වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් බොන්ඩ් සමඟ පරිගණක තාක්ෂණය ‘ගෝල්ඩන් අයි’

අලුත් බොන්ඩ් සමඟ පරිගණක තාක්ෂණය ‘ගෝල්ඩන් අයි’

1986 දී සෝවියට් දේශයේ එක්තරා රහසිගගත ස්ථානයක පවත්වාගෙන ගිය රසායනික අවි නිෂ්පාදනාගාරයක් විනාශ කර දැමීම සඳහා බ්‍රිතාන්‍ය එම් 16 රහස් ඔත්තු සේවයේ ඒජන්ත 007 ජේම්ස් බොන්ඩ් සහ 006 ඇලෙක් ට්‍රෙවලියන් රුසියාව බලා පිටත්ව යයි.

එහිදී දෙපිරිස අතර ඇතිවන ගැටුමේදී සෝවියට් කර්නල් ඔරුමොව් විසින් තැබූ වෙඩි පහරකින් ඇලෙක් මිය ගිය අතර බොන්ඩ් විසින් අටවන ලද බෝම්බවලින් බංකරය පුපුරා යද්දී බොන්ඩ් දිවි බේරා ගෙන අසල වූ කුඩා අහස් යානයකින් පලා යයි.

ඉන් වසර 9 කට පසුව බොන්ඩ් ‘මොන්ටිකාලෝ’ වෙත යන ගමනේදී ඔහුගේ ඇස්ටන් මාටින් රථය පසුපස ලුහුබඳිමින් එන ෆෙරාරි මෝටර් රිය පදවන්නේ සුරූපී තරුණියකි. මොන්ටිකාලෝහි කැසිනෝවකදී බොන්ඩ් මුණ ගැසෙන ඇය නමින් ෂෙනියා ඔනටොප් වෙයි. රේනස් ක්‍රයිම් සින්ඩිකේට් නම් රහස් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන ඈ කලින් කර්නල් පදවියේ සිට දැනට ජෙනරල් තනතුර දක්වා උසස් වූ ඔරුමොව් සමඟ එක් වී ටයිගර් යුරෝකොප්ටර් නමැති නවීන යුද හෙලිකොප්ටර් යානය පැහැරගෙන පලා යයි.

සෝවියට් සෙවර්නායා හි පිහිටි රහසිගත පරිඝනක දත්ත ගබඩා මධ්‍යස්ථානයක් වෙත යන ඔවුන් එහි තිබෙන දත්ත සංගත තැටියක් සොරා ගැනීම සඳහා එහි සිටින සියළු දෙනා ඝාතනය කරයි. පෘථිවි කක්ෂයේ ඇති විනාශකාරී සෝවියට් චන්ද්‍රිකාවක් වන ‘ගෝල්ඩන් අයි’ නමැති ප්‍රබල ලේසර් අවිය පාලනය කිරීමේ දත්ත එම සංගත තැටියේ අඩංගුවේ.

ගැටුමේදී එහි සිටි නිලධාරීන් අතුරින් නතාලියා සිමොනෝවා සහ බොරිස් ග්‍රිසෙන්කෝ නමැති පරිඝනක ක්‍රම ලේඛකයින් දෙදෙනා පමණක් දිවි බේරා ගෙන පළා යාමට සමත්වෙයි. 1986 දී වෙඩි වැදී මිය ගියා යැයි විශ්වාස කළ බොන්ඩ් ගේ මිතුරා වන අලෙක් ට්‍රෙවලියන් රුසියානු මාෆියාව මෙහෙය වන ප්‍රධාන පුද්ගලයා බවට පත්ව ගෝල්ඩන් අයි චන්ද්‍රිකා අවිය පාලනය කිරීම සියතට ගෙන සිටී. ඔහු සමඟ ෂෙනියා සහ ජෙනරල් ඔරුමොව් ද පරිඝනක මහ මොළකාරයා ලෙස බොරිස් ද එක්ව කටයුතු කරයි.

සාන්ත පීටර්ස්බර්ග් හි දී බොන්ඩ් හට අහම්බෙන් මුණ ගැසෙන නතාලියා, ඇලෙක්, ජෙනරාල් ඔරුමොව් සහ බොරිස් සමඟ එක් වී ගෝල්ඩන් අයි චන්ද්‍රිකාව උපයෝගි කරගෙන සිදු කිරීමට යන මහා මිනිස් සංහාරය වලක්වා ගැනීම සඳහා උත්සාහ ගන්නේ තම ජීවිත පරදුවට තබමිනි. ගෝල්ඩන් අයි කතාව ගෙතී ඇත්තේ මෙවැනි සිදුවීම් දාමයක් පාදක කර ගනිමිනි.

1995 දී තිරගත වූ ගෝල්ඩන් අයි 17 වෙනි බොන්ඩ් චිත්‍රපටයයි. ඇල්බට් ආර්. බ්‍රොකොලි සහ මයිකල් ජී. විල්සන් නිෂ්පාදනය කරන ලද මෙය අධ්‍යක්ෂණය කළේ මාටින් කැම්බල් විසිනි. ජේම්ස් බොන්ඩ් සහ ගෝල්ඩන් අයි යන නම් දෙක හැරුනු විට වෙන යම් සමාන සිද්ධියක් හෝ අදහසක් ඉයන් ෆ්ලෙමින්ගේ කෘතියකින් උපුටා නොගත් ප්‍රථම බොන්ඩ් චිත්‍රපටය මෙය වේ. ‘ලයිසන්ස් ටු කිල්’ තිරගත වී වසර 6 ක් තිස්සේ අලුත් බොන්ඩ් චිත්‍රපටයක් නිෂ්පාදනය නොවූයේ ප්‍රධාන චරිතය සඳහා තිමති ඩෝල්ටන් චිත්‍රපට 4 කට ගිවිසුම් අත්සන් කර තිබුණත් ඉඔන් ප්‍රඩක්ෂන්ස් එම්. ජී. එම් / යූ. ඒ සහ ඩැන්ජැක් යන සමාගම් අතර වසර ගණනාවක් පුරා ඇදෙමින් පැවතුණු නීතිමය ගැටලු නිසා පැන නැගුණු සම්බාධක හේතුවෙනි. නිෂ්පාදන කටයුතුවල ප්‍රමාදය නිසා ඩෝල්ටන් තීරණය කර තිබුණේ බොන්ඩ් චරිතයෙන් ඉවත්වීමටයි. ඒ අනුව 1994 අපේ‍්‍රල් මාසයේදී ඔහු නිල වශයෙන් බොන්ඩ් චරිතයෙන් සමුගත්තා.

එම පුරප්පාඩුව සපුරාලීම සඳහා තෝරා ගත්තේ ‘රෙමින්ටන් ස්ටීල්’ ටෙලි කතා මාලාවේ රඟපෑ පියර්ස් බ්‍රොස්නන් නමැති නළුවායි. එම් 16 රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කාන්තාවක් ආදේශ කිරීමට නිෂ්පාදකවරු තීරණය කළෙන් ජූඩ් ඩෙන්ච් වෙත එම චරිතය පැවරුණා. බ්‍රොකොලිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ හෙයින් ඔහුගේ උපදේශකත්වය යටතේ දියණිය බාබරා බ්‍රෙකොලි නිෂ්පාදන කළමනාකරණය බාර ගත්තා.

එම්. ජී. එම් / යූ. ඒ. සමාගම විසින් අධ්‍යක්ෂණය සඳහා ප්‍රවීණ අධ්‍යක්ෂක ජෝන් වූ යෝජනා කළ නමුත් ඔහු ඒ ඇරැයුම ප්‍රතික්ෂේප කළ නිසා නවසීලන්ත ජාතික මාටින් කැම්බල් හට එම කටයුත්ත පැවරුණා. මයිකල් ෆ‍්‍රාන්ස් සහ ජෙෆ්රි කේන් රචනා කළ තිර නාටකයට සහාය දුන්නේ කෙවින් වේඩ්. එහෙත් ඔහුගේ නම නාමාවලියේ සඳහන් වන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු විසින් නිර්මාණය කළ සී. අයි. ඒ. ඒජන්ත චිත්‍රපටයේ හඳුන්වනු ලැබුවේ ජැක් වේඩ් නමින්.

සෝවියට් දේශය දේශපාලනික වශයෙන් බෙදී යාම සහ බර්ලින් තාප්පය බිඳ වැටීම වැනි බටහිර ලෝකයේ සමාජයීය සහ භූගෝලීය පරිවර්තන යුගයකදී චිත්‍රපටයේ නිෂ්පාදනය ඇරැඹීම නිසා එම පසුබිම පසුතල දර්ශන සඳහා උපයෝගි කර ගැනීම අධ්‍යක්ෂකවරයාගේ අදහස වුණා. ඒ අනුව රුසියාවේ පසුතල බොහොමයක් චිත්‍රපටයට අන්තර්ගත කෙරුණා.

චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය වූ නතාලියා සිමෝනෝවා ලෙස රඟපෑවේ සුරූපි ඉසෙබෙලා ස්කොරුප්කෝ, ෂෝන් බීන් රඟපෑවේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඇලෙක් ට්‍රෙවලින් ලෙසයි. ඔහුගේ සහායිකාව වූ මිනීමරු ෂෙනියා ඔනටොප් ලෙස සරාගී නිළියක වන ෆෙම්කේ ජෙන්සන් නම් රූමතියක් රංගනයට එක් වුණා. එම් 16 රහස් ඔත්තු සේවයේ ලේකම් මිස් මනිපෙනි ලෙස සමන්තා බොන්ඩ් ද ඩෙස්මන්ඩ් ලෙවලින් මිස්ටර් කිව් ගේ චරිතයට ද පණ දුන්නා. සී. අයි. ඒ. ඒජන්ත ජැක් වේඩ් ලෙස රඟපෑවේ ජෝ ඩොන් බේකර්, චිත්‍රපටය වර්ණවත් කළ අනෙකුත් සුරූපිනියන් වන්නේ මිනී ඩ්‍රයිවර් සහ සෙරීනා ගෝර්ඩන්.

ප්‍රධාන රූගත කිරීම් 1995 ජනවාරියේ ආරම්භ වී ජුනි 6 දා දක්වා පැවතුණා. සුපුරුදු පයින්වුඩ් ස්ටුඩියෝව ෆස්ට් නයිට් චිත්‍රපටය සඳහා වෙන්කර තිබූ නිසා හර්ට්ෆෝඩ්ෂයර් හි පිහිටි පැරැණි රෝල්ස් රොයිස් කාර් කම්හල චිත්‍රාගාරයක් බවට පරිවර්තනය කොට අදාල පසුතල දර්ශන එහි ඉදි කිරීමට සිදු වුණා.

බොන්ඩ් පෙනී සිටින ත්‍රාසජනක ‘බන්ගී’ පිම්ම රූගත කෙරුණේ ස්විට්සර්ලන්තයේ ටිසිනෝ හි පිහිටි ලොකර්නෝ වේල්ල මතදීයි. ෂෙනියා සහ ඔරුමොව් විසින් ටයිගර් හෙලිකොප්ටරය පැහැරගෙන යෑම මොන්ටිකාලෝහිදීත් බොන්ඩ් විසින් පදවනු ලබන යුද්ධ ටැංකි ධාවනය ශාන්ත පීටර්ස්බර්ග්හිදීත් රූගත වුණා.

ඉන් සමහර දර්ශන එංගලනතයේදී රූගත කෙරුණු අතර උතුරු එංගලන්තයේ කෞතුකාගාරයකින් ණයට ගත් පැරැණි යුද ටැංකියක් නවීකරණය කොට සාදා ගත් මෙය පැදවූයේ රෙමී ජූලියෑන් නමැති ස්ටන්ට් ශිල්පියාගේ ප්‍රවීණ රියැදුරෙකු විසින්. චිත්‍රපටයේදී ඔහු නොපෙනෙන අතර සමීප දර්ශන සඳහා බ්‍රොස්නන් පෙනී සිටියා. එය ලුහුබැඳ එන අනෙකුත් වාහන ද රෙමී ගේ පළපුරුදු රියදුරු කණ්ඩායම විසින් පදවනු ලැබුවා. එහි ඇතැම් දර්ශන රූගත කෙරුණේ ලිවිස්ඩන් හි චිත්‍රාගාරයක් තුළයි. පීටර්බරෝ හි නෙනේවැලි දුම්රිය මාර්ගයේදී රූගත වුණු සෝවියට් සන්නද්ධ දුම්රිය සහ යුද්ධ ටැංකි ගැටුමේ එන එන්ජිම බ්‍රිතාන්‍ය එන්ජිමක් වන අතර එය රුසියානු පෙනුමක් එන පරිදි නවීකරණ කොට තිබුණා.

කලකට පසු බොන්ඩ් විසින් පැරැණි ඇස්ටන් මාටින් ඩී. බී. 5 රථයක් පදවමින් නවීන පන්නයේ ෆෙරාරි රථයක් හා තරග වදින ජවනිකාවක් චිත්‍රපටයට ඇතුළත් වුණා. ෆෙරාරිය පදවන ලද්දේ සරාගී ෂෙනියා විසින්. ත්‍රාසජනක රිය ලුහුබැඳීමක් වන මෙය රෙමී ජුලියැන්ගේ රිය ධාවකයින් විසින් සිදු කරන ලද්දක් වන අතර සමීප දර්ශනවල බ්‍රොස්නන් සහ ෆෙම්කේ පෙනී සිටියා.

පරිඝනක දෘශ්‍ය ප්‍රයෝග භාවිතා කළ ප්‍රථම බොන්ඩ් චිත්‍රපටය මෙය වන අතර දෘශ්‍ය ප්‍රයෝග ශිල්පි ඩෙරෙක් මෙඩින්ග්ස් දායක වූ අවසන් චිත්‍රපටය ද මෙයයි. දුම්රිය සහ යුද ටැංකිය ගැටෙන දර්ශනයක් සැටලයිට් ඇන්ටනාව සවිකර ඇති වෘත්තාකාර ජලාශය ද ඔහුගේ කුඩා ආකෘති ආධාරයෙන් රූගත කෙරුණා.

කොමියුනිස්ට් වාදයේ බිඳ වැටීම පිළිබිඹු වන සේ නිර්මාණය කරන ලද නාමාවලිය ඩැනියල් ක්ලයින්මන්ගේ සැලසුමක්. 1991 දී සුපුරුදු නාමාවලී නිර්මාතෘ මොරිස් බයින්ඩර් මියගිය නිසා ඩැනියල් එම පුරප්පාඩුව සපුරාලීමට පැමිණියා. නාමාවලියේ දැක්වෙන කැති මිටි ලාංඡන සහ රතු තරුව පිළිබඳ කොමියුනිස්ට් සංවිධාන දැඩි විරෝධයක් පළ කර සිටියා. එම සලකුණු හා මුසුවුණු බිකිනි ඇඳුමින් සැරැසුණු අඩ නිරුවත් කෙල්ලන්ගේ රංගන විලාසයන් ඔවුන්ගේ දැඩි දෝෂ දර්ශනයන්ට ලක්වුණා. චිත්‍රපටයට අනුග්‍රහය දැක් වූ වෙළඳ සමාගම් අතර බැවේරියන් මෝටර් වර්ක්ස් හෙවත් බී. එම්. ඩබ්ලිව්. සමාගම අයි. බී. එම්. පරිඝනක ආයතනය සහ ඔමේගා ක්වාර්ට්ස් ඔරලෝසු සමාගම ප්‍රධාන තැනක් ගත්තා. මුල් බොන්ඩ් චිත්‍රපට සඳහා අනුග්‍රහය ලබා දුන්නේ රොලෙක්ස් ඔරලෝසු සමාගමයි.

ගෝල්ඩන් අයි තේමා ගීතය බොනෝ සහ එජ් ගේ රචනයන් වන අතර එය ටීනා ටර්නර් ගායනා කළා. සංගීත අධ්‍යක්ෂණය එරික් සෙරා ගෙනි. ඔහුගේ පසුබිම් සංගීතය දැඩි විවේචනයන්ට බඳුන් වූ අතර ඇතැම් දර්ශන සඳහා ජෝන් ඕල්ට්මන් ද සංගීතය සැපයුවා. සමහර විචාරකයින් කියා සිටියේ බොන්ඩ් චිත්‍රපට සංගීතයේ විශිෂ්ටත්වය සෙරා විසින් සහමුලින්ම බිඳ දමා ඇති බවයි. පැරැණි බොන්ඩ් චිත්‍රපට සංගීතයට අලගු තැබීමටවත් ඔහුට හැකියාවක් නොමැති බව ඔවුන්ගේ මතය වුණා. 1995 නොවැම්බර් 13 දා නිව්යෝක් හි රේඩියෝ සිටි ශාලාවේදී චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් පූර්ව දර්ශනය පැවැත්වුණා. එම නොවැම්බර් 27 වෙනිදා ලන්ඩන් ඕඩියන් ශාලාවේදී තවත් පූර්ව දර්ශනයක් තිරගත වුණා. ප්‍රංශයේ පැවැත් වූ පූර්ව දර්ශනයට, ග්‍රීන්පීස් සංවිධානයේ සාමාජිකයෙකු වූ බ්‍රොස්නන් සහභාගි නොවූයේ ප්‍රංශ රජය විසින් සිදු කරන න්‍යෂ්ටික අවි අත්හදා බැලීම්වලට විරෝධය දැක්වීමක් වශයෙන්.

1995 වසරේ ලෝ පුරා වැඩි ආදායම්ලාභී චිත්‍රපට අතුරින් සිව්වෙනි ස්ථානයට පත් වූ ගෝල්ඩන් අයි මුලු ආදායම ඩොලර් මිලියන 350 ඉක්මවා ගොස් තිබුණා. ධනාත්මක විචාරක ප්‍රතිචාරයන්ට ලක් වූ චිත්‍රපටය ඇතැම් විචාරකයින් හැඳින් වූයේ ඇස කණ මැනෙවින් පිනවන පරිපූර්ණ ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසයි. හොඳම විශේෂ ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝග සඳහා බැෆ්ටා සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට එක් වූ චිත්‍රපටය හොඳම සිනමා සංගීතය වෙනුවෙන් එරික් සෙරා හට බී. එම්. අයි සිනමා සම්මානය හිමිකර දුන්නා. හොඳම නළුවා සහ ක්‍රියාදාම චිත්‍රපටය මෙන්ම හොඳම සටන් දර්ශන රැගත් චිත්‍රපටය ලෙසත් සැටර්න් සම්මානය සඳහා ගෝල්ඩන් අයි නිර්දේශ වුණා.

ඊළඟ බොන්ඩ් චිත්‍රපටය වන ටුමාරෝ නෙවර් ඩයිස් සමඟ ලබන සතියේ හමු වෙමු.