වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




කලාපුරේ අපි එක පවුලක දරුවො වගේ

කලාපුරේ අපි එක පවුලක දරුවො වගේ

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල්

කලාපුර කියන්නේ අපේ කලා ලෝකය වගේම හරිම සුන්දර ස්ථානයක්. විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන කලාකරුවන් රැසක් එකිනෙකා සමඟ දුක සැප බෙදා ගනිමින් දිවි ගෙවන්නේ මේ කලාපුරයේ. ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ ටික දුරක් යන විටදී තමයි මේ කලාපුරය අපට හමුවෙන්නේ.

මෙය කියවන ඔබ දැන් හිතනවා ඇති ඇයි මේ අද කලාපුර ගැන විශේෂයෙන් කතා කරන්නේ කියලා. ඔබ හද දිනා ගත් ඒ කලා තරු ජීවත්වෙන ප්‍රදේශයක සංචාරයකටයි සරසවියේ මේ සූදානම. අද සිට අපි ඔබත් සමඟ ‘කලාපුරේ සවාරියක්’ යන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් අපට අනගි සහායක් ලබා දෙන්නේ අරිසෙන් අහුබුදු මහතාගේ දියණිය වන සමන්ති අහුබුදු මහත්මියයි.

මේ කලාපුරයේ කුලසිරි බුදවත්ත, සිරිල් වික්‍රමගේ, ක්‍රිස්ටෝපර් පෝල්, පියසාර ශිල්පාධිපති, චන්ද්‍රා කළුආරච්චි – ලක්ෂ්මන් විජේසේකර, ඩබ්ලිව්. ආරියසිංහ, අනෝජා වීරසිංහ, නෙළුම් පෙරේරා, නිශ්ශංක දිද්දෙණිය, ජානක වික්‍රමසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, විජය නන්දසිරි - දේවිකා මිහිරාණි, යශෝධා විමලධර්ම ඇතුළු කලාකරුවන් හා කලාකාරිණියන් රැසක් පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම සුමේධ ඇල්විටිගල, දමිත් ෆොන්සේකා, සුධාරක ජයසේන වැනි දෙවන පරපුර නියෝජනය කරන කලා පවුල් ද මේ කලාපුර ජීවත් වෙනවා. ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් වැනි කලාකරුවන් දුර රටක ජීවත් වුණත් මේ කලාපුර සමඟ වූ ළබැඳියාව එලෙසමයි.

මේ වන විට විවිධ අංශ නියෝජනය කරමින් කලා පවුල් 50 කට අධික සංඛ්‍යාවක් වෙසෙන මේ කලාපුර ස්ථාපිත වෙලා තියෙන්නේ ටවර්හෝල් රඟහල පදනමේ 1978 අංක 1 දරණ පනත යටතේ. එහි ප්‍රථම සභාපතිවරයා වූ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එවකට මෙරට කීර්තිමත් කලාකරුවන් සඳහා කොළඹ අවටින් ඉඩම් ලබා දීම වෙනුවෙන් තමයි මේ කලාපුර නිර්මාණය වෙන්නේ. ඒ අනුව හැත්තෑව දශකයේ අග භාගයේදී අරිසෙන් අහුබුදු සූරීන්, ගාමිණී ෆොන්සේකා, කුලසිරි බුදවත්ත, සෝමදාස ඇල්විටිගල, ෂෙල්ටන් ප්‍රේමරත්න වැනි කලාකරුවන් පිරිසකගේ පදිංචිය මෙහි ආරම්භය සනිටුහන් කළා.

අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපතිනියව සිටි සමයේදීත් තවත් කලාකරුවන් පිරිසක් මෙහි පදිංචියට එක් වූ අතරම වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සියලුම කලාකරුවන්ට සින්නක්කර ඔප්පු හිමිකම ලබා දී තියෙනවා. මේ විදියට ආරම්භ වූ මේ කලාපුරයේ සුබසිද්ධිය වෙනුවෙන් පිහිටුවාගෙන තියෙන කලාපුර නිවැසි පදනමේ වත්මන් සභාපතිත්වය දරන්නේ රංගන ශිල්පිනී නෙළුම් පෙරේරා.

සොඳුරු කලාකරුවන් රැසක් වෙසෙන කලාපුරයේ සවාරියට දැන් සියල්ල සූදානම්. ඔන්න අපි මුලින්ම ගියේ දශක පහක් පුරා මියුරු ගී හඬින් ඔබට ගී ගැයූ ක්‍රිස්ටෝපර් පෝල් මහතාගේ නිවහනටයි.

‘හා මල් පිපෙන්නේ
ගඟ ගලන්නෙ හඬ නඟා
මැණිකෙ නිසයි ගම දිළෙන්නේ
තවත් හැඩ වෙලා . . .’

කොහොමද කලාපුර ජීවිතේ?

හරිම සතුටින්, නිස්කලංකව ජීවත් වෙනවා. අපි කලාපුර පදිංචියට ආවේ 1994 වසරේදී. මුලින්ම ඉඩම් ලැබුණත් ස්ථිර පදිංචියට එන්න පරක්කු වුණා. දරුවෝ විවාහ වෙලා වෙනම ජීවත් වෙන්නේ. මමයි බිරිඳයි දැන් මෙහි ජීවත් වෙනවා.

මීට කලින් පදිංචි වෙලා හිටියේ?

මාලිගාවත්ත තට්ටු නිවාස සංකීර්ණයේ.

මාලිගාවත්ත වගේ නාගරිකරණය වූ ප්‍රදේශයක ඉඳල මේ වගේ ප්‍රදේශයකට ආවම මොකද හිතුණේ?

කලාපුරයේ ජීවත්වෙන කොට දැනෙන සනීපය ගැන නම් කියලා නිම කරන්න බැහැ. තට්ටු නිවාස කොන්ක්‍රිට් ජීවිතයට වඩා මෙහෙ පරිසරය හරිම නිස්කලංකයි. ඒ වගේම අපේ කලා කටයුතු කරගෙන යන්න හොඳ මානසිකත්වය ලැබුණ එකම ඇති. ඇත්තටම කලාපුර කියන්නේ කලාත්මක පරිසරයක්. කලාකරුවෙකුට එයට වඩා වටින දෙයක් නැහැ.

අසල්වැසි කලාකරුවන් සමඟ ගෙවන ජීවිතේ මොන වගේද?

කලාකරුවන් ලෙස අපි හැමෝම එක පවුලක දරුවෝ වගේ තමයි ජීවත් වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. අරිසෙන් අහුබුදු සූරීන්, පී. වී. නන්දසිරි, ලයනල් අල්ගම, සෝමබන්දු විද්‍යාපති, ලයනල් පෙරේරා, දයානන්ද එස්. පතිරාජ සියලු දෙනාම මුල් කාලයේ අපිත් එක්ක හිටියා. කලාපුරයේ ජීවිතය හරිම සුන්දරයි. එකමුතුයි.

කලා ජීවිතයේ අලුත්ම තොරතුරුත් කියමු නේද?

පසුගිය මාසයේ ඉතාලියේ සංචාරයක නිරත වෙලා හිටියා. මිලානෝ හා වෙරෝනාහි සංදර්ශන කිහිපයකට සහභාගි වුණා. අලුත් ගීත කීපයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වුණාට ගීත තැටි නිර්මාණය කරලා වැඩක් නැහැනේ. දිගටම ප්‍රසංගවලටම සහභාගි වෙනවා. ඒ වෙලාවට රසිකයෝ ඉල්ලන්නේ පරණ ගීත විතරමයි. ඒ ගීත ඒ තරමටම ඔවුන්ට සමීප වෙලා.

පවුලේ විස්තරත් කියමු. දූ දරුවන් කලා කටයුතුවලට දායක වෙලාද?

මගේ බිරීඳ ලිලානි ගුණසේකර. දැනට කලාපුරයේ පදිංචි වෙලා ඉන්නේ අපි දෙන්නා විතරයි. පුතා චන්දන සම්පත්. ඔහු කුඩා කාලයේ විශාරද නන්දා මාලිනියගෙන් සංගීතය හැදෑරුවා. ඔහු කලාවට ළැදියි. රාජකාරි කටයුතු සමඟ කාර්යබහුල වුණත් ඔහු දිගටම කලා කටයුතුවලත් නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ ගී තැටියකුත් එළි දැක්වූවා. ලොකු දුව රෝමනී ශාමිලා. දෙවැනි දුව හර්ෂණී ඉඳුනිල්. ඒ දෙන්නාම කුඩා කාලයේ ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියේ හිටියා. දැන් ඒ දෙන්නාම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ තමයි කටයුතු කරන්නේ.

කලාපුරයේ සවාරියෙන් අපි මුලින්ම කතා කළේ ජනප්‍රිය ගායක ක්‍රිස්ටෝපර් පෝල් සමඟයි. ටිකෙන් ටික කාලයත් ගත වෙලා ගියා. කලාකරුවන් රැසක් වෙසෙන සොඳුරු කලාපුරේ සවාරිය ආරම්භ කළා විතරයි. තවත් කලා නිවහනකට ගොඩ වදින්නට මත්තෙන් මම ඔහුගෙන් ඇහුවේ ජීවත් වෙන්න කැමැතිම ස්ථානය කොහෙද කියලයි.

පිළිතුර – කලාපුර.

ලබන සතියේදී තවත් කලා පවුලක් හමුවෙන්න කලාපුරයට යමු.