වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිතාරය හඬවා ලොව හැඬ වූ රවි ශංකර් නැවත ලොව හඬවයි

සිතාරය හඬවා ලොව හැඬ වූ රවි ශංකර් නැවත ලොව හඬවයි

ලෝ පුරා ඉතිරී පැතිරී ගිය ඒ නින්නාදය අද නිසල වී ඇත.

භාරතීය සංගීත ධ්වනිය ලෝ පුරා ඉතිරී පැතිරී යාමට මුල් වූ ඒ යුග පුරුෂයා අවසන් ගමන් ගොස් ඇත.

ඉන්දියානු සංගීත ලෝකයේ හදවත් සසල කිරීමට සමත් සිතාරය බටහිර සංගීත ලොවට හඳුන්වා දී ලොව පුරා හදවත් තුළ මහා සංවේදී පෙරළියකට මුලපිරූ රවි ශංකර් සංගීතවේදියා වසර 92 ක් ආයු වළඳා පසුගිය දා ඇමෙරිකාවේ සැන්ඩියාගෝ නගරයේ රෝහලක දී අභාවයට පත් විය.

එම ශෝචනීය සිද්ධිය ඉන්දියානු මෙන්ම බටහිර සංගීත ක්‍ෂේත්‍රයට දරා ගත නොහැකි ඉරණමක් ලෙස හැඳින්විය හැකිය. ඉන්දියානු රාගධාරී සංගීත ක්‍ෂේත්‍රයේ පමණක් නොව සරල සංගීත නිරමාණවලදී පවා සිතාරයට ලැබෙනුයේ අති විශේෂ තැනකි.

හදවත් සසල කරවන නින්නාදයක් සිතාරය තුළින් නිර්මාණය වීම සිතාරය සංගීත ලෝකයේ කැපී පෙනුනු සංගීත භාණ්ඩයක් වීම නිසා සිතාර් වාදනය බොහෝ ඉන්දියානුවන් අතර ජනප්‍රිය වී ඇත. එසේම අති විශිෂ්ට සිතාර් වාදකයින් ඉන්දියාව පුරා අති විශාල පිරිසක් දක්නට හැක. එහෙත් සිතාරය උපයෝගී කරගෙන හදවත් තුළට කිඳා බැස මහා සංවේදී වින්දනයක් ලබා දීමට හැකි සංගීත නිර්මාණ කරුවන් අතර රවි ශංකර්ට අද්විතීය ස්ථානයක් හිමිවීම නොවැළැක්විය හැකිය.

එසේම වයලීනය, පියානෝව, චෙලෝව ආදී ඉටහිර සංගීත භාණ්ඩ අතරට සිතාරය ගෙන ඒමට මුල් වූ සංගීත වේදියකු ලෙසටත් රවි ශංකර්ට අති විශේෂ ස්ථානයක් හිමිවීම වැළැක්විය නොහැකිය.

ඔහු ඉන්දියානු රාගධාරී සංගීතයත් බටහිර බැරොක් සංගීත සම්ප්‍රදාය ඇතුළු ශාස්ත්‍රීය වාදන ශෛලියත් අතර පාලමක් ලෙස කටයුතු කරමින් ලෝ පුරා අති සංවේදී සංගීත නිර්මාණයන් බිහි කිරීමට සමත් වූ අයකු ලෙසටත් නම් කළ හැකිය. “අපේ සංගීතය අතිශයින්ම පූජනීය වන්නේය.

එය බීමත් අයට හෝ මත් ලෝලීන්ට හෝ අශීලාචාර ලෙස හැසිරෙන අය වෙත දුන් දෙයක් නොවේ. එයට හේතුව අපගේ සංගීතය අපගේ ශ්‍රාවකයින්ට අපගේ ආගම් තුළින් ලබාදී තිබෙන නිසාය.” යි වරක් ඇමෙරිකාවේ පුවත් පත් සාකච්ඡාවකදී හෙතෙම පැවසීය.

සංගීතය රවි ශංකර් සංගීත වේදියාට හැඟීම් උජ්වලිත වූ ලොවකට පිවිසුමක් වන්නේය. සිතාරයට වෙලී රාගයක් තුළින් ශ්‍රාවකයින්ගේ හදවත් සසල කිරීමටත්, ශ්‍රාවකයින් තෙරක් නොපෙනෙන අවකාශයක් තුළට ක්‍රමයෙන් ගෙනයාමත් රවි ශංකර් නිර්මාණ කරුවාගේ කැපී පෙනුනු දක්‍ෂතාවයක් විය.

රාගයක බැරෑරුම් අවධියට ඇතුළුවී එම රාගයේ විශේෂත්වය හා නිර්මාණශීලී පසුබිම තුළින් තාලානුකූලව ශ්‍රාවක හදවත් තුළට ඇතුළුවන රවි ශංකර් නිර්මාණ කරුවා තමාගේ විවිධ දක්‍ෂතාවන් ඔප් නංවමින් තබ්ලාව සමඟ තරග වදින සටන් කරුවකු ලෙසටත් වේගවත් ලෙසටත් සිතාරය හසුරුවා පසුව ශ්‍රාවකයා ඉතාම සරල සංවේදී නින්නාදයකින් තම නිර්මාණය අවසන් කරයි.

සංගීතයට ආවේනික වූ වදන් වලින් පැවසුවහොත් ආලාප්, ජෝර්, ජලා ආදී වශයෙන් ඉහතකී ක්‍රමවේදය හැදින්විය හැකිය. එසේම ටුම්රි, ද්‍රෘපද් ආදී සංගීත ශෛලීන් සිතාරය වැනි සංගීත භාණ්ඩයක් තුළින් ඉදිරිපත් කිරීමත් රවි ශංකර් ගේ නිර්මාණශීලිත්වය මැනවින් නිරූපණය කරන තවත් අවස්ථාවක් වේ. ඒ හැමටම වඩා ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ තබ්ලාව හා සිතාරය අතර දෙබසක් නිර්මාණය කළ ආකාරයටය.

බරණැස් නුවර උපත ලැබූ රවි බංගලාදේශයට අයත් පේසොර් ප්‍රදේශයෙහි පැරැණි බෙංගාලි බ්‍රාහ්මණ පවුලක දරුවන් හත් දෙනකුගේ බාලයා විය. ඔහුගේ වැඩි මහලු සහෝදරයා උදය ශංකර් සුප්‍රකට නාට්‍යවේදියකු විය. ලෝකප්‍රකට නාට්‍යංගනාවක් වූ ඇනා පැව්ලෝවා සමඟ රඟ මඬලට පිවිසීමට හැකි වූ උදය ශංකර් බටහිර ලොවට ඉන්දියානු නැටුම් සම්ප්‍රදායන් හඳුන්වා දීමට මෙන්ම බටහිර සම්ප්‍රදායයන් ගෙන් ආභාෂයක් ඔහුගේ නිර්මාණවලට සංකලනය කරමින් භාරතයට මහත් කීර්තියක් ලබා දීමට සමත් වූ කලා කරුවකු විය.

රවි ශංකර් මුලින් එවකට රාගධාරී සංගීත ක්‍ෂේත්‍රයේ අග්‍ර ගණයේ සංගීත ශිල්පියකු වූ උස්තාද් ඉනායට් ඛාන් ගෙන් සංගීතය හැදෑරීම අරඹා පසුව සුප්‍රකට සරෝද් වාදකයකු වූ අලවුදීන් ඛාන් ගෙන් සිතාරය තව දුරටත් ප්‍රගුණ කිරීම ඇරඹීය. “මගේ සංගීතය හා මගේ ජීවිතය” යනුවෙන් ඔහු ලියූ ග්‍රන්ථයේ ඔහු තම ගුරුවරයා හැඳින් වූයේ ඉතාමත් සැර පරුෂ ලෙස ගුරු හරුකම් දෙන එසේම කාලසීමාවන් ගැන නොතකා පුහුණු වීම් කටයුතු කළයුතු වීමට බළ කළ ඒ අයුරින් සිදුනොවුණ හොත් ගුටි බැට පවා දුන් අයකු ලෙසටය.

එහෙත් රවි ශංකර් ඔහුගේ හොඳම ශිෂ්‍යයා ලෙස හඳුනා ගැනීමත් එවකට පැවති සම්ප්‍රදාය අනුව තම දියණිය අන්න පූර්ණව ඔහුට විවාහ කර දීමටත් උස්තාද් අලවුදීන් ඛාන් විසින් සිදුකරන ලදී. එහෙත් එම විවාහය වැඩි කලක් පැවතුණේ නැත. ඔවුනට සුබේන්ද්‍රා ශංකර් නම් වූ දරුවා ලැබූණු පසු අන්න පූර්ණ දේවියගෙන් වෙන් වී කමලා ශාස්ත්‍රී නම් වූ නාට්‍යංගනාව රවි ගේ ලෝකයට සමීප විය. ඉන්පසුව ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ නාට්‍ය නිෂ්පාදකවරියක් වූ සූ ජෝන්ස් සමඟ ඇතිවූ පෙම් සබඳතාවයේ ප්‍රතිඵලය වූයේ නෝරා ජෝන්ස් නම් වූ දියණිය ලැබීමයි. කමලා ශ්‍රාස්ත්‍රී ගෙන් වෙන් වූ රවි සූ ජෝන්ස් සමඟ කලක් ජීවත් වී පසුව සුඛන්‍යා රාජන් නම් වූ කාන්තාව සමඟ විවාහ විය. එම විවාහයේ ප්‍රතිඵලය වූයේ අනුෂ්කා දියණියයි.

බටහිරට ඉන්දියානු සිතාරය හඳුන්වා දුන් සංගීතවේදියා, ඔහුගේ පෞද්ගලික ජීවිතයේදී ද ආසියාව හා බටහිර එක්තැන් කළ පාලමක් වූ බව කිව යුතුය.

බටහිරින් ඔහු ලැබූ මෝරා ජොන්ස් දියණිය ඇමෙරිකාවේ ඉහළම තත්ත්වයේ පවතින ග්‍රැමි සම්මාන අටක් ලබා ගැනීමට සමත් වූ සංගීත වේදිනියක් වූවා සේම ඉන්දියාවෙන් ඔහුට ලැබුණු අනුෂ්කා දියණිය වර්තමාන ඉන්දියාවේ රවි ශංකර් හා සමාන දක්‍ෂතාවයක් පෙන්වන අග්‍ර ගණයේ සිතාර වාදකයකු මෙන්ම ග්‍රැමි සම්මානයක් හිමි කරගත් අයකු වූවාය.

එසේම ඔහුගේ පළමු විවාහයෙන් හිමි වූ සුබේන්ද්‍රා පුතු ඔහුගේ පියා සමඟ ලෝ පුරා සංචාරය කළ අතර ඔහු ද දක්‍ෂ සිතාර් හා සුර්බහාර් වාදකයකු විය.

රවි ශංකර් ඉන්දියානු සංගීතය හා සිතාරය බටහිර සංගීත ලෝකයේ රජ කරවූ අයෙකු ලෙස විශේෂයෙන් සඳහන් කළ යුතුය. තම සොහොයුරු උදය ශංකර් සමඟ පැරිසියේ ජීවත් වූ අවධියේ දී කතෝලික පාසලක අධ්‍යාපනය හැදෑරීමත් සමඟ බටහිර සංගීත ක්‍ෂේත්‍රයේ විශේෂතා හඳුනා ගැනීමට ඔහුට අවස්ථාව ලැබිණ.

බටහිර ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායන්, ජෑස් සංගීතය ආදී බටහිරට ආවේනික වූ සංගීත ක්‍රම සහ සංගීත භාණ්ඩ හඳුනා ගැනීමට ඔහුට අවස්ථාව ලැබිණි. එයින් ඔහුගේ සිත ඇදී ගියේ ගිටාරය වෙතටයි. එහෙත් සිතාරයේ හද බඳින හඬ සමඟ පෙමින් වෙළුණු නමුත් බටහිරට නැඹුරු වූ සිත එම සම්ප්‍රදායයන් සමඟ ඉන්දියානු රාගධාරී සංගීත සංකලනයක් ඇති කිරීම කෙරේ රවිගේ සිත යොමු විය.

බටහිර ශ්‍රේෂ්ඨ වයලින් වාදකයකු වූ යෙහුඩි මෙනුයින් හා ජෑස් සංගීත සම්ප්‍රදායයේ විශිෂ්ටයකු වූ ජෝන් කොල්ට්‍රාන් සමඟ සංගීත සංකලන නිර්මාණයන් කළ රවි ශංකර් බටහිර සංගීත ක්‍ෂේත්‍රය තුළ ද අග්‍ර ගණයේ සංගීතවේදියකු ලෙස ප්‍රකට විය.

එහෙත් බටහිර ලෝකයේ අතිශයින් ජනප්‍රිය වූ බීටල්ස් සංගීත කණ්ඩායමට ඔහුගෙන් ලැබුණු අනුග්‍රාහකත්වය හා නිර්මාණශීලිත්වය තරුණ පිරිස් අතර ඔහුගේ නාමය ප්‍රකට වීමට බෙහෙවින් හේතුවූ බව කිව යුතුය. බීටල්ස් සංගීත කණ්ඩායමේ ජෝර්ජ් හැරිසන් ඔහුගෙන් සිතාරයේ නිර්මාණශීලිත්වය හදාරා “නොර්වීජියන් වුඩ්” හා “විදින් යූ විතවුට් යූ” යන ගීත සඳහා සිතාරයේ හඬ යොදා ගැනීම එම ගීත මහත් ජනප්‍රියත්වයට පත් වීමට හේතු විය.

නිවියෝක් නගරයේ සුප්‍රකට කානගි ශාලාවේ හා වොෂින්ටනයේ කෙනඩි මධ්‍යස්ථානයේ තම සිතාරය හඬවා උද්වේගතර ජනප්‍රියත්වයකට පත් වූ රවි ශංකර් ලන්ඩනයේ හා නිව්යෝක් නගරවල ෆිලාර් මොනික් සංගීත කණ්ඩායම සමඟ සංකලන සංගීත සංධ්වනියක් නිර්මාණය කිරීමත් යෙහුඩි මෙනුයින් සංගීතවේදියා සමඟ කළ නිර්මාණයන් අතුරෙන් මුල් නිර්මාණයට ග්‍රැමි සම්මානයක් හිමි වීම ඔහුගේ සංගීත දිවියේ තවත් අති විශිෂ්ට ජයග්‍රහනයක් වන්නේය.

ආසියාවත්, බටහිරත් තම සිතාරයේ තත්වලින් එක්තැන් කිරීමට සමත් වූ රවි ශංකර් සංගීතවේදියා චිත්‍රපට සංගීතය කෙරෙහි ද යොමු වූ බව සත්‍යජිත් රායි ගේ අපු ත්‍රිත්වයට මෙන්ම රිචඩ් ඇටන්බරෝගේ “ගාන්ධි” චිත්‍රපටයට හා හින්දි චිත්‍රපට කිහිපයකට සංගීතය සැපයීමෙන් දැක්විය හැකිය.

ඉන්දියාවේ උසස්ම සම්මානය වූ “භාරත රත්න” සම්මානයෙන් පිදුම් ලැබූ රවි ශංකර් “ජාතික නිධානයක්” ලෙසටත් “ඉන්දියානු සංස්කෘතික උරුමයේ විශ්වමය තානාපති වරයකු” ලෙසටත් ඉන්දීය අගමැති මන්මොහන් සිං විසින් හඳුන්වාලීම ඉන්දියාවේ හා ලෝක සංගීත ක්‍ෂේත්‍රය වෙත හිමි කරගෙන තිබූ අති විශේෂ ස්ථානය සනාථ කරනු ලබයි.

ඔහුගේ මරණය සිදුවන අවස්ථාවේ ඔහු අසල වෛද්‍යවරුන් හා ශල්‍ය වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් උත්සාහයක් දැරූබව රෝහලේ ඔහු අසල සිටි ඔහුගේ බිරිඳ සුඛන්‍යා හා දියණිය අනුෂ්කා පැවසූහ.

”මේ අවස්ථාව දුක ශෝකය සඳහා වෙන් කළ යුතුව ඇතත් ඔහු අපගේ ජීවිතයේ කොටසක් බවට තබාගත හැකිවීම ගැන අප ස්තුති වන්ත විය යුතුය. ඔහු සහ ඔහුගේ සංගීතය සදාකාලිකව අපගේ හදවත් තුළ රැඳී සිටිනු නොඅනුමානයි” යනුවෙන් ද සුඛන්‍යා හා අනුෂ්කා විසින් ඒ අවස්ථාවේදී මහත් සොවින් ප්‍රකාශ කරන ලදී.