වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




පරම්පරා හතරක නාට්‍ය ශිල්පින් එකතුවක්

පරම්පරා හතරක නාට්‍ය ශිල්පින් එකතුවක්

ඉඩමේදී විකිණේ

නීතිඥ ඊ.එම්. ඩී. උපාලි

අගෝස්තු 18 ලුම්බිණි රඟහල, 19 ලයනල් වෙන්ඩ්ට් සහ 28 කොළඹ සරසවියේ නව කලාගාරයේ

මෙතනින් මාරුවෙනු, පියාඹන අස්සයා, එව බලව, චරපුරුෂ, වන තාරාවි වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය සමඟින් වේදිකාවේ පෙළහර පා නොමැකෙන නමක් සනිටුහන් කළ අයෙක් ඊ. එම්. ඩී. උපාලි. ඔහුගේ 30 වසරක් සපිරෙන නාට්‍ය දිවියේ නවතම නාට්‍ය නිර්මාණය ලෙස ‘ඉඩමේදී විකිණේ’ ඔබ වෙත තිළිණ කරන්න සූදානම්. විවිධත්වයෙන් යුතු නිර්මාණ සමඟින් කරළියට පැමිණෙන ඔහුත් සමඟ ඉඩමේදී විකිණේ ගැන කතා කරන්නයි මේ සූදානම.

මොකක්ද මේ ‘ඉඩමේදී විකිණේ’?

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොප්ගේ ‘ද චෙරි ඕචර්ඩ්’ නාට්‍යයේ ලාංකේය අත්දැකීම තමයි මේ ‘ඉඩමේදී විකිණේ’ නාට්‍යය. ද චෙරි ඕචර්ඩ් ඇන්ටන් චෙකොප්ගේ දීර්ඝ නාට්‍ය පහේ අවසානයට ලියූ නාට්‍යයයි. මෙහි පරිවර්තනයක් ලෙසයි ‘ඉඩමේදී විකිණේ’ වේදිකාගත වෙන්නේ.

මෙය මීට පෙරදීත් විවිධ නිර්මාණ මඟින් ඉදිරිපත් වූවක්?

මෙය ලංකාව හඳුනා ගන්නේ වර්ෂ 1974 දීය. ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ උපදේශකත්වයෙන් මහාචාර්ය මැන්දිස් රෝහණධීර විසින් මෙය චෙරි වත්ත නමින් පරිවර්තනය කළා. ඒ ඔස්සේ විවිධ නිර්මාණ නිෂ්පාදනය වුණා. නමුත් ඒවා එතරම් සාර්ථක වූ බවක් මා නම් දකින්නේ නැහැ. ඒ නිසා පොඩි බයකුත් නැතුවාම නොවෙයි.

එසේ නම්, ඔබ නවතම නාට්‍ය නිර්මාණය ලෙස මෙය තෝරා ගන්නට විශේෂ වූ කරුණක් ඇති?

මෙය හඳුන්වන්නේ ප්‍රහසනාත්මක නාට්‍යයක් ලෙසයි. නමුත් ලංකාවේ මීට පෙර කරන ලද නිර්මාණවල ඒ ප්‍රහසනාත්මක ගුණය ඉස්මතු වුණේ නැහැ. රුසියානු රංග න්‍යායාචාර්ය ස්ටැනිස්ලව්ස්කිගේ මුල් නිර්මාණයේ පවා එය මතු වූ බවක් මා දකින්නේ නැහැ. මම මේ සඳහා ඇල්මක් දැක් වූයේ 70 ගණන්වල මුල් කාලයේ ඉඳලාමයි. මුලින්ම මා එය පරිවර්තනය කළේ 2000 වසරේදීයි. ඊට පසු නාට්‍ය පිටපත් තරගාවලිවලට පවා ඉදිරිපත් කළා. නමුත් කිහිප දෙනෙක්ම මට කිව්වා මේක කරන්න එපා කියලා. නමුත් මගේ ආසාව නිසාම ‘ඉඩමේදී විකිණේ’ නිර්මාණය කළා.

අපි මෙහි චරිත නිරූපණයට එක්වෙන පිරිස ගැනත් කතා කරමු?

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ පරම්පරා හතරක් නියෝජනය කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. නිල්මිණි සිිගේරා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ඩබ්ලිව්. ජයසිරි, ප්‍රසාද් සූරියආරච්චි, වසන්ත විට්ටච්චි, ගාමිණී විජේසිංහ, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි, සුලෝචනා වීරසිංහ, කලණ ජයනාත් ගුණසේකර, පවිත්‍රා දයානන්ද, අමා විජේසේකර, කල්පනී ජයසිංහ, මිහිරි ප්‍රියංගනී යාපා, ජගත් චන්ද්‍රසිරි ඇතුළු පිරිසක් තමයි මේ සඳහා එක්වෙන්නේ. මෙහි සංගීතය තේජ බුද්ධික රුද්‍රිගු සහ නිෂ්පාදනය නීතිඥ ජනක රත්නායකගෙන්. මෙහිදී අප හැමෝම එක කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. හරිම විනෝදාත්මකයි.

30 වසරක් වු ඔබගේ නාට්‍ය දිවියේ මෙම නාට්‍යය හය වැනි නිර්මාණයයි. මීට වඩා වැඩි නිර්මාණ ප්‍රමාණයක් වේදිකාවට තිළිණ කරන්න ඔබට අවස්ථාව තිබුණා නේද?

1983 වසරේදී කළ ‘මෙතනින් මාරු වෙනු’ නාට්‍යය තමයි මගේ ප්‍රථම නිර්මාණය. ඊට පසුව 85 දී පියාඹන අස්සයා’, 98 දී එව බලව, 2000 දී චර පුරුෂ සහ 2006 දී වන තාරාවි නිර්මාණය කළා. මම වෘත්තියෙන් නීතිඥවරයෙක්. 1990 වසරේදියි වෘත්තීය වශයෙන් ක්ෂේත්‍රයට එකතු වුණේ. එතැන් පටන් වසර 10 ක් පමණ වන තෙක් වෘත්තීය කටයුතුවල පමණයි නිරත වුණේ. පසුව 98 වසරේදී එව බලව නිෂ්පාදනය කළේ එහි ඉංග්‍රීසි නිෂ්පාදනය බලලා අහම්බෙන් වගේ. ඒ සඳහා ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පසුවයි විශ්වවිද්‍යාල සිසුන් සමඟින් ‘වන තාරාවි’ නිර්මාණය කළේ. තදබල ලෙස වෘත්තීය කටයුතුවල නිරත වෙලා සිටින ගමන් නිර්මාණ කිරීම අපහසු දෙයක්. නමුත් නීතිඥ වෘත්තියටත් මා ඇලුම් කරනවා. ඒ වගේම අපහසු දේ කරන්න මා කැමැතියි.

ඔබගේ නිර්මාණ අතුරෙන් බොහොමයක් සම්මානයට පාත්‍ර වූ ඒවා. අපි ඒ පිළිබඳත් සටහනක් තබමු?

මෙතනින් මාරු වෙනු 1983 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සමඟ ජැක්සන් ඇන්තනි හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. එව බලව නාට්‍යය 98 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම අනුවර්තන නාට්‍යයට හිමි සම්මානයත්, ශ්‍රියන්ත හොඳම සහාය නළුවාට හිමි සම්මානය සහ නිමන්ති පෝරගේ හොඳම සහාය නිළියට හිමි සම්මානයත් දිනා ගත්තා. ඒ වගේම ඩබ්ලිව්. ජයසිරි හොඳම නළුවාට හිමි සම්මානය වෙනුවෙන් නිිර්දේශ වුණා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ චර පුරුෂ නාට්‍ය ගැන. විශ්වවිද්‍යාලවල විවිධ පීඨවල උපාධි අපේක්ෂක සිසුන් සමඟින් තමයි එය නිර්මාණය කළේ. වැඩමුළුවක් විදියට කළ ඒ නිර්මාණයත් රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවන වටය නියෝජනය කළා. රුවන් වික්‍රමසිංහ, මාලක දේවප්‍රිය එදා චරපුරුෂ නාට්‍යයේ රංගනයෙන් දායක වුණා.

එදා මෙදාතුර ඔබගේ තිස් වසරක නාට්‍ය ජීවිතයේදී ඔබ මෙරට නාට්‍ය කලාව දකින්නේ කුමන ආකාරයකින්ද?

මේ අවුරුදු 30 පුරාවට එය මුහුදු රැල්ලක් වගේ උච්චාවචනය වෙලා තියෙනවා කියන්න පුළුවන්. වසර විස්සක් පුරාවට එහි විශාල සාර්ථකත්වයක් මා දකින්නේ නැහැ. ඒ සඳහා විවිධ හේතු බලපා තියෙනවා. යම් කාලයකදී නාට්‍ය ප්‍රසංග බවට පත්වුණා. ස්ටැනිස්ලවුස්කි පවා වරෙක පැවසුවේ මෙය උඩු ගං බලා පිහිනීමක් වගේ කියා. ඇත්තටම එය අපහසු දෙයක්. නමුත් කලාව කියන්නේ ලෙහෙසි දේවල් කිරීම පමණක් නොවෙයි. අපි අමාරු දේ සොයා යා යුතුයි. එය තමයි ජයග්‍රහණය. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් ගත්තොත් ඔවුන්ගේ සේවයේදී සුළු වැරැදීමකින් මහා විනාශයක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි කලාකරුවන් කියලා අපට බෑ ඕනෑම සරල බයිලාවක් කරන්න. මෙහිදී එයට වඩා වැඩි වගකීමක් තියෙනවා.

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට තියෙන පහසුකම්?

ඇත්තටම පහසුකම් නම් අඩුයි. ඒ වුණත් ග්‍රොටොව්ස්කි නම් නාට්‍යකරු පවසන පරිදි රංගනය ප්‍රබල වෙනවා නම් අනෙක් දේවල් අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. රංගනය ප්‍රබල නම් අපට එය කළ හැකියි.

ඒ වගේම නාට්‍ය කලාවේ වත්මන් පරපුර ගැන ඔබේ අදහස මොන වගේද?

අතිශය අපූරු රංගන ශිල්පීන් අපේ රටේ ඉන්නවා. නමුත් ඔවුන්ට වැඩබිම් නොමැති වීමයි ඉදිරියට නොපැමිණීමට හේතු වෙලා තියෙන්නේ. මම මගේ නිර්මාණ තුළින් ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරනවා.

‘ඉඩමේදී විකිණේ’ රංගගත වෙන්න සූදානම්. එතැනින් එහා අනාගතයේ ඔබ අතින් කුමන ආකාරයේ නාට්‍ය නිර්මාණයක් බිහි වේවිද?

මම දැනටමත් ස්ටැනිස්ලවුස්කි නම් රංගධරයාගේ ‘ර්ර ඹ්ඪටඥ ඪද ඒපබ’ කෘතිය පරිවර්තනය කරලා අවසන්. අනාගතයේදී අපේ තරුණ තරුණියන් සමඟ එය බෙදා හදා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා.