වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිකැපි‍්‍රයෝ - බච්චන් එකම චිත්‍රපටයක The Great Gatsby

ඩිකැපි‍්‍රයෝ - බච්චන් එකම චිත්‍රපටයක The Great Gatsby

සෑම සතියකම බදාදා දිනයේ අඩුම තරමින් චිත්‍රපට විස්සත් තිහත් අතර ප්‍රමාණයක් පැරිස් නගරයේ සිනමාහල්වල තිරගත වීම අරඹති. ලොව සෑම දෙසකින්ම පැමිණෙන මේ සිනමා නිර්මාණ අතරේ වෘත්තාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට මෙන්ම කාටුන් චිත්‍රපටද වෙති. සිනමාවට ඇල්ම ඇති අයකුට පැරිසිය හොඳ නවාතැනක් වුවද නොම්මර එකේ පික්චර් පිස්සකුට වුව මේ සියලුම චිත්‍රපට නරඹා නිම කරන්නට නොහැකි බව පැහැදිලි කරුණකි. ඒ අනුව වඩා වැදගත්, තමන්ගේ රුචිකත්වයට ගැළපෙන නිර්මාණ තෝරා ගත යුතුය.

ගෙවුණු මැයි මාසයේ තෙවන සතියේ කෑන්ස් සිනමා උළෙල පැවැත්වෙමින් තිබෙනා කාලයේ ‘ද ග්‍රේට් ගැස්ට්බි’ චිත්‍රපටය පැරිසියේ තිරගත වීම ආරම්භ විය. මෙවර කෑන්ස් සිනමා උත්සවය ආරම්භ කිරිමටද තෝරාගෙන තිබුණු මේ චිත්‍රපටය පැරිසියේ සිනමාහල්වලට පැමිණෙන තුරු කරුණු කිහිපයක් හේතුවෙන් මග බලා සිටියෙමි. මුල්ම කරුණ නම් එය අමෙරිකානු සාහිත්‍යයේ කැපී පෙණෙන පොතක් සිනමාවට පෙරළුණු අවස්ථාවක් වීමයි. දෙවැනි කරුණ නම් ප්‍රධාන චරිතය වන ජායි ගැස්ට්බි ගේ චරිතයට ලියනාඩෝ ඩිකැපි‍්‍රයෝ පණ පෙවීමයි.

ගෙවුණු වසර පහක හයක කාලය ඇතුළත එකිනෙකට වෙනස් චරිතවලට පණ පොවමින් හොලිවුඩයේ කැපී පෙණෙන දැවැන්තයකු බවට පත්ව සිටිනා ඩිකැපි‍්‍රයෝ සිරුරෙන් කුඩා වුවද රිදී තිරයට මනා පෞරුෂත්වයක් රැගෙන එන්නෙකි. එපමණක් නොව අප හොඳින් හඳුනන අමිතාබ් බච්චන් ද මෙහි චරිතයක් රඟනා බව පූර්ව ප්‍රචාරක පටයෙන් දකින්නට ලැබීම තවත් හේතුවකි. (එහෙත් ඔහුගේ රංගන කාලය විනාඩි කිහිපයකි) එහෙත් මේ සියලුම කාරණාවලට වඩා වැදගත්ම කරුණ වූයේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාය. එනම් බස් ලුර්මාන් ය.

ඕස්ට්‍රේලියාවේ සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉපදී හැදී වැඩී, වෘත්තියෙන් ගොවියකු වූ පියා විසින් අමතර ආදායමක් ලබනු පිණිස පවත්වාගෙන ගිය සිනමා ශාලාවේ තම ළමා කාලයෙන් වැඩි කොටසක් ගත කිරීමේ පින් බලයෙන් සිනමාකරුවකු බවට පත් වුණු බස් ලුර්මාන් වසර විස්සක කාලයක් තුළ අධ්‍යක්‍ෂණයකර ඇත්තේ සිනමාපට පහක් පමණි. එහෙත් ‘ටයිම්ස්’ සඟරාව ඔහුව හඳුන්වන්නේ ගෙවුණු පනස් වසරක කාලය තුළ ලෝක සිනමාවේ පහළ වුණු වැදගත්ම සිනමාකරුවන් පනස් දෙනාගෙන් අයකු ලෙසිනි.

තමන්ගේ සිනමා ගමනට බොලිවුඩ් සිනමාවේ ආභාසය ලැබුණු බව ඔහු පවසයි. මේ ආභාසය බස් ලුර්මාන් ගේ නිර්මාණ දෙස බැලීමේදී පැහැදිලිව දැකගත හැකි දෙයකි. විලියම් ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජුලියට් කතාව මේ දක්වා දහස් වාරයක් සිනමාවට හා රූපවාහිනියට නැඟී තිබුණ ද වඩා අලංකාර ලෙස වත්මන් සමාජයට ඔබිනා ලෙසින් ප්‍රතිනිර්මාණය කරන්නට සමත් වූ තැනැත්තා ලුර්මාන් විය යුතුය.

තම මුල් නිර්මාණය වූ ස්ට්‍රික්ට්ලි බෝල්රූම් (1992) වෙතින් ලැබුණු සාර්ථකත්වය මත තෙවසරක් පුරා ඊළඟ සිනමාපටයේ පදනම දැමූ ඔහු ඒ වන විට දහනව වැනි වියේ පසු වුණු ලියනාඩෝ ඩිකැපි‍්‍රයෝ වෙතින් අපේ කාලයේ රෝමියෝ චරිතය සිනමාවට ගෙන එන්නට සමත් විය. චිත්‍රපටයේ මුල් භාගයේදී විශේෂයෙන් රෝමියෝ සහ ජුලියට් මුල් වරට මුණ ගැසෙනා දර්ශන පෙළ චිත්‍රපටයේ සුවිශේෂ මොහොතකි. තමන්ට අනාගතය විසින් හිමිකර ඇති ඛේදාන්තය නොදන්නා ප්‍රේමවන්තයෝ එකිනෙකා දකින්නේ වර්ණවත් සුරතල් මසුන් සැරිසරණා මත්ස්‍යාංගනයක එහා මෙහා සිටය.

මේ චිත්‍රපටය තිරගතව වසර තුනකට පසු ‘හම් දිල් දේ චුක්කේ සනම්’ චිත්‍රපටය නිපදවන සන්ජේ ලීලා බන්සාලි තම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් වූ ආශ්වර්යයා රායි සහ සල්මන් ඛාන් මුණ ගස්වන දර්ශනය සඳහා බස් ලුර්මාන් ගේ චිත්‍රපටයේ ඉහත ජවනිකාව ආභාසයට ගත් බව පසු කලෙක කියා සිටියේය.

ලුර්මාන් ගේ සිනමා ගමනේ වැදගත් මංසන්ධිය 2001 වසරේ තිරගත වුණු Moulin Rouge චිත්‍රපටයයි. තම බිරිය සමඟ ඉන්දියානු සවාරියක දී නැරඹූ බොලිවුඩ් සිනමාපටයක් නිසා ඇතිවුණු අදහසක් මතය ලුර්මාන් විසින් මේ චිත්‍රපටයට පදනම දමනා ලද්දේ. බොලිවුඩ් තිරයේ දකින්නට ලැබෙනා නැටුම්, ගැයුම්, ගැටුම් ඇතුළත් නිර්මාණයක් බටහිර සිනමා ලොවට යළිත් ගෙන ආ නොහැකිද යන ප්‍රශ්නයට පිළිතුරකි Moulin Rouge  චිත්‍රපටය. ඉංගී‍්‍රසි ජාතික තරුණ කවියකු වන ක්‍රිස්තියන් (ඉවාන් මැග්‍රෙගර්) සුවකළ නොහැකි රෝගයකින් පෙළෙනා පැරිසියේ ප්‍රකට ‘මොලදන් රූෂ්’ රඟහලේ රංගන ශිල්පිනියක වන සතින් (නිකොල් කිඩ්මාන්) සමඟ ප්‍රේමයෙන් බැඳෙනා කතාවය මෙහි ඇතුළත්ව ඇත්තේ. විසිවන සියවසේ මුල් කාලය පදනම් වුවද වත්මන් තරුණ පරපුර තමන්ගේ සිනමා පටය වෙත කැඳවා ගනු පිණිස බස් ලුර්මාන් කළේ අද සමකාලීන ජනපි‍්‍රය ගීත රාශියක් එකතු කිරීමයි. ‘චයිනා ගේට්’ නමැති හින්දි චිත්‍රපටයේ අල්කා යාග්නි ගයන ‘චම්මා චම්මා’ නමැති ගීතයද මේ චිත්‍රපටයේ ඇතුළත් වෙයි.

ලුර්මාන් ගේ අවසන් නිර්මාණය වන ‘ද ග්‍රේට් ගැට්ස්බි’ වඩා වැදගත් වන්නේ හේතු කිහිපයක් නිසාවෙනි. මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී එක් අයුරකින් ඔහු අද සිනමා ලෝකයේ සිටිනා වාණිජ වටිනාකම අතින් සාර්ථකම අධ්‍යක්‍ෂවරයාවන ජේම්ස් කැමරූන්ව අනුගමනය කළේ යැයි කිව හැකිය. ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය වතාවන් ගණනාවකදීම රිදී තිරයට නැඟී ඇති මොහොතකය ඔහු නැවත වරක් ටයිටැනික් චිත්‍රපටය තනා ආදායම් වාර්තාවන් තැබුවේ. වර්ෂ 1925 දී ඇමෙරිකානු ලේඛක එෆ්. ස්කොට් පිට්ස්ගේර්ල්ඩ් විසින් ලියනා ලද පිටු 220 කින් යුතු ද ග්‍රේට් ගැට්ස්බි පොත මුද්‍රණයෙන් පිටව ගතව ගිය මුල් දශක දෙකකට ආසන්න කාලයේදී පාඨක ප්‍රශංසාවට පත්වූයේ නැත.

පොතේ ලේඛකයා 1940 දී මිය ගොස් දෙවන ලෝක යුද්ධයෙන් පසුව විශේෂයෙන් ඇමෙරිකානු පාසල් නිර්දේශිත පොතක් ලෙසින් පිළිගැණුන පසුවය එය ලෝකයාගේ අවධානයට පත් වූයේ. 2010 වසරේ මේ පොත ලුර්මාන් ගේ සිනමා ඇසට හසු වන්නට සූදානම් වන විට එය නිහඬ චිත්‍රපටයක් ඇතුළුව සිව් වතාවක් (මෙයින් වඩා ජනපි‍්‍රය වූයේ 1974 දී ජැක් ක්ලේටන් විසින් අධ්‍යක්‍ෂණය කළ රොබට් රෙඩ්ෆෝඩ් සහ මියා ෆරෝ රඟපෑ චිත්‍රපටයි) තිරයට පැමිණ තිබුණි. පස් වතාවක් ඇමෙරිකානු නිෂ්පාදන වශයෙන් රූපවාහිනියට ද, දෙවතාවක් වේදිකාවටද, වාර ගණන නොදන්නා මුත් කිහිපවතාවක් ගුවන් විදුලි නිෂ්පාදනයන් ලෙස පමණක් නොව 2011 වසරේදි පරිගණක ක්‍රීඩාවක් ලෙසද නිපදවී තිබේ. ඇමෙරිකානුවෝ මේ අගනා පොත ගැනත් ඒ මතින් ගොඩනැගුණු අනෙක් නිර්මාණ ගැනත් දනිති. මෙවැනි තත්ත්වයක් මතින් බස් ලුර්මාන් නිෂ්පාදකයන්ව සොයන්නට පටන් ගත්තේ.

තම සිනමා දිවියේ මුල් වරට නිෂ්පාදකයකු සොයා ගැනීම ලුර්මාන්ට අපහසු වූයේ මෙහිදීය. එයට හේතුව ඔහු ඩොලර් මිලියන 125 ක මුදලක් වුවමනා බව ස්ථිර ලෙසම කියා සිටි නිසා නොවේ. එය ත්‍රිමාන චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කරන්නට සැලසුම් කළ නිසාද නොවේ. එයට හේතුව නම් වසර තුනකට පෙර ලුර්මාන් ගේ අවසන් චිත්‍රපටය වූ ඕස්ට්‍රේලියා ආදායම් අතින් අසාර්ථක වීමයි.

බස් ලුර්මාන් සමඟ කටයුතු කිරීම අපහසු කර්යයක් බව හොලිවුඩ්පුරයේ බෙහෝ නිෂ්පාදන ආයතන දැන සිටියහ. ඔහු චිත්‍රපටයක් සඳහා දිගු කාලයක් වැය කරයි. චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය, පසුතල සැකසීම සහ සංගීත පටය සඳහා අති විශාල කාලයක් කැප කරයි. චිත්‍රපටයක සාමාන්‍ය නිෂ්පාදන වියදමෙන් ඉහත අංශ සඳහා වෙන් කරන මුදල මෙන් දෙගුණ තෙගුණයක් ඉල්ලා සිටියි. එහෙත් බස් ලුර්මාන් නමැති මේ අපූරු සිනමාකරුවා ගේ අනන්‍යතාවය රැඳී තිබෙන්නේ චිත්‍රපටයේ කතාවට හෝ ආකෘතියට ඔහු ලබා දෙන වැදගත් කම නිසා නොව චිත්‍රපටයේ රූප ගැඹුර, රූපයේ අලංකෘත බව නිසා බව නිෂ්පාදකයෝ දැන සිටියහ.

ගෙවුණු වසන්ත කාලයේ හිරු එළිය නැති වැහි අඳුරින් පරිසරය වැසී ගිය සවස් යාමයක ත්‍රිමාණ උපැස් යුවළ තුළින් පැරිසියේ සිනමා හලක ද ග්‍රේට් ගැට්ස්බි නරඹන්නට හැකිවීම අමතක නොවන අත්දැකීමක් ස්පර්ෂ කළා බඳුය. එහි සියලුම රූප රාමු ලුවර් කෞතුකාගාරයේ මොනාලිසාගේ පරිපූර්ණ සිනහව බඳුය. කිසිදා අඩුපාඩුවක් නැත. ලියනාඩෝ ඩිකැපි‍්‍රයෝ තම සිනමා දිවියේ වඩා වැදගත්ම රංගනය ගෙන එයි. (මීට පෙරත් ද අවිඒටර් සහ ජී. එඩ්ගාර් වැනි චිත්‍රපටවලට ඔහු එක්කළේ මනා රංගනයන් බව කිව යුතුයමය) ඔහු වත්මන් හොලිවුඩ් පුරයේ රොබට් ඩි නීරෝ හෝ අල් පච්නෝ යැයි කිසිදු තර්කයකින් තොරව කිව හැකිය.

අපි පි‍්‍රය කරන නළුවකුගේ හෝ නිළියකගේ ඊළඟ චිත්‍රපටය පැමිණෙන තෙක් බොහෝ විට මග බලා සිටිමු. එහෙත් යම් සුවිශේෂ අධ්‍යක්‍ෂවරයකුගේ ඊළඟ නිර්මාණය පැමිණෙන තෙක් බලා සිටින්නේ කලාතුරකිනි. අවාසනාවකට බස් ලුර්මාන් වැනි සිනමා කරුවෝ නිර්මාණ එළි දක්වන්නේ ද කලාතුරකිනි. ඔහු එක් චිත්‍රපටයක් සඳහා වසර පහක් වැනි කාලයක් වැය කරනා අයෙකි. ඔහු ගේ පරිපූර්ණත්වය රැඳී ඇත්තේද හැල්මේ නොදුවන නිසා විය හැකිය.