වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අපි අලුත් සිංදු කියනවාට රසිකයෝ කැමැති නැහැ

අපි අලුත් සිංදු කියනවාට රසිකයෝ කැමැති නැහැ

අමතක නොවන විදෙස් සංචාරයකට පසු

අපේ ගීත කෝකිලාවිය සමඟ කතාබහක්

තවමත් රසිකයෝ මට හරිම ආදරෙයි

මියුරු ස්වරයෙන් හදවත් සනසාලන ඈ අපේ ගීත කෝකිලාවිය ලතා වල්පොල. පසුගියදා ඈ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නියැළුණා. ජනතාවගේ ජන ජීවිතයට හානි පමුණුවමින් සැන්ඩි සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට අයහපත් කාලගුණයක් උදා වූයේත් මේ අවධියේදීමයි. මෙවැනි වාතාවරණයක් යටතේ අමතක නොවන අත්දැකීම් සමඟින් ඇය නිමා කළ ඒ සංචාරය ගැනත්, ගායන ජීවිතය ගැනත් සරසවියට අදහස් දැක් වූයේ මේ අයුරින්.

මම පසුගිය ඔක්තෝබර් 25 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර බලා පිටත් වුණා. 27 වැනිදා සංදර්ශනයක් පවත්වන්නට නියමිතව තිබුණා. ඊට පස්සේ නොවැම්බර් තුන් වැනිදා තවත් සංදර්ශනයක් තිබුණා. නමුත් සුළි කුණාටුවයි ගංවතුරයි නිසා ඒවා පවත්වන්නට අවස්ථාව ලැබුණේ නැහැ. සමහර ශාලා වතුර පිරිලා තිබුණා. 10 වැනිදා ෆ්ලොරිඩාවල තිබූ සංදර්ශනයට 8 වැනිදා එහෙට ගියා.

ගියාට පසුව තමයි ගුවන් ගමන් සියල්ල අවලංගු වෙලා තිබුණේ. 10 වැනිදා සංදර්ශනය සංගීතවත් කළේ ජගත් වික්‍රමසිංහ. දෙවියන්ගේ පිහිටෙන් අපිට කරදරවලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. 11 වැනිදාට මගේ උපන් දිනය යෙදිල තිබුණා. මගේ 79 වැනි උපන් දිනය වූ එදා මම ගීත විස්සක් විතර ගායනා කළා. හැමෝම එකතු වෙලා උපන් දිනය සැමරුවා. ඊට පසුව 17 වැනිදා වොෂිංටන්වලත්, 24 වැනිදා නිව්යෝක් හි අවසන් සංදර්ශනය පැවැත්වූවා.

දූ දරුවන් මොකද කිව්වේ?

දුරකථන ඇමතුම් සංඛ්‍යාව කෙතරම් ද කියන්න බැහැ. හැමෝම බය වෙලා කතා කළා. මගේ ළමයි හොඳටම බය වෙලා. දුව කතා කරල කිව්වේ අම්මේ ඕක දාලා ඉක්මනට එන්න කියලා. මම හැමෝටම කිව්වේ බය වෙන්න දෙයක් නැහැ. කලබල වෙන්න එපා කියල. කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හොයල බැලුවා. ශීත කාලය උදාවෙන්නට කලින් එන්න පුළුවන් වුණා.

විදෙස් රටකදී මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙන කොට බය හිතුණේ නැද්ද?

එහෙදි කරදරවලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. ගුවන් ගමනකදීවත් කිසි ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. හැමෝම මාව හොඳින් බලා ගත්තා. පාළුවක් දැනුණේ නැහැ. ගොඩක් සතුටුයි ඒ ගැන. සිංහල විදියට කෑම බීම හදල තිබුණා. ලංකාවේ ඉන්නවා වගේමයි දැනුණේ.

මේ ප්‍රසංග සඳහා ආරාධනා කළේ?

නිමල්, කල්‍යාණි, කාංචන, චන්ද්‍රිකා, උපාලි සහ ආනන්ද හේවගේ යන කට්ටිය එකතු වෙලා තමයි මට මේ ආරාධනාව කළේ. ඔවුන් ස්ථාන රැසක ප්‍රසංග සංවිධානය කරලා තිබුණා. සුළි කුණාටුව සමඟ ඇති වූ තත්ත්වය නිසා සමහර ප්‍රසංග අවලංගු වුණත් ඔවුන් ප්‍රසංග සියල්ල හොඳින් සංවිධානය කරලා තිබුණා. ඒ ප්‍රසංග සාර්ථකව පවත්වන්නට පුළුවන් වුණා. එමඟින් පන්සලකට විශාල ආධාර මුදලක් ලබා දෙන්නට ඔවුන් කටයුතු යොදලා තිබුණා.

ලැබුණු ප්‍රතිචාර?

එවැනි කරදර පැමිණි අවස්ථාවකදී වුණත් විශාල පිරිසක් පැමිණ තිබුණා. ඇත්තටම මටත් පුදුම හිතුණා. විදෙස් රටක වුණත් මේ තරම් රසික පිරිසක් මා වෙනුවෙන් ඉන්නවා දැකලා. එදා වගේම අදත් සිංදු කියනවා කියල ඔවුන් පැවසුවේ හරිම සතුටින්. ප්‍රසංගය සැබෑවටම රසවිඳි බව නම් හොඳටම තේරුණා. ඒ සියලු දෙනා සතුටු කරන්න ලැබුණු ඒ අවස්ථාව ගැන ගොඩක් සතුටු වෙනවා. විදේශයක ජීවත් වුණත් සිංහල ගීතයට ලැදි කරදර නොතකා මා වෙනුවෙන් පැමිණි ඒ සියලු දෙනාටම මම හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.

ඒ සිදුවීම්වලින් පසු දැන් යළිත් මෙරට සුපුරුදු පරිදි සංගීත කටයුතුවල නිරත වෙනවාද?

ඉක්මනට එන්න වුණෙත් කලින් යොදාගෙන තිබූ වැඩ කටයුතු නිසා. ආපු ගමන් 30 වැනිදා සංදර්ශනයක් තිබුණා. දෙසැම්බර් පළමුවැනිදා ග්‍රේෂන් ආනන්දගේ පුත් මාරියෝ ආනන්දගේ සංදර්ශනයටත්, 05 වැනිදා අමරදේවයන්ගේ ප්‍රසංගයටත් සහභාගි වුණා. 17 වැනිදා හලාවත දී අපේ පවුලේ ප්‍රසංගය වන ‘සෞම්‍ය රාත්‍රිය’ ප්‍රසංගය පැවැත්වූවා.

ඒ ගැනත් විස්තර ටිකක් කියමුද?

සෞම්‍ය රාත්‍රිය ප්‍රසංගය ආරම්භ කරල ටිකක් කල් වෙනවා. අමිත් පුතා තමයි ඒක සංවිධානය කරන්නේ. ඉදිරියේදී එය ලංකාව පුරා ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ධර්මදාස වල්පොල පදනම ශක්තිමත් කරල ධර්මදාස වල්පාල සංගීත ආයතනය සංගීත නිකේතනයක් බවට පත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ.

අලුත් ගීතයක් එළි දක්වන්නට අදහසක් නැද්ද?

අපි අලුත් සිංදු කියනවාට රසිකයෝ කැමැති නැහැනේ. තාමත් පරණ ගීතම තමයි ඉල්ලන්නේ. ඔවුන් අපෙන් අදත් බලාපොරොත්තු වෙන්නේ එදා ඔවුන් විඳි පැරැණි ගීත රසයම තමයි. මෙතෙක් කරපු නැති ගීත නම් ගොඩක් තියෙනවා. නමුත් ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙන තත්ත්ව සමඟ ඒවා එළිදක්වන්න පුළුවන්කමක් නැහැනේ.

ඔබේ ගීත ද ඇතුළත්ව නව පරපුර පැරැණි ගීත ගායනා කිරීම පිළිබඳ ඔබේ අදහස?

මුලින්ම ඔවුන්ට කියන්න වෙන්නේ පැරැණි ගීත තමයි. තරු තරගවලදී ඔවුන්ට ගායනා කරන්න ගීත නැහැනේ. නමුත් කාලයත් සමඟ ඔවුන් ඒවා අයිතිකර ගන්න එක තමයි වරද. තරගවලදී මුලින් ඔවුන් පැරැණි ගීත ගැයුවත් අවසන් වටය දක්වා එන ගමනේදී ඔවුන් ගීත නිර්මාණය කළා නම් හොඳයි. නමුත් අද අවසන් වටයේදී ගයන්නෙත් අනුන්ගේ ගීත. මම කියන්නේ ඒ වන විට ඔවුන් තම අනන්‍යතාව ගොඩ නඟා ගැනීම ආරම්භ කළ යුතුයි.

අද වනවිට ලංකාවේ බොහෝ තරු තරග පැවැත්වෙනවා. ඔබ ඒ සඳහා විනිශ්චය වෙනුවෙන් නොයන්නේ?

ගියාට වැඩක් නැහැනේ. එහිදී හැමෝටම හොඳ කියන්න ඕනනේ. වැරැදියට කිව්වත් එහෙමයි. අපට හැරෙන කොට කියන්න පුළුවන් ගායන හැකියාවක් තියෙනවාද නැද්ද කියලා. මෙහි කිසිම තේරුමක් නැහැ. මේ දක්වා පැවැති තරගවලට අනුව නම් මේ වන විට ලංකාව හොල්ලන්න තරමට ගායක ගායිකාවන් බිහි වෙලා ඉන්න ඕන. නමුත් අද එයින් ක්ෂේත්‍රයට පිවිසි අයට මොකද වුණේ කියලවත් හොයා ගන්න නැහැ.

දරු මුණුබුරන් සමඟ ගෙවන ජීවිතය ගැනත් කියමු?

ඒ අතින් මම හරිම වාසනාවන්තයි. මගේ මහත්තයා ධර්මදාස වල්පොල මෙරට හොඳම ගායකයෙක්. පුතුන් තිදෙනා, බෑනා මහින්ද බණ්ඩාර සහ දියණිය ගැන මට හරිම ආඩම්බරයි මිත්තණියක් විදියට මුනුපුරන් පස් දෙනෙක් හා එක් මිනිබිරියකගේ මිත්තණියක්. ඔවුන් වෙනත් ක්ෂේත‍්‍රවලට යොමුවෙලා හිටියත් සංගීතයට ලැදියි. ඒ ගැන හදාරනවා. ඒ ගැනත් ගොඩක් සතුටුයි. මේ වන විට මම සැමියා සමඟත් දුව සහ පුතුන් සමඟත් ගීත ගායනා කරල තියෙනවා. මගේ පළමු ගීතයේ සිටම මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඒ කාලේ ඉන්දියාවේ චිත්‍රාගාරවල වගේම එරට විවිධ සංගීත ශිල්පීන් සමඟ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබුණ අවස්ථා මෙරට කිසිම ගායිකාවක් ලබන්න ඇති කියල හිතන්නෙ නැහැ. මේ වන විට මම මෙරට චිත්‍රපට නිළියන් සිය දෙනෙකුට වඩා ගීත ගායනා කරල තියෙනවා. එදා වගේම අදටත් ලැබෙන රසික ප්‍රතිචාර වෙනසක් නැහැ. සම්මානවලට වඩා මට ඒ රසික ප්‍රතිචාර ගොඩක් වටිනවා. ඔවුන් සියලු දෙනාටම මම ස්තුති කරනවා.