වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවීණයන් අතර මම රංගනයට පුංචි බබෙක්

ප්‍රවීණයන් අතර මම රංගනයට පුංචි බබෙක්

ආසියාවේ විවාහක රූ රැජින

ශ්‍රීමාලි ෆොන්සේකා

ශ්‍රීමාලි ෆොන්සේකා ඔබ හමුවට පැමිණෙන්නේ 2012 වසරේදී. ඒ ආසියාවේ විවාහක රූ රැජින තේරීමේ තරගය ජයග්‍රහණය කරමින්. ඈ වසරකට පස්සේ නැවතත් කරළියට එනවා. මේ දවස්වල විකාශය වන නලින් මාපිටියගේ ‘ඉසරසහට යන්න’ කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟමින්.

මොකක්ද ඒ?

තුරුලතා කියන චරිතය තමයි මම රඟපාන්නේ.

තුරුලතා?

ඔව්. ඒක මමත් එක්ක රඟපාන ජගත් චමිල ටෙලි නාට්‍යයේදී මට ආමන්ත්‍රණය කරන නමයි.

ඒ කියන්නේ?

මට ටෙලි නාට්‍යයේ දීපු සැබෑ නම සුලෝචනා.

ඒ නමට?

මම බොහොම කැමැතියි.

තුරුලතා කියන්නේ?

සාමාන්‍ය තරුණියක්.

ඒ වගේම?

ඈ රැකියාවක් කරනවා.

විශේෂත්වය වෙන්නේ?

ඇය නිතරම ගමන් කරන්නේ පාරේ බස් එකේ.

එහෙම වුණත්?

ඈ අනිත් අයට ඒ බවක් පෙන්වන්න කැමැති නෑ.

ජගත් චමිලව මුණ ගැසෙන්නේ?

මේ බස් එකේදි. ඔහු කොන්දොස්තරවරයා.

කොන්දොස්තරගේ බස් එක?

ගමටම එකයි.

මේ කතාව?

දිග හැරෙන්නේ ඒ අතරමගදී සිදු වුණු විවිධ දේ සඳහා ඈ මුහුණ දෙන ආකාරයයි.

හැමදාම උදේට?

බස් එකේ සීට් එකක් අල්ල ගන්න කරන පොරය හරි අපූරුවට ඬරූපණය වෙනවා.

තුරුලතාව ලැබෙන්නේ?

2012 දී මට ලැබුණු විවාහක රූ රැජින තරගය නිසා.

ඔය කියන්නේ?

මේ නිසා මා ගැන අපේ රටේ බොහොම දෙනෙක් කතා කළා.

ඒ අතරදි?

රූපවාහිනියක ගිය වැඩසටහනක් දැකලා මට රඟපාන්න ආරාධනයක් ලැබෙනවා.

කාගෙන්ද?

නලින් මාපිටිගම කියන අධ්‍යක්ෂවරයාගෙන්.

ඔබගේ ප්‍රතිචාරය?

මට එකපාරටම හරියට රඟපාන්න පුළුවන් වේවිද කියා බයක් ඇති වෙනවා. ඒ නිසා බැහැයි කියලා කියනවා.

ඒ වුණත්?

රංගනය කියන්නේ කාලයක පටන් මගේ හිතේ තිබුණ හීනයක්.

ඒ හීනය?

හැබෑ කර ගන්න උදව් කළ මාපිටිගම කියන අධ්‍යක්ෂවරයාට මම ස්තුතිවන්ත වෙනවා.

තුරුලතාට?

මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියන හැඟීමක් මට තියෙනවා.

ඔය කියන්නේ?

මගේ උපරිම කැපවීම තුරුලතාට යෙදෙව්වා කියලා.

ඒ කැපවීම?

ලෙහෙසි පහසු වුණේ නම් නෑ.

ඒ මොකද?

සෙනඟ පිරුණු බස් එකක් ඇතුළේ රඟපානවා කියන්නේ පහසු වැඩක් කියලද හිතන්නේ.

ඒ තරමටම?

බස් එකේ රූපගත කිරීම් සිද්ධ වුණා.

ඒත්?

‘ඉස්සරහට යන්න’ මම කැමැතියි.

ඔබ හිතන්නේ?

රංගන කටයුතුවලට දිගටම දායක වෙන්නයි.

එහෙම වුණොත්?

නිරූපණ ශිල්පය අතහරින්න මට බෑ. ඒක මගේ ජීවිතය වගේ.

එපමණටම?

මේ වෘත්තිවලට මම ආදරෙයි. සියල්ලම කළ හැකි ලෙස මා ඉඩකඩ නිර්මාණය කර ගන්නවා.

ඔබත් එක්ක රඟපෑවේ?

බොහෝ ප්‍රවීණයන්. ගිහාන් ප්‍රනාන්දු, ජගත් චමිල වගේ සහෝදර ශිල්පීන්ගෙන් ලැබුණු උපදෙස් මට බොහොම වැදගත්.

ඒ ඇයි?

ඒ අය අතර මම හරියට පුංචි බබෙක් වගේ.

ඇයි එහෙම වෙන්නේ?

මම මේ ක්ෂේත්‍රයට පා තබන්නේ කිසිම දෙයක් දැනගෙන නෙමෙයි.

කැමරාව ඔබට?

නුපුරුදු දෙයක් නොවුණත් රඟපෑම ආධුනිකයි.

මීට ඉස්සර?

වෙළෙඳ දැන්වීම් කිහිපයකට සහභාගි වුණා. ෆොටෝ ෂූට් කිහිපයක්මත් කරලා තිබෙනවා. ඒත් රඟපාලා නෑ.

රඟපෑම කියන්නේ?

බොහොම ගෞරවයෙන් කළ යුත්තක්. මම ආධුනිකයෙක් වුණත් ප්‍රවීණයන්ගෙන් ලැබුණු උපදෙස් ඉදිරි ගමනකට මට පාර කිව්වා.

ඔවුන් ආඩම්බරද?

බොහොම දෙනෙක් එහෙම කිව්වත් මට නම් ඒක බොරුවක් කියලයි හිතෙන්නේ.

එහෙම හිතෙන්නේ?

ටෙලි නාට්‍යයේ රඟපෑම්වලින් ඈත්වුණාට පසුවත් ඔවුන් මට කතා කළා. ඔවුන්ගේ වැඩ කටයුතුවලට මට ආරාධනා කළා.

මේ අතරතුරදී?

ස්වර්ණවාහිනියේ රූපලාවණ්‍ය ආලේපන හඳුන්වාදෙන කෙනෙක් විදියට බ්‍රහස්පතින්දා උදේ වැඩසටහනට සහභාගි වෙනවා.

ඒ කියන්නේ නිවේදිකාවක්?

නෑ. නිවේදිකාවක් විදියට කටයුතු කරන්න මට බොහෝ ආරාධනා ලැබුණා. ඒ සියල්ල මා ප්‍රතික්ෂේප කළා.

ඒ ඇයි?

ඉදිරියේදී අදාල ක්ෂේත්‍රය පිළිබදව හෝ කමැති ක්ෂේත්‍රයක් පිළිබඳව යමක් කතා කරන්නයි නිවේදනයේදී මං කැමැති. ඒ ඔස්්සේ අනෙක් කෙනකු නොකළ යමක් කරන්නත් මම කැමැතියි.

ඔබ සිතන්නේ?

අධ්‍යාපනය පැත්තෙන් කාන්තාවන්ට වගේම දරුවන්ටත් යමක් කරන්නයි.

ඊට නිරූපණ ශිල්පය?

ලොකු පිටුබලයක් වෙයි.

මීට කලින් ඊට නොපැමිණියේ?

මගේ පියා ඊට කොහෙත්ම කැමැති වුණේ නැති නිසයි.

ඔබගේ සැමියා?

ඔහු ගයාන් කනිෂ්ක. දැනට ඉන්නේ ඉතාලියේ. ඔහුගෙන් මේ කටයුතුවලට ලැබෙන්නේ පුදුම සහයෝගයක්.

ළඟදීම?

මුලින්ම දුවත්, මමත්, සැමියාත් ඉතාලියේ පදිංචියට යන්නයි හිටියේ. රංගන කටයුතු නිසා දැන් ඒක කරන්න අපහසුයි.

ඉතිං?

මේ ළඟදිත් මම ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වුණා.

ඒක මොන වගේද?

ඒක මෙතෙක් විකාශනය නොවූ වර්ගයේ නාට්‍යයක් වේවි. සියල්ල රූගත වෙන්නේ ගුවන් තොටුපළක් ඇතුළේ. මම රඟපාන්නේ ගුවන් සේවිකාවක් විදියටයි. මේක මගේ දෙවැනි ටෙලි නාට්‍යයයි.

අමතක නොවන සිදුවීම් අතර?

ඇත්තටම ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යයේදී දර්ශනයක් තිබෙනවා පිරිසක් බස් එක පස්සෙන් දුවන. එක පාරටම බස් එක බ්රේක් ගහනවා.

ඊට පස්සේ ඒ වේගෙට පිටිපස්සේ අය ඇවිත් බස් එකේ හැපෙනවා. ඒක ඒ විදියටම ගන්න අධ්‍යක්ෂවරයාට ඕනෑ වුණා. ඒ වෙලාවේදී ඔවුන්ගේ මුහුණු පවා තුවාල වුණා.

රංගනය ගැන හදාරන්න?

අනෝජා වීරසිංහගේ රංගනය පිළිබඳ කෙරෙන වැඩමුළුව කරන්න මගේ අදහසක් තිබෙනවා.