වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




මහේෂි  අතුරුදන් හොරේ අසුටෙයි

මහේෂි  අතුරුදන්

මුතු පලසේ හීන් අප්පුගේ ගෙදර සොයා ගිය හැටි

හීන් අප්පුලැගේ ගේ කොහෙද තියෙන්නේ?

මා විමසුවේ ගැමියෙකුගෙනි. ඔහු මැදි වියේ සිටියෙකි.

අන්න අරක තමා හීන් අප්පුගෙ ගෙදර. මහත්තයා කාව හම්බුවෙන්නද මේ වෙලාවේ, ඔක්කොමලා ගෙදර ඇති.

ඒ ඔත්තුව මට හොඳටම සෑහේ. මට ඒ නිවසෙහි සියල්ල හමුවීමට වුවමනාවක් තිබිණ. තරමක් පල්ලමක ඇති භූමියක පිහිටි හීන් අප්පුගේ නිවස එතරම් විශාල නොවුණ ද සිරියාවන්ත එකකි. එහි සිටින ගැහැනු ළමුන් තිදෙනා නිසා එය එසේ වන්නට ඇතැයි මම විශ්වාස කළෙමි.

හීන් අප්පුලැ නිවෙසේ ඉස්තෝප්පුවේ ආගන්තුකයෙකි. දෙදෙනා අතර සිදුවන්නේ බැරෑරුම් සංවාදයක් බව මුහුණු දුටු මට පැහැදිලිය.

එහෙනම් හීන් අප්පු . . . මං ගොහිල්ලා එන්නම්. මං කියපු යෝජනාව ගැන ටිකක් හිතලා බලන්නකෝ.

හොඳමයි මහත්තයෝ.

අමුත්තා මිදුලේ නවතා තිබූ සිය කාරයේ නැගී පිටත්ව ගියේය. හීන් අප්පු නිකටේ අත ගසාගෙන කල්පනා කරයි.

 

හීන් අප්පු . . . දැන් කල්පනා කළා ඇති. ඊළඟ සීන් එක බලා ගමු.

සුප්‍රකට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් පවසයි. ඔහු ඊළඟ දර්ශනයට වටපිටාව සකසයි.

මුතුපලස.

එහෙම කිව්වාම කවුද නොදන්නේ. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරේ මුතුපලසට ඇත්තේ සුවිශේෂී තැනක් බව කිව යුතුමයි.

හීන් අප්පුලැගෙදර මුතුපලසෙහි ප්‍රධාන දර්ශන තලයන්ගෙන් එකකි. මම නිවසේ ජනේලයෙන් එබී බැලුවෙමි.

මේ මේ . . . ඔයා කීයට ද ආවේ?

ජනේලයේ පොලු අතරින් පෙනෙන රුවක් මට අමතයි. කාමරයේ අඳුර අතරින් ඇය මට පෙනෙන්නේ සිරකාරියක ලෙසිනි. ඒ තරුෂි පෙරේරා බව හඳුනා ගන්නට මට ටික වේලාවක් ගත වූයේ කාමරයේ අඳුරු ස්වරූපයට මනෙත ඉක්මනින් හුරු නොවූ බැවිනි. ඇය හීන්අප්පුගේ වැඩිමල් දුව හෙවත් ලොක්කිය.

මොකෝ මේ හිර කූඩුවක දාලා වගේ. . .

මම ඇයට විහිළුවක් කළෙමි.

ඔයා මේ පිස්සු කතා කරනවා. මේ කාමරයේ දොර එළියෙන් ලොක් වෙලා. මං මේ කෑ නොගහ හිටියේ එළියේ සීන් එකක් යන නිසා. අනේ ඒක ඉවර නම් එළියෙන් ඇවිත් දොර අරින්නකෝ.

තරුෂි මගෙන් ඉල්ලීමක් කරයි.

හොඳ වැඩේ. දන්නවා නම් මං යතුරත් හංගනවා.

මම තව විහිළුවක් කොට අදාළ අයට දන්වා තරුෂිව එළියට ගත්තෙමි.

අමිල අබේසේකර, මල්කාන්ති ජයසිංහ, මහේෂි මධුසංකා, තිසුරි යුවනිකා සහ හීන් අප්පුට රඟන ලූෂන් බුලත්සිංහල තවත් තැනක කතාවකි.

මහේෂි විටින් විට අතුරුදන් වෙයි. මේ පිළිබඳ කාටත් රහසින් මම සොයා බැලුවෙමි.

ඇයට කාගෙන්දෝ චොකලට් පාර්සලයක් ලැබී තිබේ. ඇය වරින්වර ඉන් ටිකක් අනුභව කොට දර්ශන තලයට එයි.

එවලේ මා දැනගත් රහස කිසිිවෙකුටත් නොපැවසුවේ මේ මොහොතේ සිට එය මුළු රටම දැනගන්නා නිසාය.

දැන් තිසුරිගේ දර්ශනයක් රූගත කරන්නට සූදානමිනි. ඇයට ඇත්තේ පහන පත්තු කොට පාසල් යන්නට ඇති දර්ශනයකි. කැමරාව ට්‍රැක් එකක් මත තබා ඇත. ඉන් බලද්දී තිසුරි එහි දර්ශන පථයට කොට වැඩි යැයි කැමරා අධ්‍යක්ෂවරයා පවසයි.

තිසුරි පා ඇඟිලිවලින් එසවිණ. ඒත් ඇය උස මදිය.

තිසුරි පට්ට කොටයිනේ.

කවුදෝ එලෙස කියනු ඇසී තිසුරිට ද සිනහ පහළ විය.

අර පොඩි ලෑලි තට්ටු දෙකක් තියලා තිසුරිව ඒකට නග්ගමු.

සිවා පවසයි.

එවර නම් වැඩේ හරිය. තිසුරි ක්ෂණිකව අඩි දෙකක් උස ගියේය.

මේ අතරවාරයේ හීන් අප්පු එහෙමත් නැතිනම් ලූෂන් බුලත්සිංහල මිදුලේ කෙළවරකට වී ‘සරසවිය’ පුවත්පත කියවමින් සිටියේය.

මං අවුරුදු ගාණක ඉදලා ඔයාලගෙ පත්තරේ ගන්නවා.

එලෙස පවසා ඔහුගේ දෑස් යළි පුවත්පතට යොමු විය.

නිවස දෙසින් කවුරුන් හෝ ඉහළ හඬකින් දත් මදිනු ඇසෙයි.

දැන් දහවල් එකත් පසු වී ඇත. අවේලාවේ දත් මදින්නේ කවුදැයි මම සෙමින් විපරම් කළ බැලුවෙමි.

හත්දෙයියනේ මේ මිහිර සිරිතිලක නේද?

ඊයේ නරි බුරති ෂෝ එකක් තිබුණා අනුරාධපුරේ. අද උදේ තමයි ආවේ. මූණ කට හෝදන්නත් බැරි වුණා.

ඔහු තතු පහදයි. මිහිරට පිරිසුදු වන්නට ඉඩ දී මා යළිත් මිදුල දෙසට ගියෙමි.

මුතුපලස සෑම සතිියේ දිනකම රාත්‍රී නවයට ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වේ. එහි කතාව තරමටම දර්ශන තලය ද සුන්දර බව ඔබට දැනෙන්නට ඇත.

ඉතින්, දැන් මෙතැනින් සමුගත යුතුය. මුතුපලසේ බොහෝ වේලාවක් ඇවිද ගිය මා හා ඡායාරූප ශිල්පී ටෙනිසන් ඉන් නික්ම ආවේ අප්‍රමාණ වූ සතුටු සිතිණි.