වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ලොකේෂන් එකේදී මං තාත්තට කතා කළේ ඩිරෙක්ටර් කියලා මවුස් හි සූකිරි වූ තිසල් සමඟ පිළිසඳරක්

ලොකේෂන් එකේදී මං තාත්තට කතා කළේ ඩිරෙක්ටර් කියලා

මවුස් හි සූකිරි වූ තිසල් සමඟ පිළිසඳරක්

චිත්‍රපටයට මාව තෝර ගත්තේ තාත්තා නෙමෙයි

සූකිරි?

ඇයි?

ලොකු වුණාම ඔයා කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?

මං විද්‍යාඥයකු වෙනවා.

අලුත් දේවල් නිපදවන්න ද ආස?

ඔව්.

මොනවද ඒ වගේ අලුතින්ම හොයා ගත්තේ?

ඒක කියන්න බැහැ.

ඇයි ඒ?

එතකොට සූකිරි ඉන්න චිත්‍රපටයේ රසය නැති වෙනවා.

සූකිරි ජීවත් වෙන්නේ මවුස් චිත්‍රපටයේ නේද?

ඔව්.

මොකක්ද සූකිරිගෙ ඇත්ත නම?

තිසල් තුල්නිත් මොරගොඩ.

තිසල් කාගෙ කවුද කියලත් කියමු?

මගෙ තාත්තා වසන්ත මොරගොඩ. ඔහු තමයි මවුස් චිත්‍රපටයේ අධ්‍යක්ෂ.

තාත්තා ද ඔබව රඟපාන්න ගත්තේ?

නැහැ, නැහැ.

එහෙනම්?

මවුස් චිත්‍රපටයට ළමයි ගන්න ඉන්ටර්වීව් එකක් තිබුණා. තාත්තා ඒ ළමයි හිටපු පෝළිමට මාව හොරෙන් තියලා පැත්තකට වුණා.

ඊට පස්සේ?

අනේ මගේ නම් කිසිම කැමැත්තක් තිබුණෙ නැහැ රඟපාන්න. මගේ අවස්ථාවෙදි ජජ් බෝඩ් එකේ හිටපු මාමා මට නටන්න, දෙබස් කියන්න කිව්වා. හැකි විදිහට මාත් ඒවා කළා. මාව චිත්‍රපටයට අරන්. වැඩි විස්තර අහද්දි මං තාත්තගෙ නම කිව්වා. ඔහුත් එතැනට ආවා.

ඉතින්?

එයාටත් පුදුමයි වෙච්ච වැඩේට.

කොහොම හරි තිසල්ට තාත්තගෙ චිත්‍රපටයේ සූකිරි වෙන්නට ලැබුණා.?

ඒ වුණත් මං රඟපාන්න බැහැ කිව්වා. තාත්තගෙ වුවමනාවටයි ඉන්ටර්වීව් ඒකට ගියේ. ඉස්කෝලෙත් රඟපාලා නැති මට කිසිම ආසාවක් තිබණේ නැහැ රඟපාන්න.

එතකොට තාත්තා ඔබව බලෙන් ද චිත්‍රපටයට ගත්තේ?

එයා පුංචි කපටි වැඩක් කළා මාව චිත්‍රපටයට ගන්න.

ඒ මොකක්ද?

ඉස්කෝලේ මගේ හොඳම යාළුවා අදීශව ගත්තා චිත්‍රපටයේ සූකිරිගේ යාළුවා හැටියට. ඔහුගේ චරිතයේ නමත් අදීශ.

තාත්තගෙ උපක්‍රමය හරි ගියා?

යාළුවත් ඉන්න නිසා බොහොම කැමැත්තෙන් රඟපෑවා.

රූගත කළ පළමු දර්ශනය මතකද?

පාරේ ටැප් එකක් ගාව දත් මදින දර්ශනයකට තමයි මුලින්ම පෙනී හිටියේ.

තාත්තා ඇක්ෂන් කියද්දී බය හිතුණෙ නැද්ද?

මොකද නැත්තේ. බය හිතුණා නෙවෙයි පැනලා දුවන්නයි හිතුණේ.

හේතුව?

එයා ටිකක් සැරයි ලොකේෂන් එකේදී. මට රූගත කරන්න යන්න කලින් ගෙදරදි කිව්වේ මොකක්ද දන්නවද?

නැහැ?

පුතා, ලොකේෂන් එකේදි මට තාත්තා කියලා අහුවෙන්න එපා කිව්වා. ඩිරෙක්ටර් යනුවෙනුයි මං එහිදී කතා කළේ.

රූගත කරද්දී බැණුම් අහපු අවස්ථා ඇති?

ඕන තරම් තියෙනවා. මං වී ගෝනියක් ඔසවාගෙන එන දර්ශනයක් තියනවා. ගෝනිය බර වැඩි වෙලා බිමින් තිබ්බයි කියලා තාත්තා බැන්නා. එහෙම කිව්වේ මූඩ් එක යයි කියලා හිතලලු.

එතකොට, කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් ගුටි කාපු වෙලාවත් මතක් කරමු?

මං ඉන්ටර්නෙට් කැෆේ එකක ඉදිද්දි කවුෂි නැන්දා මට ගහනවා. පිට හරහා හොඳ පාරවල් කිහිපයක් කෑවා. එයා චිත්‍රපටයේ මගේ අම්මා හැටියටයි රඟපාන්නේ.

රඟපෑ අමාරුම දර්ශනය මොකක්ද?

කුණු වලක් උඩ ඉඳගෙන ඉන්න එක. හරිම අමාරුවෙන් මිනිත්තුª පහක් විතර හිටියා. තාත්තා කට් කියන්නත් ඉස්සෙල්ලා මං එතැනින් නැගිට්ටා.

දිග දෙබස් එහෙම මතක හිටිනවද?

මට දැන් ඒවා හුරුයි.

මොන ඉස්කෝලෙද තිසල් දැනට ඉගෙන ගන්නේ?

මවුස් රූගත කරද්දී මං ඉගෙන ගත්තේ විදුර විද්‍යාලයේ. මේ වන විට නුවර ත්‍රිත්ව විද්‍යාලයෙයි ඉගෙන ගන්නේ.

කී වැනි වසරෙද?

හය වසරේ.

ගෙදර ඉන්න වෙලාවට මොකද කරන්නේ?

චිත්‍රපට බලනවා. මමම ඒවා ඩවුන්ලෝඩ් කර ගන්නවා ඉන්ටර්නෙට් එකෙන්.

සූකිරි ඔයා වගේ නේද?

ඔව්. ගොඩක් මට සමානයි.

තවදුරටත් පැහැදිලි කළොත්?

මාත් ආස විද්‍යාඥයෙක් වෙන්න.

එහෙනම් තාත්තා මේ නිර්මාණය කළේ තිසල්ගේ කතාවද?

සමහර විට.

රඟපාන්න ආස නැතිද දිගටම?

ගොඩක් නාට්‍ය චිත්‍රපටවලට කතා කළා. තාත්තා යන්න දුන්නෙ නැහැ.

ඇයි ඒ?

ඒවා හොඳ නිර්මාණ නෙවෙයිලු. හොඳ එකක් ආවොත් යවනවලු.

තිසල් තුල්නිත් යන නමේ තේරුම තාත්තා කියලා දීලා තියනවද?

ඔව්, යහපත් විදිහට ලෝකය දකින්නා.

කාටද තිසල් පුතාට තුති පුදන්න තියෙන්නේ?

මවුස් කණ්ඩායමට, විදුර විද්‍යාලයේ විදුහල්පති සහ නාලිකා ටීචර් ඇතුළු ගුරු මණ්ඩලයට.