|
||||
මිත්තණියගේ නික්ම යෑම
සීතා කුමාරි
සීතා කුමාරි ඇහැලේපොළ නමින් ගමෙන් කොළඹට පැමිණි ඇය සීතා කුමාරි නමින් රිදී තිරයේත්, පුංචි තිරයේත්, වේදිකාවේත් චරිතාංග රංගනයන් තුළින් පේ‍්‍රක්ෂක හදවත් ඇඳ බැඳ ගත්තේ ප්‍රේක්ෂකයන්ගේ ජීවන අරගලයේ කොටස්කාරියක් වෙමිනි. ඒ නිසාම ඇගේ රංගනයන් ප්‍රේක්ෂකයන්ගේ හදවත් හි ලැගුම් ගත්තේ කඳුළක්, දයානුකම්පාවක් හා සතුටක් එක් කරමිනි. ළඳක මහිම, සැඟවුණු මැණික, රන්සළු, රුහුණු කුමාරි, අක්කර පහ, ගීතා, සමනල කුමරියෝ, නිවෙන ගින්න, මොනරතැන්න, වසන්තයේ දවසක්, සුබෝධා, බෝනික්කා, වදුල, හදවතක වේදනා, දුවට මවක මිස, පවුරු වළලු, සඳ යහනට, මගේ වම් අත, සුළං කිරිල්ලී, දිය යට ගින්දර, රන්දිය දහර, දෙවැනි ගමන ආදී චිත්‍රපට රාශියක ඇය චරිත නිරූපණය කළාය. සීතාගේ රංගන ප්‍රතිභාව ප්‍රේක්ෂක හදවත් වැලඳ ගත්තා සේම ඇයගේ රංග කුසලතාව අවස්ථා කිහිපයකදීම සම්මානනීය අගැයුමට පවා ලක් වූවාය. වත්සලා අක්කා චිත්‍රපටයේ ඇය රඟපෑ මවකගේ චරිතය උදෙසා හොඳම සහාය නිළියට හිමි ජනාධිපති කුසලතා සම්මානයෙන් මුල් වරට පිදුම් ලැබුවාය. පසුව පවුරු වළලු චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම විචාරක සම්මානයට පාත්‍ර වූ සීතා නන්නාඳුනන්නී ටෙලි නාට්‍යයේ රංගනය උදෙසා හොඳම සහාය නිළියට හිමි සුමති ටෙලි සම්මානයට ද පාත්‍ර වූවාය. සැඟවුණු මැණික, රන්සළු, අක්කර පහ, දෑස නිසා වැනි චිත්‍රපට සීතාගේ රංගන දිවියේ පිය සටහන් විය. එක් දරු මවක වන සීතා කුමාරි කලක් සිය පුතු සමඟ ඉතාලියේ වාසය කොට යළිත් ලංකාවට පැමිණ ටෙලි නාට්‍ය ක්ෂේ්ත්‍රයට පිවිසියාය. සිනමාව හැරුණු කොට වේදිකාවේත්, පුංචි තිරයේත් චරිතාංග නිළියක වූ සීතා ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු, රෝයි ද සිල්වාගේ පලාමල්ල, ෆ්‍රැන්සිස් වන්නිආරච්චිගේ වැනීයන් කළු වැනීයන්, වේහැල්ලේ පියතිලකගේ මනම්පේරි කතාව ආදී වේදිකා නාට්‍ය ගණනාවක ද චරිත නිරූපණය කළාය. ශ්‍රියානි අමරසේනයන්ගේ ඇරැයුමින් පුංචි තිරයට එක් වූ සීතා ‘දත් කැකුලුපාලා’ ටෙලි නාට්‍ය රංගනයෙන් පුංචි තිරයේ රංගන පියවර ඇරැඹියේය. මායා, ගිජු, සාප නොකරව් දරුවනේ, නන්නාඳුනන්නී, ස්මරණ, සමාප්ත, උලමාගේ රාත්‍රිය, දුස්සරණයෝ, රම්‍ය සුරම්‍ය ආදී ටෙලි නාට්‍ය රාශියක රඟමින් ඈ ඉතා කෙටි කලක් තුළ ප්‍රේක්ෂක හදවත් දයානුකම්පාවෙන් වැලඳ ගත්තාය. ආනන්ද අබේනායකගේ සංසාරේ පිය සටහන්, දයාරත්න රටගෙදරගේ සිත නිවන කතා පොහෝ දින ටෙලි නාට්‍ය මාලාව තුළින් ප්‍රේක්ෂක හදවත් හි තමන්ගේ මව, මිත්තණිය වූ සීතා වැඩිහිටියන් අතර පමණක් නොව කුඩා දරුවන් අතර ද ජනප්‍රිය චරිතාංග නිළියක වූවාය. 1940 මැයි මස නම වෙනිදා මෙලොව එළිය දුටු සීතා කුමාරි මිය යන විට 73 වන වියේ පසු වූවාය. ඉකුත් හත් වෙනිදා අලුයම කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වූ සීතා කුමාරිගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා බොරැල්ල කනත්තේදී සිදු කෙරුණේ කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. රිදී තිරයේ, පුංචි තිරයේ, වේදිකාවේ මිත්තණියක්, මවක් වෙමින් දශක හතරකටත් වැඩි කලක් සුවහසක් ප්‍රේක්ෂක සිත්සතන් රංගනයෙන් මුසපත් කළ සීතා කුමාරි ඔබට නිිවන් සුව අත්වේවා!
|
||||