වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




නිහාල්සිංහ මහත්තයා මට කිව්වේ Full Moon කියලා

නිහාල්සිංහ මහත්තයා මට කිව්වේ Full Moon කියලා

සත් සමුදුරෙන් සිනමාවට ආලීනා ප්‍රනාන්දු

එකම වෘත්තියක නියැලී සිටින අය අතරේ සුහදත්වයක් පැවතිය යුතුමය. මෙය නීතියක් හෝ රීතියක් නොව උත්තම පරම ආදර්ශයකි. පෙරදා සිනමා ශිල්පීන්ගෙන් ජීවමාන වූ එම ගුණය වත්මන නව පරපුරෙන් බොහෝ දුරට පිරිහී පවතී. එහෙත් අපේ පැරැණි නළු නිළියන් අතළොස්ස වෙතින් තවමත් ප්‍රකට කරවන මේ තත්ත්වය මට සිහිපත් වූයේ බොනිපස් ප්‍රනාන්දු නම් ප්‍රවීණ රංගධරයා විසින් සරසවිය පුවත්පත සොයා යන අතීත සිනමා තරු කිහිප දෙනෙකුගේ ලිපින සොයාදී ඔවුන් පිළිබඳ අප මතකය යළි පුබුදුවාලීම නිසාවෙනි. මේ එවන් රංගන ශිල්පිනියකි. ඇයව ලීනා ප්‍රනාන්දු නමින් ආමන්ත්‍රණය කළ හැකිය.

ඔබ ගැන තොරතුරු විමසන්නට පෙරාතුව මම කැමැතියි ඔබේ මාපියන් පිළිබඳ මතකය සමරන්න.

පියා බෙන්ජමින් මාස්ටර් නමින් කවුරුත් හඳුනන සී. බෙන්ජමින් ප්‍රනාන්දු. ඔහු තමා මීගමුවේ ප්‍රථම නාට්‍ය කණ්ඩායම බිහි කළේ. මීපුර මංගල නාට්‍ය සභාව යනුවෙන් නම් කොට තිබුණ එමඟින් නාට්‍ය රැසක් වේදිකාවට රැගෙන ආවා. මාතලන්, සිංහල කොල්ලා, බැලසත්ත, සූර සරදියෙල් ඉන් කිහිපයක්. පියා විසින්ම ප්‍රධාන භූමිකා නිරූපණය කළ මේවාට රැ¼ගුමෙන්, ගායනයෙන්, වාදනයෙන් මෙතායස් ප්‍රනාන්දු, ඊ. මාෂල් පෙරේරා, ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු, හියුගෝ ප්‍රනාන්දු, විසිඩෝර් ෆොන්සේකා දායකත්වය දුන්නා. ශ්‍රීී වික්‍රම, රාමායනය, රොඩී කෙල්ල, සිරි සඟබෝ, රෝමියෝ ජුලියට් යන ටවර් හෝල් නාට්‍ය ගණනාවකත් රඟපා තිබෙනවා.

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ භයානක පොරොන්දුව නාට්‍යයේ රඟපාමින් ඔහුට මිනර්වා නාට්‍ය සංගමය පිහිටුවීමට පියා බොහෝ උදව් උපකාර කළා. කඩවුණු පොරොන්දුව කියා වේදිකාවට ආවෙත් මේ නාට්‍ය කතාවම කියලත් අහලා තියෙනවා. මේ නිසා කඩවුණු පොරොන්දුව සිනමාවට නගද්දී පියාට එහි සහාය ශිල්පියකු හැටියට කටයුතු කිරීමට අවස්ථාව සැලසුනා. මුලින්ම පියාගේ රුව චිත්‍රපටයකින් දුටුවේ සරදියෙල් චිත්‍රපටයේ වෙදරාලගේ චරිතයෙන්. ඊළඟට අසෝකා චිත්‍රපටයේ සීයා මනමාලයා ගීත ජවනිකාවේ රඟපෑවා. රම්‍යලතා, වනලිය, කවුද හරි, දෙවියනි ඔබ කොහිද වැඩිහිටි චරිත නිරූපණය කළ තව චිත්‍රපට කිහිපයක්. වනලිය, කවට අන්දරේ යන චිත්‍රපටවල දෙබස් රචනා කළා. පියා වගේම මවත් ටවර් හෝල් නිළියක්. නම ඳයුරින් වික්‍රමරත්න. පිටිසර කෙල්ල චිත්‍රපටයේ රඟපෑ පියසීලි වික්‍රමරත්න ඇගේ නැගණිය. ජනප්‍රිය නිළි විජිත මල්ලිකා අම්මාගේ අක්කගෙ දුව.

* නාට්‍ය කලාවට හා සිනමාවට සේවයක් කළ ඔබේ පියා මියගිය දවස මතකද?

පියා ඉපදුණේ 1905. වසර 86 ක් ආයු විඳ මිය ගියේ 1991 දෙසැම්බර් 31 වෙනිදා. කියන්න කනගාටුයි, මරණයට සහභාගි වුණේ අපේ ඥාති මිත්‍රාදීන් හා ගමේ උදවිය පමණයි. සිනමාවේ කිසිම නියෝජනයක් දුටුවේ නැහැ. ඔය ටිකම තමයි අපි කාටත් උරුම.

* දැන් ඉතින් අපි ඔබ දෙසට හැරී පාඨකයින් වෙනුවෙන් ඔබේ ජීව දත්ත ටිකක් විමසා බලමු?

මම ඉපදුණේ 1949 නොවැම්බර් 29 වැනිදා. උප්පැන්න සහතිකයේ සඳහන් වන සම්පූර්ණ නම චක්‍රවර්තිගේ මේරි ගර්ටෲත් ලීනා ප්‍රනාන්දු. උපතින් කතෝලික. අධ්‍යාපනය ලැබුවේ මීගමුව බෝලවලාන ශාන්ත මරියා විදුහලේ. අපේ පවුලේ එකම ගැහැනු දරුවා මම. මට වැඩිමහල් සහෝදරයින් තිදෙනෙක් හා බාලයින් තිදෙනෙක් සිටියා.

* එතකොට ඔබේ කලා කටයුතු පිළිබඳ මුල්ම සබැඳියාව ඇරැඹෙන්නේ කෙසේද?

අපේ පල්ලියේ නිකලස් පෙරේරා කියලා කලාවට ලැදි පූජකවරයෙක් සිටියා. ඔහු අපූරු කතෝලික නාට්‍ය නිර්මාණය කළා. මෙකී නාට්‍යවල තිබුණු විශේෂත්වය ගැහැනු ළමයින් පමණක් හා පිරිමි ළමයින් පමණක් රඟපාන නාට්‍ය වශයෙන් නිර්මාණය කිරීමයි. මෙවන් එක නාට්‍යයක රඟපාන කොට මගේ වයස අවුරුදු පහළොවයි. නාට්‍යයේ නම රෝස මලේ ප්‍රාතිහාර්ය. දෙවැන්න මාකස් මර්සියා. මෙහි එන මාකස් නම් පිරිමි චරිතය නිරූපණය කළේ මම. තවත් එකක්. මම විතරක් නෙමෙයි සෝනියා දිසානායක, ඇස් ඉදිරිපිට චිත්‍රපටයේ ප්‍රධාන නිළිය පර්ල් විජේසිංහ පවා කලාවට අවතීර්ණ වුණේ නිකලස් පූජකතුමාගේ නාට්‍ය තුළින්.

* ඔබට සිනමාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ ඊට පස්සේ නේද?

ඒක අහඹු සිදුවීමක් කිව්වොත් හරි. මාකස් මර්සියා නාට්‍ය නරඹන්න දොස්තර ලීනස් දිසානායක මහත්තයා පැමිණ සිටියා. ඔහු මගේ රංගනය ගැන පැහැදිලා නිපදවීමට අඩිතාලම දමා සිටි ඔහුගේ කුලුඳුල් චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකට මාව තෝරා ගත්තා.

* ඔබේ මුල්ම සිනමා රංගනය රැගත් එම චිත්‍රපටය සම්බන්ධ කොට ලුහුඬු විග්‍රහයක් කරන්න පුළුවන්ද?

සත් සමුදුර චිත්‍රපටයෙන් නිරූපණය වූයේ ධීවර සමාජයක පසුබිම වුණත් ඉන් විවරණය කළේ ඔවුන්ගේ ජීවිත පැවැත්ම නොවෙයි. එය අසීමිත මාතෘ සෙනෙහස අළලා නිර්මාණය වූ සිනමාපටයක්. ධීවර සමාජය එහි තේමාව ෂකාශය කිරීම පිණිස යොදා ගත් පසුතලයක් පමණයි. අනික මෙහි රංගන ශිල්පීන් තෝරා ගත්තේ ප්‍රසිද්ධ තරු ආකල්පය බැහැර කරමින්.

ස්වර්ණා මල්ලවආරච්චි, එඩ්මන්ඩ් විජේසිංහ, සෝමසිරි දෙහිපිටිය හා ප්‍රධාන නළුවාගේ පෙම්වතිය වෙමින් මම සිනමා රංගනයට පිවිසියේ සත් සමුදුරෙන්. සිරිල් වික්‍රමගේ, දෙනවක හාමිනේ ප්‍රධාන චරිත රඟපෑවෙත් මෙහි. මේ චිත්‍රපටය ප්‍රබල චිත්‍රපට ප්‍රදර්ශක සමාගම් බෙදා හැරීම භාර ගත්තේ නැහැ. අන්තිමේ ඕඩියන් සිනමාස් නම් අලුත් සමාගමක් යටතේ ප්‍රදර්ශනයට මුදා හැරියා.

1968 පවත්වන ලද පස්වන සරසවිය සම්මාන උළෙල වෙනුවෙන් සත් සමුදුර තිරගත කළ දවසේ කුසපත් ඇදීමෙන් තෝරා ගත් නරඹන්නන් දස දෙනකුට මගේ අත්සන සහිත මගේ ඡායාරූපයක් මගේ අතින් ප්‍රදානය කිරීම තවමත් මතකයෙන් බැහැර වෙලා නැහැ. මේ උළෙලේදී සත් සමුදුර හොඳම චිත්‍රපටය - දොස්තර ලීනස් දිසානායක, අධ්‍යක්ෂ – මහාචාර්ය සිරි ගුණසිංහ, නළුවා - එඩ්මන්ඩ් විජේසිංහ, නිළිය - දෙනවක හාමිනේ, සංස්කරණය - ඩී. බී. නිහාල්සිංහ, සංගීතය - සෝමදාස ඇල්විටිගල, ගීත රචනය – මහගමසේකර, ගායනය – ඩබ්. ඩී. අමරදේව සම්මානයෙන් පිදුම් ලැබුවා. මට හිතෙන විදියට සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ප්‍රථම සරසවි ඇදුරුතුමා සිරි ගුණසිංහ වෙන්න ඕනේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලයේ සිනමාකරණය හැදෑරූ ඔහු චිත්‍රපටයේ දෙබස් අල්පව පාවිච්චි කොට සිනමාව හුදෙක් දෘශ්‍ය මාධ්‍යයක් බව ඔප්පු කළා.

* සත් සමුදුර රූගත කළ අවධිය අද ඔබේ මතකයෙන් දුරස් වෙලාද?

අපොයි නැහැ. ඒ සුන්දර අතීතය යළි යළිත් නිතැතින්ම අදටත් මතකයට නැගෙනවා. මේ චිත්‍රපටය මුළුමනින්ම රූපගත කළේ පිටිපන ප්‍රදේශයේ. සිනමාවට නවකයින් වුණත් අපි කණ්ඩායමක් හැටියට ඔවුනොවුන්ට සහයෝගයෙන් චිත්‍රපටයේ වැඩ කටයුතුª කළා. මට දර්ශන තලයේදී නිහාල්සිංහ මහත්තයා කතා කරන්නේජ්භතත ර්ධධදකියලා. මෙහි සරල අරුත පිරිපුන් සඳ වුණත් එතුමා මට එහෙම ඇමතුවේ කුමක් නිසාද කියා මා දන්නේ නැහැ.

* සත් සමුදුරට පසුව ඔබ රංගන දායකත්වය දුන් චිත්‍රපට මොනවාද?

දෙහදක දුක චිත්‍රපටයේ ආනන්ද ජයරත්නගේ පෙම්වතිය ලෙස රඟපෑවා. 1968 තිරගත වූ මෙය නල්ලවනේ වාල්වන් දෙමළ චිත්‍රපටය අනුගමනය කරමින් අධ්‍යක්ෂණය කළේ බොනිපස් ප්‍රනාන්දු. ප්‍රධාන චරිතය රඟපාමින් දර්ශන තලයේ සිටින අවස්ථාවල ගාමිණී ෆොන්සේකාත් අධ්‍යක්ෂණයට උපදෙස් දුන්නා. රොබින් තම්පෝ විටින් විටත් ඒ ටිකම කෙරුවා.

වොලී නානායක්කාරගේ නැඟණිය හැටියට රඟපෑ පික්පොකට් චිත්‍රපටයත්, බොනිපස්ගේ අධ්‍යක්ෂණයක් කිව්වොත් එය සාවද්‍ය ප්‍රකාශනයක් ;නාවිය හැකියි. මම වගකීමෙන් යුතුව කරන ප්‍රකාශනයක්. ඔලිවිලක්කු දෙමළ චිත්‍රපටය අනුකරණය කළ මෙහි අවසානය ටිකක් වෙනස් කරන්න සිදු වුණා. ඒ දෙමළ චිත්‍රපටය මෙරටේ ප්‍රදර්ශනයට තබා තිබුණු නිසාවෙන්. සුළි සුළං, දෙවියනි ඔබ කොහිද සුළු චරිත රඟපෑ චිත්‍රපට. ඒවා ගරු රඟපෑම් කිව්වට වරදක් නැහැ.

* ඇත්තම කියනවා නම් ඔබේ චිත්‍රපට නාමාවලිය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුයි නේද?

මම වෘත්තීමය රංගන ශිල්පිනියක් නොවෙයි. රඟපාන්න ලැබුණෙත් පියාගේ අවසරය මත පමණයි. මා වටා සීමා මායිම් තිබුණා කිව්වොත් එය හරියටම හරි. කවුද හරි චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය මට හිමි වුණා. එතකොට පික්පොකට් චිත්‍රපටයේ රඟපාමින් සිටි නිසා චිත්‍රපට දෙකක එක විට රඟපෑමේ අවසරය පියා දුන්නේ නැහැ. මේ චරිතයට පස්සේ මාලිනී ෆොන්සේකා තෝරා ගත්තා.

අම්පාරේ සහ කැලේ රූගත කිරීම් සිදු කළ තිසාහාමි චිත්‍රපටයේ ඔහුගේ නැඟණිය ලෙස මම රඟපෑවේ හරිම කැපවීමකින්. මගේ සැමියා හැටියට ස්ටැන්ලි පෙරේරා රඟපෑවා. ඔහු අතින් මා ඝාතනය වෙනවා. තිසාහාමි මිනීමරුවකු ලෙස හැසිරෙන්න පටන් ගන්නේ එතැන් සිටයි. මෙහි ෂේන් ගුණරත්න, නිලන්ති විජේසිංහ, වොලී නානායක්කාර, ධම්ම ජාගොඩ සමඟ මගේ පියා හදිසි මරණ පරික්ෂකවරයකුගේ චරිතය රඟපෑවා. විජය අබේදේව අධ්‍යක්ෂණය කළ තිසාහාමි චිත්‍රපටයේ තවත් ප්‍රධාන චරිතයකට සන්ධ්‍යා කුමාරිත් යොදා ගත් බව ආරංචියි. කොහොම වුණත් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළ වගක් දැනගන්න නැහැ.

* ඔබ සිනමාවෙන් සමු ගැනීමට මොන යම් හෝ කාරණයක් හේතු වුණාද?

මම 1974 විවාහ වුණා. සැමියාගේ නම ෂෙල්ටන් ද සිල්වා. ඔහු සේවය කළේ අබුඩාබි හමුදාවේ. මේ හින්දා මටත් ඒ රටට යන්න සිද්ධ වුණා. දිගු කාලයක් සත් සමුදුරෙන් එතෙර රටක ජීවත් වූ අපට දුවලා දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. ඇත්ත වශයෙන්ම ඔවුනගේ මතු දියුණුව උදෙසා සිනමාවත්, සිනමා රංගනයත් සිතින් අමතක කරන්න සිදු වුණා. අකමැත්තෙන් හරි එය කෙරුණා.

* කෙටි කාලයක් සිනමාවේ රැඳී සිටි ඔබට ඒ පිළිබඳ වර්තමානයේ මොකද සිතෙන්නේ?

හිතට අහිංසක ආඩම්බරයක් දැනෙනවා. කලා පුරයක් ජන්ම භූමිය කරගෙන, කලාවට සම්බන්ධ දෙමාපියන් දෙපළකගේ දියණිය වෙලා, අති සම්භාව්‍ය සිනමා නිර්මාණයක් තුළින් රංගගනයට පිවිසීමට ලැබීම ඇත්තටම ආඩම්බර වීමට කරුණු කාරණා.

* සිනමාවෙන් සමුගෙන සිටින බවක් හඟවන ඔබව මතක සිනමා රසිකයන්ට ලිපිනය කියන්න කැමතිද?

අංක 72, මිනිවන්ගොඩ පාර, බෝලවලාන, මීගමුව. මිනිවන්ගොඩ බස් පාරෙමයි මගේ නිවස පිහිටා තිබෙන්නේ. දුරකථන අංක 031-2231659 හෝ 031-5675028.