වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




පුතා ලියූ කතාවේ තාත්තා රජ වෙලා

පුතා ලියූ කතාවේ තාත්තා රජ වෙලා

ජැක්සන්, අකිල, සජිත රජ වී බොක්ස් ඔෆිස් වාර්තා තියයි

ජැක්සන් පියා. අකිල සහ සජිත ඔහුගේ පුතුන් දෙදෙනා. ජැකාගේ රංගනය ගැන නම් ආයෙ වචන දෙකක් නැහැ. ඇත්තටම නියමයි. ඔහු පියමැන්න මාවතේ පුතුන් දෙදෙනාත් පියමනින්න පටන් ගත්තු එක දැන් අමුතු ආරංචියක් නෙවෙයි. තුන්දෙනාම සිංහල සිනමාවේ රජ වුණා. ඒක සැබෑම වාසනාවක්.

කොහොමද මේ තුන්දෙනා රජ වුණේ? මෙන්න මෙහෙමයි.

හැබැයි පළමුව රජ වුණේ පියා නම් නෙවෙයි. ඔහුගේ බාල පුතු සජිතයි. ඒ ජැකා අධ්‍යක්‍ෂණය කළ ‘අබා’ චිත්‍රපටයේ අබා කුමරු හැටියට. දෙවනුවයි පියා රජ වුණේ. මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ‘කුස පබා’ සිනමා සිතුවමේ රජු හැටියට ජැකා අපූරු රංගනයක යෙදුණා.

ජැකාගෙ දෙටු පුත් අකිල මේ දිනවල රජ කම් කරනවා. ඒ ආචාර්ය සෝමරත්න දිසානායක ගේ සිරි පැරකුම් චිත්‍රපටයේ. මේ තුන් කට්ටුවගෙ කිරුළු පැලඳීම සිංහල සිනමාවේ වාර්තාවක් වීම නම් නිසැකයි. ඒ විතරක් නෙවෙයි ජැකා, අකිල සහ සජිත රජ වුණ සිනමාපට තුනම බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළීමටත් සමත් වුණා. ඒකත් සුවිශේෂයි.

මෙන්න මේක තමයි අනෙක් අපූරු කතාව. ජැකා රජ වූ කුස පබා ප්‍රේම කතාව ඇතුළත් කව්සිළුමිණ රචනා කළේ දෙවන පරාක්‍රමබාහු රජු. සිරි පැරකුම් චිත්‍රපටයේ දෙවන පැරකුම් කුමරුගේ චරිතය රඟන්නේ ජැකාගේ දෙටු පුත් අකිලනේ. බලාගෙන ගියාම පුතා ලියපු කතාවේ තමයි පියා රජවෙලා තියෙන්නේ.

මැද පෙරදිග ඇසුණු සමන්ගේ ගී හඬ

සමන් ජිනදාස ඔබට මතකද? සුභාවිත ගීතයේ අලුත් පරම්පරාව නියෝජනය කරමින් කාලයක් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉහළම සිටි ගායකයෙක්. ඔහු විසින් ගායනා කළ තුමුල නමුනුකුල ගිරි හිස’ ගීය වගේම ‘ගාන තෙල් සඳුන් වරලස’ ගීතයත් අපේ සිංහල ගීත ගොන්න අතර ඉතාමත් ජනප්‍රිය වූ ගීත දෙකක්.

පසුගිය කාලය පුරාවට ගීත ක්ෂේත්‍රයේ දකින්නට නොලැබුණු සමන් අලුත්ම ගීතයක් එළි දක්වලා. ඔහු මේ ගීය එළිදක්වලා තියෙන්නේ රූප රචනාවකුත් සමඟින්. එහිත් විශේෂත්වයක් තියෙනවා. සමන් මෙම ගීයේ රූප රචනාව රූගත කරලා තියෙන්නේ අරාබියේදී. ගායකයෙක් ලෙස නමක් දිනාගෙන සිටියත් සමන් වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. දැන් ඔහු සේවයේ නිරත වෙලා සිටින්නේ අරාබියේ නිසා තමයි මෙහි රූප රචනය අරාබියේදී සිදු කරන්නට හේතුව.

ඒ වගේම සමන්ගේ මේ අලුත්ම ගීතයේ තවත් විශේෂයක් තියෙනවා. මෙහි පද රචනය හෙන්රි වර්ණකුලසූරියගේ. ඔබ අප කවුරුත් දන්න හෙන්රි ස්වර්ණවාහිනිය වගේම වී. එෆ්. එම්. ඔස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් ඔහුත් වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. ඔහුත් දැනට පදිංචි වෙලා ඉන්නේ මැද පෙරදිග. ඉංජිනේරුවන් දෙදෙනෙකු එකතු වෙලා නිර්මාණය කළ මේ නවතම ගීය එළි දැක්කේ හෙන්රිගේ නවතම කෘතිය වූ ‘නෙත් මා දකිණු පිණිස’ එළි දක්වන්නට යෙදුණු අවස්ථාවේදීමයි.

උඩරට සිට මැණිකෙ කෙනෙක්

අපේ රටේ මහා උගතෙක් වගේම පුරා විද්‍යාඥයෙක් වූ මහාචාර්ය සද්ධාමංගල කරුණාරත්න පසුගියදා අභාවප්‍රාප්ත වුණා. පුරා විද්‍යාඥයෙක් විදියට රටේ නමක් දිනා ගෙන සිටි ඔහු මෙරට යුගයෙන් යුගයට ජනප්‍රිය වූ ගීතයක පද රචකයා ලෙස හඳුනාගන්න ඇති බව නම් සැකයක්. පද රචකයාගේ නම ප්‍රසිද්ධියට පත් නොවුණත් ගීතය නම් කාලයක් පුරා විවිධ ගායකයන් විසින් ගායනා කෙරෙන ජනප්‍රිය ගීතයක්. ‘උඩරට සිට මැණිකෙ කෙනෙක් ආවා වාසිටි’ ඒ ජනප්‍රිය ගීතයයි.

එදා ඔහු මෙම ගීය රචනා කළේ පේරාදෙණිය සරසවියේ යුවතියකටලු. කාලයක් පුරා මෙම ගීය විවිධ ගායකයන්ගේ මුවඟ රැව් දුන්නත් ගීතය රචනා කළේ පුරා විද්‍යාඥයෙක් බව නම් කිසිවෙක් නොදන්නවා ඇති.

වසර පනහයි නිහාල් ගමට ඇවිත්

වසර පනහයි නිහාල් ඇවිත්. නිහාල් නෙල්සන්ගේ සංගීත දිවියට වසර පනහක් වෙලා. ඔහු එය සමරන්නේ ‘වසර පනහයි නිහාල් ඇවිත්’ ප්‍රසංගය සමඟින්. එය පවත්වන්න ඔහු තෝරා ගත්තේ සංගීත දිවියේ අරම්භය සනිටුහන් කළ උපන් ගම වන මොරටුව සොයිසාපුර.

ලබන 24 වැනිදා නිහාල් ‘වසර පනහයි නිහාල් ඇවිත්’ ප්‍රසංගය සමඟින් මොරටුව සොයිසා පුරට එනවා. මෙහි සංගීතය සන්ෆ්ලවර්ස් සහ කථනය තිලක් කුමාර රත්නායකගෙන්. සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙන්නේ රෝහණ හෙට්ටිආරච්චි විසින්.

රියල් ස්ටාර්ගේ රියල් ගීතය

ආශා මගෙ හද ආශා . . .
නිවා ආල ගිනි නිවා
ලංවෙන්න මංගල යාමේ
ආයාචනා මගෙ දෑසේ
ඔබටයි ප්‍රියේ ප්‍රේමාදරේ
සුහදානනේ . . .

අර්ජුන කමලනාත් අධ්‍යක්ෂණය කළ ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයේ මේ ගීතය දැන් හරිම ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා. මේ ගීතය ගායනා කරන්නේ රසික ඔබ කාගේත් ආදර ගෞරවය සමඟින් රණවිරු රියල් ස්ටාර් දෙවැනි අදියරේ තරුව බවට පත්වූ අයෝමි පෙරේරා.

ඇයට ආදරය කරන ආදරණීය ඔබ වෙනුවෙන් තවත් අලුත්ම ගීතයක් එළි දක්වන්නත් අයෝමි සූදානමින් සිටින්නේ. ඒ වගේම ළඟදීම විකාශය වෙන්න නියමිත ටෙලි සිත්තමක තේමා ගීතය වගේම තවත් චිත්‍රපටයක ගීත අයෝමිගේ හඬින් ඔබට ඇසෙන්නට නියමිත ආරංචියත් සරසවියට ලැබුණා.