වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




මම දැන් ආයෙමත් නිදහස්

මම දැන් ආයෙමත් නිදහස්
 

කලකට පසු චම්පා ශ්‍රියාණි හමු වී
 

ආදරණීය පෙම්වතියගේ භූමිකාවට ජීවය දෙමින් සුවහසක් රසික ආදරය ලබමින් තිරයට ආ ‘පී‍්‍රති මාලි’ පසු කලෙක ජීවිතයේ අනේක විද දුක් කම්කටුලු හමුවේ නොසැළුණු දිරිය දියණියක විය. මවක විය. බිරියක විය. විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට පත්වෙනවාත් සමඟම විටින් විට පුංචි තිරයට ගොඩ වැදී ඈ සඟවා ගත්තේ අපූරු රංගන මහිමයක් බව නම් නොරහසකි. චම්පා ශ්‍රියාණි පුංචි තිරයේ අමතක නොවන චරිත කිහිපයක් අපට තිළිණ කළ මේ දක්ෂතම රංගන ශිල්පිනිය බොහෝ කාලයකට පසු ‘සරසවිය’ පුවත්පත හා කතාබහට එකතු වූයේ පුරුදු ළෙන්ගතුකමිනි.

‘ඉඳිආප්ප කතාවේ ප්‍රීති මාලි ඔබ දුටුවනම මතකයට නැගෙනවා.’

(සිනාසෙමින්) දැන් මට ප්‍රීති මාලිගේ වයසේ පසුවන දුවෙකුත් ඉන්නවා. රඟපෑ පළමු නාට්‍යය ‘හිමි අහිමි’ වුවත් මාව අතිශය ජනප්‍රිය වුණේ හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ ප්‍රීති මාලි නිසා. මට මතකයි ඒ යුගයේ ප්‍රීති මාලි ආදරය කරනවා වාගේ ආදරය කරපු අයත් උන්නා. පුදුමේ කියන්නේ අදටත් බොහෝ දෙනා මගෙන් ප්‍රීති මාලිවම බලාපොරොත්තුවීමයි.

* ‘කාලයක් ගත වුව ද අදටත් ප්‍රේක්ෂකයන් එදා ටෙලි නාට්‍යවලට, ඒ චරිතවලට දක්වන කැමැත්ත එහෙම්මමයි නේද?’

‘ඇත්තටම මේකනේ, එදා ටෙලි නාට්‍ය යම් සංයමයකින්, කාලය අරගෙන, පිළිවෙළට කරපුවා. ඉඳිආප්ප කතාව වුණත් කරන කාලේ ඒ අධ්‍යක්ෂක, නිෂ්පාදකවරු දැක්මක් ඇතුවයි නාට්‍ය කළේ. ඔවුන්ගේ සිතේ ඇඳුන චරිතය අප තුළින් එළියට ගන්නට පුදුමාකාර සහයෝගයක් අපට දුන්නා. පිටපත අප අතට දුන්නා. එය සම්පූර්ණයෙන්ම කියවලා ඒ චරිතය ඇඟටම දාගන්නවා. ඉතිං ඒකනේ එදා කරපු චරිත මිනිසුන්ගේ මතකයේ තාමත් තිබෙන්නෙත්. ඒ ටෙලි නාට්‍ය මිනිසුන් ග්‍රහණය කර ගත්තෙත් ඔන්න ඔය හේතුව නිසා තමා.

* එතකොට ඔබ කියන්නේ අද බිහිවෙන ටෙලි නාට්‍ය හරි නෑ කියලද?

ගුණාත්මක, හරයක් තිබෙන නිර්මාණ ඉඳහිට දක්නට ලැබෙනවා. හැබැයි වැඩිපුරම දක්නට ලැබෙන්නේ වැඩකට නැති ටෙලි නාට්‍ය තමා. වෘත්තීය රංගන ශිල්පීන්ට සිදු වෙලා තිබෙනවා ජීවත්වීම උදෙසා ගුණාත්මක බව නොහිතා මේවාට දායක වෙන්න. කලාව අද තරගයකට හසුවෙලානේ.

* ඔබ ඒ තරගයේ නෑ...?

සත්තකින්ම, අධිවේගී ගමන මම කවදත් ප්‍රිය කළේ නෑ. මම යලට මහට රඟපාන නිළියක් කීවොත් හරි. තරුණ කාලේ දිගටම වගේ රඟපෑවානේ. විවාහයෙන් පසු රඟපෑම අඩු කරලා ගෙදර වැඩ සඳහා වැඩි කාලය දුන්නා. අද මම ඒ ගැන විශාල සතුටක් ලබනවා. අතිශය ජනප්‍රිය නිළියක්ව සිිටි කාලයේවත් මම ජනප්‍රියත්වය පසුපස හඹා ගියේ නෑ. අද කොහොමවත් අවශ්‍ය නෑ. තරගය කියන දේ මා තුළ නෑ. එහෙම තරග වැදුනා නම් අද මම මේ කලා ලොවේ ඉන්නේ ඉහළම තැනයි. ඒ කාලේ නිවි සැනසිල්ලේ නිර්මාණ කළා. මුදල් මතම නොවේ. ලැබූ තෘප්තිය ඉහළයි.

* ඔබ වැනි අති දක්ෂ නිළිකට එය පාඩුවක් නොවේද?

පාඩු සිදු වෙන්නේ මුදල් බලාගෙන කලාවට ආවා නම්නේ. මුදල් බලාගෙනම නිර්මාණවලට දායක වූවේ නෑ. ජීවිතයට මුදල් අවශ්‍යයි. එහෙම කියලා හැල්මේ දිවීමේ පුරුද්ද මට කවදත් තිබුණේ නෑ. මම විශ්වාස කරන දෙයක් තිබෙනවා. ඒ ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියන එකයි.

* ඔබ මෙහෙම කියන්නේ ජීවිතය ගැන අවබෝධයෙන් ද, කලකිරීමෙන් ද?

හොඳ අවබෝධයකින්. බලන්නකෝ අද කාලේ මනුස්ස ජීවිතය තුළ තිිබෙන අවදානම දිහා. ජීවිතය කොයි මොහොතේ, කොතනද කියලා කියන්න පුළුවන් ද? මේ ජීවිතය හරියට කඩයක් ඇරලා වහනවා වාගේනේ. ජනප්‍රියත්වයෙන් බැබළෙමින්, මුදල් ගොඩ ගසමින් සුපිරි ජීවිතයක් ගත කළ යුතුයි කියන තැන මම කවදාවත් නෑ. එය මම මගේ දරුවන්ටත් කියාල දෙනවා. සමබරව, මධ්‍යස්ථව ජීවිතය දෙස බලන්න කියලා. පොතපත කියවීම තුළින් හොඳ ජීවිත අවබෝධයක් මා ලබනවා. අසීමිත ආශාවන් පසුපස මම කවදාවත් හඹා යන්නේ නෑ. මම ඉන්නේ කලකිරීමෙන් කියලා කවුරු හරි හිතනවා නම් එය වැරැදියි. මේ කලකිරීම නොවේ. ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමයි.

* ලැබෙන්න තිබූ නූලෙන් අහිමිව ගිය හොඳම නිළි සම්මාන ගැනවත් දුකක් නැද්ද?

(ඇ යළිත් සිනාසේ) හොඳම නිළිය මනින්නේ ජූරියේ කිහිප දෙනෙකු එකතු වී ගන්නා තීරණයක් මතයි කියලා මම හිතන්නේ නෑ. සම්මානයකින් පුද ලබන හොඳම නිළියට වඩා හොඳ රඟපෑමක් කරලා ප්‍රේක්ෂක හදවතේ සදා ආදරය ලබමින් ලබා ගන්නා ගෞරවය මට ඉහටත් උඩින්. ‘වන වදුලේ වසන්තය’, ‘බැද්දෙ ගෙදර’, ‘කටු ඉඹුල’, ‘අඹු දරුවෝ’ යන උසස් නිර්මාණ තුළම ප්‍රේක්ෂක හදවතේ මම හොඳම නිළිය වුණානේ. අදටත් මා රැඟූ ඒ හැම ටෙලි නාට්‍යයක්ම මිනිසුන්ට මතකයි. එය නළුවෙකුට හෝ නිළියකට ලැබෙන දුර්ලභ වාසනාවක්.

* අපට ආරංචියි මෑතකදී යළිත් හොඳ චරිතයක් කළා කියලා?

මගේ ආදරණීය රසික – රසිකාවන්ට මෙය සතුටුදායක ආරංචියක් වේවි. බොහෝ කාලයකට පසුවයි ‘මිල්ලෑව වලව්ව’ ටෙලි නාට්‍යයේ රංගනයට එකතු වුණේ. සුනෙත් මාලිංග ලොකුහේවාගේ මේ ටෙලි වෘත්තාන්තය මෑතකදී පුංචි තිරයේ දිග හැරේවි. මේ දිනවල ස්වාධීන රූපවාහිනිය සමඟ එකතු වෙලා පොඩි වැඩකට අත ගහලත් ඉන්නවා. රංගනය සඳහා හොඳ පිටපතක් ලැබුණොත් ඉඳලා හිටලා හරි මම පුංචි තිරයට එනවා.

* ඒ කියන්නේ චම්පා ශ්‍රියාණි යළිත් රංගනයට එනවා?

ඔව්. දැන් මගේ දූලා දෙන්නා ලොකුයි. මවක ලෙස ඒ අයගේ ජීවිතය ඉහළින් තබන්න මම ගත් වෙහෙස අපතේ ගියේ නෑ. හොඳ නිර්මාණයක් සඳහා දායක වෙන්න මානසික සුවය මට දැන් තිබෙනවා. හැබැයි ‘හිමි අහිමි’, ‘හිරුට මුවාවෙන්’, ‘ගංගා හා නිශ්ශංක’, ‘ලෝකාන්තය’ වැනි නිර්මාණවල සිටි ආදරණීය පෙම්වතිය වෙන්න නම් යළිත් මට බෑ. එහෙම වුණෙත් ඒක විහිළුවක්. වයසට ගැළපෙන චරිත විතරයි කරන්නේ.

* ඔව්, කොහොමද ඔබේ ආදරය පිරි කැදැල්ලේ වගතුග එහෙම?

පර්සි මහේන්ද්‍ර . . . එදා වාගේම අදටත් ඔහුගෙන් ලබන ආදරය, රැකවරණය ජීවිතය එළිය කරනවා. සඳලි ලොකු දූ උසස් අධ්‍යාපනය මේ වන විට හදාරනවා. සියුම් සුජාතා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. බිරියක්, මවක් ලෙස මගෙන් විය යුතු යුතුකම් ආසාවෙන් ඉටු කරනවා. තිරසාර වැඩ මගේ ජීවිතයේ නෑ. අපි කට්ටියම එකතු වුණහම අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගන්න යනවා. ජීවිතයේ ඇත්ත සමඟ හිත සතුටු කරන්නයි මට ඕනෑ.

* කලා කටයුතුවලින් ඈත් වී සිටි සමයේ හිතවත් ශිල්පීන් එහෙම මුණ ගැසුණේ නැද්ද?

ගෙදරට වී උන්නා මිස කලා ලොවේ උත්සව කිසිවක් සඳහා සහභාගි වුණේ නෑ. හිතවතුන් සමඟ සතුටු වෙන්න ආසයි. ඒත් අද වැඩිපුරම ඇත්තේ මවාගත් දේවල්නේ. පරණ යාළුකම් තියෙනවා. ඉඳහිටලා හමුවෙන අය ඉන්නවා. නිල්මිණි තෙන්නකෝන්, ජයනි දික්කුඹුර එදා ඉඳන් හිතවත්. දුරකථනයෙන් කතා කරලා සැප දුක් අහනවා.

* ඔබ ගැන නිරන්තරයෙන් සොයන ඔබේ ආදරණීය රසික – රසිකාවන්ට අවසානේ කියන්න තිබෙන්නේ කුමක්ද?

ඔවුන් දක්වන ආදරය තමා කලාව ගැන යළිත් හිතන්නට හිතට ඉඩ දෙන්නේ. දැන් ආයෙත් මට නිදහස තියෙනවා. යළිත් රඟපාන්න මම සූදානම්.

ඔව් . . . මේ සුබ ආරංචිය රසික රසිකාවන්ට පමණක් නොවේ. බොහෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකවරන්ටත් සතුට දනවන පුවතක් නම් වේවි.