුෂාණි තමාගේ රසිකත්වයේ ඡන්දය හැමදාමත් එක ලෙස ජයග්‍රහණය කළ ගායිකාවක ලෙසටත් හඳුන්වා දෙන්නට පුළුවන්.

විවිධ ගවේෂණ කරමින් ද ඒවායින් සොයා ගන්නා මෙවලම් සහ දැනුම උපයෝගි කර ගනිමින් ද, විවිධ පර්යේෂණ කරමින් ඉන් විවිධ නිගමනවලට එළඹෙමින් කුෂාණි යන ගමන ඒකාකාරී වේගයකින් ඉදිරියට යන ස්ථාවර ගමනක් ලෙසට ද පෙනෙන්නට තිබේ.

මෙවර කුෂාණි අප හමුවන්නේ මීට පෙර ද අප කතාබහ කළ නමුත් වසර හතරකට පසු නැවතත් අලුත් වූ The Red Black and wite ප්‍රසංගය සමඟයි. මෙම ප්‍රසංගය ගැනත් තමා ගැනත්, වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ රැළි ගැනත් කුෂාණි සමඟ සරසවිය කළ කතාබහයි මේ.

මුලින්ම අපි මේ සාකච්ඡාවේ නිමිත්ත ගැන කතා කරමු.

ද බ්ලැක් රෙඩ් ඇන්ඩ් වයිට් ප්‍රසංගය ලංකාවේ රසිකයන්ට අලුත්ම අත්දැකීමක් නොවෙයි. මේ නම ඔවුනට හුරුයි. 2009 වසරේ මම කසුනුත්, අමල් එකතු වෙලා මේ ප්‍රසංගය පැවැත් වූවා. වසර හතරකට පස්සේ නැවතත් මේ නමින්ම එදාට වඩා ඉතාමත් වෙනස් ප්‍රසංගයක් කරන්නට හිතුවා. මේ ප්‍රසංගය අගෝස්තුª17 වැනිදා සවස 6.30 ට ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී රසික රසිකාවන් වෙනුවෙන් තිළිණ කරන්නට සියල්ල සූදානම්.

මුලින්ම ඔබ, අමල්, කසුන් . . . නමුත් මේ ප්‍රසංගයේදී වෙනසක් සිදු වුණා නේද?

ඔව්, අමල් වෙනුවට මෙම ප්‍රසංගයට නදීක ගුරුගේ සහභාගි කර ගත්තා. දැන් රතු මම, කළු කසුන්, සුදු නදීක.

මේ ප්‍රසංගයට අමල් අයින් කරලා නදීක යොදා ගත්තේ නදීකගේ මාර්කට් එක මේ දිනවල හොඳ නිසාද?

නැහැ. නදීකයි මමයි එකට සංගීත කටයුතු කරල තියෙනවා. මේ ප්‍රසංගයට ගායන, නර්තන වගේම වාදන පැත්තත් එකතුªකරන්න මට උවමනා වුණා. ඒ නිසා තමයි අමල් වෙනුවට නදීකව යොදා ගත්තේ. ඒ වගේම මෙවර ප්‍රසංගයේ යම් වෙනසක් ඇති කළ යුතුයි කියලා හිතුණා. මට අවශ්‍ය වුණේ මාර්කට් එක නෙවෙයි, මේ ප්‍රසංගයට අලුත් යමක් එක් කරන්නයි. එහෙම නැතිව අමනාපයකින්, සිත් බිඳීමකින් වුණ දෙයක් නෙවෙයි ඒක.

මේක තුන්දෙනා එකතු වෙලා සල්ලි ටිකක් හොයන්න හදපු ව්‍යාපෘතියක්ද?

නැහැ. කොහෙත්ම නැහැ. මේ ප්‍රසංගය මගේ. අනෙක් හැම දෙනාම ප්‍රසංගයේ විවිධත්වය වර්ධනය කරගන්නට යොදාගත් අය. මේ ප්‍රසංගය ඇතුළෙ හැංගිච්ච යටි අරමුණු, ඩබල් ගේම් නැහැ.

බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්නට පුලුවන් මේක තුන්දෙනාගේ ෂෝ එකක් කියලා. ඒත් ඒක වැරැදියි. මේක කුෂාණිගේ ෂෝ එකක්.

ඔබ මේ ප්‍රසංගයට යොදාගන්නෙ වර්ණ?

ඒකට හේතුවක් තියෙනවා. මේ ප්‍රසංගය පුරාවටම කතා කරන්නේ ප්‍රේමය ගැන. ප්‍රේමයට අදාළ වර්ණ තමයි ප්‍රසංගයට යොදා ගත්තේ. ආදරය ශෘංගාරය තමයි රතු වර්ණයෙන් කියා පාන්නේ. කළු වර්ණයෙන් ආදරයේ ස්ථිර බව සහ ප්‍රතාපවත් බව කියැවෙනවා. සුදු වර්ණයෙන් ප්‍රසන්න පවිත්‍රත්වය සංකේතවත් වෙනවා. මෙන්න මෙහෙමයි ප්‍රසංගයේ අදහස තැනුණේ.

බිඳ වැටෙමින් පවතින ජනප්‍රියත්වය නැවත ස්ථාවර කරගන්නද මේ වගේ ප්‍රසංග පවත්වන්නේ?

අනේ නැහැ. මගේ ජනප්‍රියත්වය කවදාවත් ඕනෑවට වඩා ඉහළ ගිහිල්ලා දාරා ගන්න බැරි තරමට මට දැනිල නැහැ. ඒ වගේම ඒ ජනප්‍රියත්වය පහළටම වැටිලත් නැහැ. මගේ ගමන මං හරිම ස්ථාවර මාවතක සරල රේඛීයව යනවා. ඒ නිසා මගේ නම හදාගන්න වුවමනාවක් නැහැ. අනෙක ප්‍රසංගයක් පවත්වලා ජනප්‍රිය වීම කියන්නේ මේ රටාව තුළ විහිළුවක්.

ඔබ ගැන ඔබට හොඳ තක්සේරුවක් තිබෙනවා වගේ?

ඔව්. මම ගැන හරියටම මං දන්නවා. ඒ නිසා ජනප්‍රිය වෙන්න මං දඟලන්නේ නැහැ.

කුෂාණි මේ රැල්ල එක්ක ගැටෙන්න බයද?

නෑ මං සංගීතයට ආදරෙයි. ඒ නිසා මා රැල්ලට අහුවෙලා දියඹට ගහගෙන යන්න මට වුවමනා නැහැ. මට ශක්තිමත් පදනමක් තිබෙනවා. මම සියලු කටයුතු කරන්නේ ඒ පදනමේ ඉඳගෙනයි. සංගීතයට ආදරේ නිසා කාටවත් ඕනෑවට එපාවට එන රැලිවලට අහුවෙන්න මට වුවමනා නැහැ. මං හදාගත්ත නමත්, මගේ ගමනේ රටාවක් තියෙනවා. කොච්චර රැලි ආවත් මං ඉන්නේ මගේ ස්ථාවරයේ.

එහෙම ගියොත් යං ජෙනරේෂන් එක කුෂාණිව ප්‍රතික්ෂේප කරාවිනෙ?

නැහැ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. රැලි ඇවිත් ගියාට වෙරළ හැමදාමත් එහෙමම තියෙනවා. මං නිර්මාණ කරන්නේ රැල්ල කපාගෙන යන්න මිසක් රැල්ලට ගහගෙන යන්න නෙවෙයි.

සින්දුවලට විෂුවල් කරන එක ගැන මොකද හිතෙන්නේ?

හොඳ විදියට කළොත් හැම දේම හොඳයි. මගේ ගීතවලට මමම මැදිහත් වෙලා විෂුවල් කරලා තියෙන්නේ එකයි. ඒ මටම මට කියන ගීතයට විතරයි. දැන් කුරුල්ලේ ඔබේ තාලෙන් ගීතය ජනප්‍රිය වුණේ කිසිම විෂුවල් එකක් නැතුව.

රින්ගිං ටෝන් ගැන මොකද හිතෙන්නේ?

හොඳයි. ඒක අනිසි විදියට භාවිත කරන්නේ නැත්නම් ඉතාමත් හොඳ ක්‍රියාවලියක්.

කුෂාණි රිංගින් ටෝන්වලට ගීත හදල තියෙනවාද?

ආරාධනා ලැබුණා. ඒත් කළේ නැහැ.

රින්ගිං ටෝන්වල කුෂාණිගේ නම තියෙනවනෙ...

ඔව්.

මේ වෙද්දි ඒ ගීතවලට කොච්චර විතර මුදලක් ලැබිලා තියෙනවාද?

සැලකිය යුතු මුදලක් ලැබුණා.

ආසන්න වශයෙන් . . .

අම්මෝ ඒක කියන්න බැහැ. මං පාඩු වෙන්න වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒක තමයි හොඳම උත්තරේ.

ගීත ජනප්‍රිය කරන්න කොච්චර මුදලක් වියදම් කරල තියෙනවද?

සත පහක්වත් කාටවත් දීලා නැහැ. ඒක කියන්නේ වගකීමෙන්.

ඔබ කියනවා මේ ප්‍රසංගය ඔබේ කියල. ඔබට අවශ්‍ය නම් තනියම ප්‍රසංගයක් කරන්න තිබුණනේ?

මං තනියම ප්‍රසංග පවත්වලා තියෙනවා. ඒවා සාර්ථක වෙලත් තියෙනවා. ඒත් හැමදාම මගේ, මගේ, මගේ කියලා තනියම ප්‍රසංග කරන්න මට වුවමනාවක් නැහැ. ඒ නිසා තමයි මේකට තවත් පිරිසක් එකතු කර ගත්තේ. සුරේශ් මාලියැද්ද තමයි ප්‍රසංගයේ සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ. නදීක මේ ප්‍රසංගයට සම්බන්ධ වෙනවා. මේක තනියම කරලා මම කියන සංකල්පය වඩා ගන්න නෙවෙයි වුවමනාව. රසිකයන්ට ප්‍රේක්ෂකයන්ට හොඳ වින්දනාත්මක අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි සතුට.

මියුසික් කරලා ලංකාවේ රැකෙන්න පුළුවන්ද?

බැහැ. අනිවාර්යයෙන්ම බැහැ.

එතකොට කුෂාණි ජීවත් වෙන්නේ කොහොමද?

මම සංගීත පාසලක් පවත්වාගෙන යනවා. ඒකෙන් ලැබෙන ආදායම මගේ සරල ජීවිතේ ගෙවා ගන්න තරමට ප්‍රමාණවත්.

ලයිව් ෂෝවලට ගියොත් හොඳ ආදායමක් උපයා ගන්න පුළුවන්නේ?

අධ්‍යාපනය හදාරන කාලේ මං ප්‍රසංග වේදිකාවෙන් ඉවත්වෙලා හිටියා. ඒ පසුබෑම දිගටම බලපෑවා. බොහෝ දෙනා හිතුවේ මම ප්‍රසංග වේදිකාවට එන්නේ නෑ කියලා. ඒත් එහෙම කිසිම තීරණයක මං නැහැ. ප්‍රසංග වේදිකාවලට නැග්ගම ගොඩක් ඉල්ලන්නේ අම්මගේ ගීත.

ආරාධනාවක් ලැබුණොත් මම ප්‍රසංග වේදිකාවට ගොඩ වෙනවා. එහෙම තෝරා බේරා ගනිමින් මං ලයිව් ෂෝවල සින්ග් කරන්නේ නෑ කියන මතයේ මම නැහැ.

අම්මගේ ගීත තවමත් ජනප්‍රියයි.

ඔව් අම්මගේ ගීතයක් ගායනා කරන්න මං හිතාගෙන ඉන්නවා.

ඒක රී මේක් එකක්ද රී මික්ස් එකක්ද?

අනිවාර්යයෙන්ම රී මේක් එකක්.

වෙන කවුරු හරි ප්‍රවීණ ගායිකාවකගේ ගීතයක් රී මේක් කරන්න ඔබට කතා කරනවා. විශාල මුදලකුත් දෙනවා?

කවදාවත් කරන්නේ නැහැ. ඒක ස්ථාවරයි.

මේ ප්‍රසංගය වෙනස් කියලා ඔබ කියනවා?

ඔව් . . . ඇත්තටම ඒක වෙනස්. මේ ප්‍රසංගයේ නර්තන, ගායන වගේම වාදනත් ඇතුළත් වෙනවා. ඒ වගේම වෙනස්ම රිද්මයකට තමයි මේ ප්‍රසංගයේ අසිරිය ගලාගෙන යන්නේ. ඒක අත්විඳලම බලන්න ඕනෑ දෙයක්.

ඉදිරිය කොහොමද?

ඉදිරියේ ජීවිතේ ගෙවෙන්නේ මියුසික් එක්කම තමයි. මගේ සංගීතාශ්‍රමය දියුණු කරන්නටත් කාලය කැප කරනවා. අලුත් ගීත කිහිපයක් කරන්නත් අදහසක් තිබෙනවා. හැම දේම කාලය තීරණය කරාවි.

ඔයාගේ ටැලන්ට් එකෙන් ප්‍රයෝජන ගත්තේ නෑ කියලා කවුරු හරි කිව්වොත්?

අනිවාර්යයෙන්ම පිළිගන්නවා.

ඒ කියන්නේ ඔබ නිහතාමානි කෙනෙක්.

ඔව්.

මොනවද රසිකයන්ට කියන්න තියෙන්නේ?

මේ 17 සවස 6.30 ට අප හමු වෙමු.