වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




දිනුවත් පැරැදුණු සෙලීනා

දිනුවත් පැරැදුණු සෙලීනා

නව යෞවනයේ ගීත කෝකිලාව, සරාගී තාරකාව ලෙස මෙවර ‘ටීන් චොයිස් අවෝඩ්ස්’ දිනා ගත්තේ විසි එක් හැවිරිදි සෙලිනා ගෝමස්ය. ඇයගේ මිතුරියක සේම ප්‍රධාන අභියෝගයක් වූ මිලේ සයිප්‍රස් ද සම්මාන තුනකටම හිමිකම් කීවාය. සෙලීනා ‘ටීන් චොයිස් අවෝඩ්ස්’ හතක්ම දිනාගෙන ඇත.

කොතරම් සම්මාන ලැබුණත් ඇය මේ දිනවල පසුවන්නේ හිත් වේදනාවෙනි. අගෝස්තු 11 වැනි දින ලොස් ඇන්ජලීස්හි පැවැති සම්මාන උළෙලට සෙලීනාගේත් ජස්ටින් බීබර්ගේත් පැමිණීම සියල්ලන්ම බලාපොරොත්තු වුණත් ජස්ටින් බීබර් පැමිණ සිටියේ නැත.

සෙලීනා සම්මාන හයකට නිර්දේශ වී සිටි අතර, ජස්ටින් සම්මාන හතරක් සඳහා නිර්දේශ වී සිටියේය. ජස්ටින් මෙතරම් උත්කර්ෂවත් උළෙලකට සහභාගි නොවුණේ සෙලීනා සමඟ පැවැති පෙම බිඳ වැටීම නිසා බව බොහෝ දෙනාගේ අදහසයි. ජස්ටින්ගේ සෙල්ලක්කාරකම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන සෙලීනා වෙන්වීමට සිත හදාගෙන ඇත. ජූලි 22 වැනිදා පැවැති ඇයගේ උපන් දින සාදයට ජස්ටින් එක් රතු රෝස මලක් රැගෙන පැමිණ තිබේ. ඒ දෙදෙනාගේ අවසන් හමුවීමයි.

- - - - - - - - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ක්‍රිස් බ්‍රවුන් වැටිලා

තවමත් විසි හතර හැවිරිදි ක්‍රිස් බ්‍රවුන් ගායකයකු, නළුවකු වාගේම නර්තන ශිල්පියකු ලෙසින් ද ජීවිතය ජය ගත්තෙකි. ඔහු පසුගිය දා ලොස් ඇන්ජලීස් හි ශබ්දාගාරයකදී කෙසෙල් කඳක් මෙන් ඇද වැටුණේය. ඔහු හිටි හැටියේ මෙසේ අක්‍රිය වූයේ වැඩ වැඩිකම, මානසික ආතතිය සහ අසුබවාදී අත්දැකීම් නිසා බව ක්‍රිස්ගේ වෛද්‍යවරයා පවසා තිබේ. ප්‍රතිකාර පැතීම ක්‍රිස් ප්‍රතික්ෂේප කර ඇත. මාධ්‍ය තමන්ට එරෙහිව කරගෙන යන ප්‍රචාර සමඟ ඔහු යුද වදින්නේ කලක සිටය.

ජනප්‍රියතාවය නිසා හෙම්බත් වී සිටින ක්‍රිස් කලක් සුපිරි පොප් ගායිකා රිහානාගේ පෙම්වතා ද විය.

- - - - - - - - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

දියමන්ති දත්

වයස අවුරුදු 54 වුණත් මැඩෝනා කියන්නේ දවසින් දවස ප්ලාස්ටික් සැත්කම්වලින් තරුණ වෙන කාන්තාවකි. ඇය තම වියපත් තාරුණ්‍යය පෙන්වන්න නොකරන දෙයක් නැති තරම්ය. මෑතකදී ඇය මෙන්ටන් සංගීත උළෙලට සහභාගි වුණේ දියමන්ති ආභරණයක් දත්වලට පැලඳ ගෙනයි. මැඩෝනා සමඟ ඇයගේ විසි පස් හැවිරිදි පෙම්වතා බ්‍රහිම් සයිබාත් ද පැමිණ සිටියහ. ලේඩි ගගා මෙන්ම මැඩෝනා ද සංගීත සන්දර්ශන අතර දී සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිති.

- - - - - - - - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - - - - - - - -

මුදලට නැති සතුට

ජොනී ඩෙප් කියන්නේ ලොව වැඩිම ආදායමක් ලබන නළුවන්ගෙන් කෙනෙකි. ඔහු වෙනිස්සා පැරඩිස්ගෙන් වෙන් වූ පසු ගෙවන්නේ හුදෙකලා දිවියකි. ඔහුගේ නවතම රඟපෑම් දකින්නට ලැබෙන්නේ ‘ද ලෝන් රේන්ජර්’ සිනමාපටයේයි. ජොනීට ආදරය ගැන මෙන්ම මේ සිනමාපටය ගැන ද ඇත්තේ අසුබවාදී සිතිවිලිය. 1949 දී පුංචි තිරයේ අතිශයින් ජනප්‍රිය වූ මාලා නාටකයක් 2011 දී සිනමාවට නැඟීමට උත්සාහ කළත් මූල්‍යමය ගැටලු නිසා එය අසාර්ථක විය. දැන් සිනමාපටය බ්‍රිතාන්‍යයේ තිරගත කෙරේ. එහෙත් සිනමාපටය නිෂ්පාදනය කළ ඩිස්නි සමාගමට පවුම් මිලියන 124 ක පාඩුවක් විඳින්නට සිදුවන පාටය. සිනමාපටය පාඩු ලැබීම ගැන ජොනී ඩෙප්ට ද දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. චරිතයට අවශ්‍ය අමෙරිකානු ඉන්දියානු පෙනුම ඔහුට නැති වීම ඊට එක් හේතුවකි.

2012 වසරේදී හොලිවුඩ් හි වැඩිම ආදායමක් ලබන නළුවා ලෙසින් ගිනස් පොතේ නම සඳහන් වුවත් ජොනීට ඒ මුදලට සතුට මිල දී ගත නොහැකිය. සිනමාව ගැන නොසතුටෙන් සිටින පනස් හැවිරිදි ජොනී දැන් බලාපොරොත්තු වන්නේ රංගනයෙන් විශ්‍රාම යාමටයි.