වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




‘ව්‍යාවහාරික උඩරට නර්තන කලාව’ අද දොරට වඩී

‘ව්‍යාවහාරික උඩරට නර්තන කලාව’ අද දොරට වඩී

මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් රචිත ‘ව්‍යවහාරික උඩරට නර්තන කලාව’ කෘතිය අද (20) කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දොරට වඩී.

මෙම අවස්ථාවේදී මහාචාර්ය ජේ. බී. දිසානායක විසින් ආරාධිත දේශනය පවත්වන අතර ‘ව්‍යවහාරික උඩරට නර්තන කලාවේ නූතන මුහුණුවර’ මැයෙන් නිදර්ශන සහිත දේශනය මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් පැවැත්වීමට නියමිතය.

නාලකගේ ‘දඟමල්ල’ 22 දා ලයනල් වෙන්ඩ්ට්හී

දඟමල්ල වේදිකා නාට්‍ය දෙසැම්බර් 22 වැනිදා ලයනල් වෙන්ඩ්ට්හි දී වේදිකා ගත කෙරේ. නාලක ස්වර්ණතිලක විසින් 2003 වසරේදී දඟමල්ල ප්‍රථමයෙන් නිර්මාණය කළ අතර එම වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී සම්මානයට පත් වූ අතර මෙවර එය නව නිෂ්පාදනය නවක ළමා ශිල්පීන් ද සමඟින් නිමවා ඇත.

කුසුම්රේණු, මොරින් චාරුණී, රමනී සිරිවර්ධන, නිල්මිණි සිගේරා සහ සංජීව උපේන්ද්‍ර යන ප්‍රවීණ ශිල්පීන් සමඟ නෙලියා අල්ගම, දිනුෂි සුමනසිරි, පාරින්දි ද කොස්තා, ෂයිනි නෙත්තිකුමාර, ටෙහාරා කන්නංගර, අකිල දයාරත්න, පසන් රත්නායක, රුවින් ඉද්දගොඩ, නදිල් කොළඹගේ, හිවිනි කරුණාරත්න, සුලක්ෂණා රන්දෙණිය ඇතුළු ළමා ශිල්පීන් 21 දෙනෙකු එක්ව සිටිති. සංගීත නිර්මාණය නුවන් විතානගේ, හර්ෂිකා රත්නායක නර්තන නිර්මාණයෙන්, භාණු ප්‍රසංග අංග රචනයෙන්, රංග සමරකෝන් ආලෝකකරණයෙන් සහ අශෝක වීරතුංග වේදිකා පරිපාලයෙන් දඟමල්ලට දායක වේ.

‘රන්තරු විලසේ’ 21 දා ටවර් රඟහලේ

ගායන ශිල්පී නිමල් ගමගේ ගේ ‘රන්තරු විලසේ’ විචිත්‍රවත් සංගීත ප්‍රසංගය මෙම මස 21 වැනිදා එනම් හෙට මරදාන ටවර් රඟහලේදී පැවැත්වෙයි.

ලතා වල්පොල, කුමාරි මුණසිංහ, මල්කා සෙනෙවිරත්න යන අයගේ යුග ගායනයෙන් රන්තරු විලසේ හැඩ වෙති.

කසුන් කල්හාර, රෝහණ බෝගොඩ, නිහාල් නෙල්සන්, වර්නන් පෙරේරා සහ ලලිත් පොන්නම්පෙරුම ආරධිත ශිල්පීන්ය.

ඉන්ද්‍රසිරි සුරවීර හා රත්නා පුෂ්පකුමාරිගේ කථනයකි. සරත් ද අල්විස් වාද්‍ය වෘන්දය මෙහෙයවයි.

කැලණිය ශ්‍රී ධර්මාලෝක ධර්ම විද්‍යාලය මඟින් සංවිධානය කෙරෙන ‘ගීතාභිවන්දනා’ ගීතමය වැඩසටහන දෙසැම්බර් 22 වැනිදා පස්වරු 3.00 ට කැලණිය ධර්මාලෝක විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

සාරධර්ම සපිරි සුචරිතවත් සංවේදී සමාජයක් උදෙසා නොමිලයේ පැවැත්වෙන මෙම ‘ගීතාභිවන්දනා’ වැඩසටහන එදා සහ අද බිහි වූ ගීත සංවාදයට බඳුන් කෙරෙන බව එහි කැඳවුම්කරු ගායන ශිල්පි කුමා අත්තනායක පවසයි. ජනප්‍රිය ගීත රචක ප්‍රවීණ දේශක මහින්ද චන්ද්‍රසේකර විසින් මෙය මෙහෙයවනු ලැබේ.

රංගනයට අවස්ථාවක්

සුපිරි බලවතා චිත්‍රපටය නිෂ්පාදනයෙන් සහ ආගන්තුකයා මෙන්ම සූරයන් අතර වීරයා යන චිත්‍රපට සම නිෂ්පාදනයෙන් දායක වූ සරසවි සම්මානලාභී (ආගන්තුකයා නිෂ්පාදනය වෙනුවෙන්) අනුර අබේසේකර ඒ. ජී. ඒ. ෆිල්ම්ස් වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන ළමා චිත්‍රපටයක් සඳහා වයස අවුරුදු 9 – 11 අතර ළමා නළු නිළියන්ට අවස්ථාවක් ලබාදීමට එම ආයතනය බලාපොරොත්තු වේ. එයට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන ළමා නළු නිළියන්ට ඡායාරූපයක්ද සමඟ මෙම මස 23 වැනිදා එනම් එන ඉරිදා ජාතික චිත්‍රපට සංස්ථාවට පැමිණ මූලික සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්න යැයි එම ආයතනය ආරාධනා කරයි.

රෝමය ගිනි ගනී - 02 23 දා බිබිලේ

ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘රෝමය ගිනි ගනී – 2’ දෙසැම්බර් 23 වැනිදා බිබිල, විජයමුණි සොයිසා සංස්කෘතික මන්දිරයේදී වේදිකා ගතවේ.

‘හඳ මාමා ස්වර්ණ ජයන්ති සැමරුම’ හෙට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ප්‍රචාරය කරන ‘හඳ මාමා’ ළමා වැඩසටහනට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් හෙට (21 දා) ‘හඳ මාමා ස්වර්ණ ජයන්ති සැමරුම’ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.

1963 දෙසැම්බර් 14 වැනිදා ‘හඳ මාමා’ ළමා වැඩසටහන ආරම්භ කළ අතර එදා සිට අද දක්වා එය නිර්මාණය කරන ලද්දේ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය විසිනි.

50 වැනි වසර නිමිත්තෙන් ළමුන් වෙනුවෙන් පැවැත් වූ කතන්දර තරගයේ ජයග්‍රාහක ළමුන් දස දෙනෙකුට ස්වර්ණ ජයන්ති සැමරුමේදී ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත අතර එම අත්පිටපත් ඉදිරියේදී මුද්‍රණය සඳහා ගොඩගේ පොත් සමාගමට භාරදීමට නියමිතය. ඊට අමතර එදා සිට අද දක්වා ‘හඳ මාමා’ වැඩසටහනින් ක්ෂේත්‍රයට පිවිසි කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ප්‍රසංගයක් පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රදීපා ධර්මදාස, රත්නා ලාලනී ජයකොඩි, සහන් රංවල, නිමන්ත හේෂාන්, දර්ශන ප්‍රමෝද්, සිතාරා උඩුවන සහභාගි වෙති.