වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘යසෝදරා වත’ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් සිනමාවට

‘යසෝදරා වත’ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් සිනමාවට

ආචාර්ය සෝමා එදිරිසිංහ නිෂ්පාදනයක්

බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණයක් වන ‘යසෝදරා වත’ සිනමාවට නැගීමට මහාචාර්ය සුනිල් ආරියරත්න සූදානම් වේ. සුනිල් ආරියරත්නයන් විසින් බෞද්ධ සාහිත්‍ය කෘතියක් ඇසුරින් කෙරෙන දෙවන නිර්මාණය මෙය වේ. ඔහු මීට පෙර ‘කුසදාවත’ ඇසුරින් කුස පබා චිත්‍රපටය නිර්මාණය කළ අතර එය මෙරට ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක් විය.

මෙම නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කාර්යය සිදු කෙරෙන්නේ ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම වෙනුවෙන් සෝමා එදිරිසිංහ විසිනි. ඇය විසින් නිෂ්පාදනය කළ ‘ඉර මැදියම’ චිත්‍රපටය සරසවිය සම්මාන උළෙලේ හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය හිමි විය. ඇයගේ මීළඟ සිනමා නිෂ්පාදනය වන සිරි දළදාගමනය ළඟදී තිරගතවීමට නියමිතව ඇත.

යසෝදරා වත ඇසුරින් කෙරෙන මෙම චිත්‍රපටයේ තිර රචනය වෙන්නේ ගිනි කිරිල්ලි, භේරුඬ පක්ෂියා වැනි චිත්‍රපට තිර රචනා කළ දක්ෂ තිර රචකයෙකු වන සරත් ධර්මසිිරි අතිනි. නිෂ්පාදන සම්බන්ධිකරණය නීල් සංජය ගෙනි.

රන් කෙවිට II මේ මස අග තිරයට

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය රන් කෙවිට II ගොපලුගේ වික්‍රම මෙම මස අග සිට සිනමා එන්ටර්ටේන්මන්ට් සහ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය. රන් කෙවිට I මඟින් තිරයට පැමිණි ත්‍රිමාණ සජීවිකරණයෙන් යුතු ගොපළු යකා නැවතත් පෙළහර පාන මෙය විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස හඳුන්වා දිය හැකිය.

රන් කෙවිට II ගොපලුගේ වික්‍රම පුරාම ඇත්තේ ගොපලුගේ සහ ඔහුගේ මිතුරන් වූ සුරන් සහ ජනිත් යන ළමුන්ගේ හාස්‍ය රැගත් සොඳුරු දඩබ්බරකම් සහ ගොපලුගේ විස්මිත ක්‍රියාකාරකම්ය.

ආනන්ද වික්‍රමගේ, සුසන්තා චන්ද්‍රමාලි, සමන් හේමරත්න, දමිතා සළුවඩන, අසේල ජයකොඩි, දොන් ගයි, ආනන්ද අතුකෝරාල, කුමාර තිරිමාදුර, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, සංගීතා තදානි, බෙනට් රත්නායක, මධුශානි ජනත්‍රි මෙහි ප්‍රධාන චරිත රඟපාන අතර සුරන් රනිත් යන චරිතයන් ඉෂාම් සම්සුදීන් සහ හරිත් සමරසිංහ විසින් නිරූපණය කරනු ලබයි.

කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂණයකි. ජයන්තා රණවක අංග රචනයෙන් ද, මහේෂ් දෙණිපිටිය සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක් වී ඇත. නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්නගෙන්ය. මහේෂ් නිශාන්තගේ නිශ්චල ඡායාරූපකරණයකි. ශාන් පෙරේරා නැටුම් අධ්‍යක්ෂවරයාය. ශාන්ති වර්ණසූරිය ඇඳුම් පැලඳුම් නිර්මාණය කරයි. නන්දන වික්‍රමගේ ගී පද රචනා කර ඇත. රන්කෙවිට II ගොපලුගේ වික්‍රම හි ත්‍රිමාන සජීවි කටයුතු මහීල් ආර්. පෙරේරාගේ අධීක්ෂණය යටතේ තිලංක පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද සහ අනලි සිල්වා විසින් සිදු කොට තිබේ.

මෙය මිලේනියම් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් රංජිත් ජයසූරිය, ප්‍රවීන් ජයරත්න, ජනිත මාරසිංහ සහ උදය කාන්ත වර්ණසූරියගේ නිෂ්පාදනයකි.

සනත් සහ සනත් එකට එක්කළ ‘ඉර ළඟ වැඩියි’ අද සිට

අප රංගන ක්ෂේත්‍රයේ සිටින ‘සනත්’ලා දෙපොළ, සනත් ගුණතිලක සහ සනත් විමලසිරි පළමුවරට එකට රඟන චිත්‍රපටයක් අද සිට බොරැල්ල රිට්ස් ඇතුළු එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වෙයි.

ඉර ළඟ වැඩියි යනුවෙන් නම් කොට ඇති එය චන්ද්‍රරත්න මාපිටිගමගේ අධ්‍යක්ෂණයකි.

සනත් සහ සනත් සමඟ දිල්හානි ඒකනායක, විජේරත්න වරකාගොඩ, රජිත හිරාන්, නිලන්ති ඩයස්, නන්ද වික්‍රමගේ, අනුරාධා උදයංගනී, ශ්‍රීමතී රසාදරී, අමරකෝන් මෙහි අනෙකුත් චරිත මවති.

කැමරාව ජයනාත් ගුණවර්ධන මෙහෙයවා ඇත. එම්. එස්. අලිමාන්ගේ සංස්කරණයකි. නාරද රත්නායක සහාය අධ්‍යක්ෂවරයාය. පාලිත තෙන්නකෝන් නිෂ්පාදන කළමනාකරු වේ.

ස්වර්ණවාහිනියේ වීදි පහන් දැල්වේ

‘සුද්දි’ ප්‍රාසාංගික ටෙලි නාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්ෂවරයකුගේ හා තිර රචකයකුගේ භූමිකාවට පිවිසි මාලක නන්දනගේ නවතම ටෙලි නාට්‍යය ‘වීදි පහන්’ මෙම මස සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වෙයි.

‘වීදි පහන්’ හි හයිසින්ත් විජේරත්න, නිහාල් ප්‍රනාන්දු, ජනක් ප්‍රේමලාල්, ගයනා සුදර්ශනී, සහන් විජේසිංහ, දයා තෙන්නකෝන්, නීතා සමරනායක, මේනකා මධුවන්ති, නිර්ධා උයන්හේවා, නිම්මි ප්‍රියදර්ශනී, ටිරාන් අමින්ද, නිමාලි කපුගේ, නිලංගනී පෙරේරා, ලලිත් අකුරුගොඩ, සුනිල් වල්පිට, මංජුල වීරසිංහ, අතුල ජයතිස්ස, සිසිල සිරිසෝමපාල ආදී රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායක වෙයි.

මෙම ටෙලි නාට්‍යයේ තිර රචනය තුෂාරි අබේසේකරගෙනි. මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් තුසිත අනුරාධ ද,, අංග රචනයෙන් ජී. උහංඕවිට ද, කලා අධ්‍යක්ෂණයෙන් රොෂාන් වර්ණකුලසූරිය ද, සහාය අධ්‍යක්ෂණයෙන් සුසන්ත හේමචන්ද්‍ර ද, සංගීතයෙන් නවරත්න ගමගේ ද, සංස්කරණයෙන් විරංග කැටිපෙආරච්චි ද සහාය වෙති. නිෂ්පාදනය සහන් විජේසිංහයි.