වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




එදා වේල සරිකරන්නට චිත්‍රපට තනන ග්‍රීසිය

එදා වේල සරිකරන්නට චිත්‍රපට තනන ග්‍රීසිය

තුන් දහසක් අතරින් සොයා ගත් ඉන්දියානු කොලු ගැටයා

මෙවර ඉන්දීය සිනමා උළෙලේ සුවිශේෂ අංගයවූයේ ඉන්දියානු සියවස පිළිබඳ ප්‍රදර්ශනයයි.චිත්‍රපට දැක්මට අමතරව කලා ඇකඩමි භූමියේ එක් තැනක මේ සියවස හුවා දක්වන ප්‍රදර්ශනයක් විය.මේ ප්‍රදර්ශනයේ ඉන්දියානු සිනමා ඉතිහාසය පමණක් නොව පැරණි චිත්‍රපට ගීත අසන්නට ද අවස්ථාව ලැබුණි.

එයටත් වඩා සිනමා ඉතිහාස කතාවල අප අසා ඇති මියි රබ්‍රිජ් ගේ රූප තුවක්කුව,මැජික් ලන්තැරුම් ආදි බොහෝ දෑ ද එහි විය. එම උළෙලේදී ඉන්දියානු ප්‍රථම චිත්‍රපටය වූ රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටය ද නැරඹීමේ අවස්ථාව මට හිමි විය. මුල්ම ඉන්දියානු චිත්‍රපටයේ නිර්මාතෘ දුන්දිරාජ් ගෝවින්ද් පාල්කේ ගේ ජීවිත කතාව ද සයිලන්ට් ෆිල්ම් නමින් ලියන ලදුව එළි දැක්වීමේ උත්සවය ද එහි පැවැත් විණ.

එය ලියන ලද්දේ ඔහුගේ මිනිබිරියක වන ශ්‍රයන් පාල්කේ සුමන්වර් විසිනි.වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට වඩා ආදායමක් ඉන්දියාවට උපයා දෙන ඉන්දියනු සිනමාවේ පියාගේ අවසානය සතුටු දායක එකක් නොවීය. පොත දොරට වැඩීම නිමිත්තෙන් අපූරු නාට්‍යයක් ද රඟ දැක්විණ.එය පාල්කේ සහ ඔහුගේ බිරිඳ ගේ ජීවිත අත්දැකීම් අලළා රචනා කරන ලද්දකි.සිනමාකරුවකු මෙන්ම දයාබර සැමියකු ද වූ පාල්කේගේ සිනමාවට ඔහුගේ බිරිඳ ගෙන් ලැබුණ ධෛර්යය එමඟින් විදහා දැක්විණ.කෙසේ වෙතත් එහිදී දකින ලද චිත්‍රපට අතර කල්පනා,අචුත් කන්‍යා,ප්‍රෙම් සන්‍යාස් වැනි මුල් යුගයේ චිත්‍රපට ඉන්දිය සිනමාව පිළිබඳ අප අසා ඇති බොහෝ කරුණු උඩු යටිකුරු කරන ඒවාය. ප්‍රේම් සන්‍යාස් හෙවත් ලයිට් ඔෆ් ඒෂියා මෙරට මුල් වරට තහනම් කරන ලද චිත්‍රපටය වීම විශේෂයකි.

එයට පාදක වූයේ එඩ්වින් ආනෝල්ඩ් විසින් බුදු සිරිත අළලා ලියන ලද ලයිට් එෆ් ඒෂියා කෘතියයි.බුදු රජාණන් වහන්සේගේ චරිතය සාමාන්‍ය මිනිසකු විසින් රඟපානු ලැබීම මෙරට බොහෝ බෞද්ධයන්ගේ විරෝධතාවයට හේතු විය.එහි මුල් තැන ගත්තේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාණන්ය. කෙසේ වෙතත් මේ විරෝධය සමඟ එකල මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ප්‍රේම් සන්‍යාස් හෙවත් ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටය මෙරට තිර ගත වීම තහනම් කරන ලදී.ඒ 1927 වසරේ පමණය.මේ චිත්‍රපටයේ සිද්ධාර්ථ ගෞතම චරිතය නිරූපණය කරන ලද්දේ හිමන්සු රායි විසිනි.ඔහු එහි සම අධ්‍යක්ෂවරයාද වීම විශේෂයකි.

ජර්මානු ජාතික ෆ්‍රාන්ස් ඔස්ටන් එහි අනෙක් සම අධ්‍යක්ෂවරයා විය.එහි යශෝධරා ගේ චරිතය සීතා දේවි නමින් පතළ ව සිටි නිළියක විසින් රඟ දක්වන ලදී.ඇංග්ලෝ ඉන්දියානු නිළියක වන ඇගේ සැබෑ නම රෙනී ස්මිත්ය. කෙසේ වෙතත් මේ චිත්‍රපටය නිමාවූ විට එය නරඹන්නට පැමිණි පිරිස අතර සිටි එක් ආගන්තුකයකු මට හමු විය. ඔහු චිත්‍ර ශිල්පියකු වූ ජොශෆ් වර්ශිංග් නම් විය.ඉන්දියානුවකු වුවද ඔහු ජර්මානු සම්භවයකින් යුක්ත වූවෙකි ඔහුගේ මුත්තනුවන් මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා විය.සීයාටත් මුණුබුරාටත් ඇත්තේ එකම නමකි.ෆ්‍රාන්ස් ඔස්ටන් සමඟ ඉන්දියාවට පැමිණි මහ ජෝශෆ් පසුව ඉන්දියානු කාන්තාවක් හා විවාහ වී එරට බින්න බැස ගත්තේය.පසු කලක හින්දි සිනමාවේ නම ගිය කැමරා ශිල්පියකු වූ ජොශෆ් අවසන් වරට රූ ගන්වා තිබුණේ පාකීෂා චිත්‍රපටයයි.මුණුබුරු ජෝශෆ් පැවසූ පරිද්දෙන් එකල බොහෝ ඉන්දියානු විචාරකයන් ප්‍රේම් සන්‍යාස් කෙරෙහි එතරම් ප්‍රසාදයක් දක්වා තිබුණේ නැත. එහි ඉතිහාසයේ ඇති ඇඳුම් පැළඳුම් ආදියේ වූ බොහෝ දොස් එරට විචාරකයන් දැක තිබිණ.එහෙත් වර්තමානයේ ඉනදියානු සිනමාව සම්බන්ධව කතා කරද්දී ප්‍රේම් සන්‍යාස් බෙහෙවින් අගය කරන චිත්‍රපටයක් ව ඇත්තේය.

වර්තමානයේ මෙබඳු සිනමා උළෙලකට සහභාගි විමේ දි වඩා වැදගත් වනුයේ චිත්‍රපට නැරඹීමට වඩා එකිනෙකා හමුවීම් යැයි මම සිතමි. විශේෂයෙන් සිනමාකරුවන් පළ කරන අදහස් ලෝක සිනමාවේ තත්වය පිළිබඳ යථා රූපය පිළිබඳ හෙළි දරව්වන්ය. ඒ අත්දැකීම් වලින් තොරව ලාංකික සිනමාව පිළිබඳ කථා කිරීම නිෂ්ඵල එකක් වෙයි. එයට හේතුව ලංකාව යනු ලෝකයේ කොටසක් බැවිනි.

සිනමාව සම්බන්ධ ලෝකයේ ඇති ගැටලු පිළිබද කදිම විග්‍රහයක් කරන ලද්දේ ග්‍රීසිය නියෝජනය කරමින් ඉදිරිපත් වුන බෝයි ඊටිං බර්ඩ්ස් ෆුඩ් චිත්‍රපටයේ කැමරා ශිල්පියාවූ දිමිත්‍රිස් කැසිමිටස්ය. මේ වන විට ග්‍රිසියේ ඇති ආර්ථික අවපාතය හමුවේ ඔහු ඇතුළු පිරිස මෙම චිත්‍රපටයට දායකවූයේ ජාත්‍යන්තරයට යාමට නොව එදා වේල සොයා ගැන්මට බැව් ඔහු පැවසුවේය.වර්තමානයේ ග්‍රීසියේ බොහෝ සිනමාකරුවන් චිත්‍රපට වලට දායක වනුයේ ඉහල මිලක් සොයා ගන්නට නොවේ.

ඔවුනට ලැබෙනුයේ චිත්‍රපට කරන අතරතුර තුන් වේලට ආහාර සහ නවාතැන්ය.එයට කදිම ඌන පූරණයක් එක් කළේ පෘතුගාල සිනමාකරු විසෙන්ටි අල්වෙස් ඩො ඔ විසිනි.ෆ්ලොර්බෙලා නම් ඔහුගේ චිත්‍රපටය ද මෙවර උළෙල නියෝජනය කළේය.ඔහු පැවසුවේ පෘතුගාලයේ තිර ගත කරනු ලබන සෑම විදේශ චිත්‍රපටයකින්ම හා ටෙලි විෂණයේ විකාශනය වන සෑම විදේශ වැඩ සටහනකින් ම එරට රජය බද්දක් අය කරනු ලබන බවය. මේ මුදල සම්පූර්ණයෙන් එරට චිත්‍රපට නිෂ්පාදනයට බැර කරනු ලබයි.එහෙත් පවතින ආර්ථික අවපාතය හමුවේ පසුගිය වසරේ හෝ මේ වසරේ එලෙස රජය මගින් උපයන ලද ආදායම චිත්‍රපට නිෂ්පාදනයට යොමු නොවූ වග ඔහු පවසා සිටියේය. මේ තත්වය නිසා කලක් යුරෝපයේ වැජඹුන සිනමා උත්සව ආදිය හෙමිහිට දියාරු වෙමින් පවතී.

මෙවර උළෙලේ තිර ගතවූ චිත්‍රපට අතර හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ කොරියානු චිත්‍රපටයක් වන ද වෙයිට් චිත්‍රපටයයි.එය ක්‍යු හ්වාන් ජීන් ගේ අධ්‍යක්ෂණයකි.2008 වසරේ දී ඔහු විසින් නිර්මාණය කරන ලදමොසාර්ට් ටවුන් චිත්‍රපටය හරහා එනම් සිය මුල්ම චිත්‍රපටයෙන්ම හෙතෙම ජාත්‍යන්තර අවධානය දිනා ගත්තෙකි. මේ ඔහුගේ පස් වන චිත්‍රපටයයි.මේ චිත්‍රපටයට පාදක වනුයේ එම්බාම් කරුවකු වටා ගෙතුණ සිදුවීම් මාලාවකි.ජුන්ග් නම් ඔහු ට නිරන්තරයෙන් ලැබෙනුයේ පොලිසිය මගින් ගෙන එනු ලබන හදිසි අනතුරු වලින් හෝ මරා දැමීමට ලක්වූ දේහයන්ය.මේ දේහයන් අතර කොරියාවේ සරාගි චිත්‍රපට නිළියකගේ දේහයක් ද වෙයි.

ඇය මරා දමා ඇත්තේ ඇගේ සැමියා විසිනි. අනතුරුව ව්‍යාපාරිකයෙක්වූ ඔහු ද ගොඩනැගිල්ලෙන් පැන දිවි තොර කර ගනී.ඉතා නිහඬ මිනිසකු වූ ජුන්ග් මිනිසුන්ගේ ජාර සිතුවිලි ද ක්‍රියා දාම ද දකින්නෙකි.ඒවා මැද ඔහු යථාර්ථය ද මායාව ද අතර සැරි සරයි.ඇතැම් ක්‍රියාවන් සඳහා ඔහු නිසල ව සිටිය ද ඇතැම් සිදුවීම් ඔහු කම්පනයට පත් කරයි.ඔහුගේ එකම සගයා ද්වි ලිංගික ගති පල කරන්නෙකි.ජීවිතයේ තනි වුන මිනිසකුවූ ඔහුත් සගයාත් අතර අරගල බොහොමයකි.එහෙත් බැඳීම් ද එමටය.සගයාගේ හදිසි මරණය අවසානයේ එම දේහය ලැබෙනුයේ ද ජුන්ග්ටය. සිනමා කෘතියක් ලෙස ඉතා ප්‍රබල අත්දැකීමක් ගෙන දුන් චිත්‍රපටයක් ලෙස ද වෙයිට් චිත්‍රපටය හඳුන්වාදිමට මම කැමැත්තෙමි.

කෙසේ වෙතත් උළෙල ආරම්භය සඳහා තෝරා ගෙන තිබුණ ලයිෆ් ඔෆ් පායි චිත්‍රපටය අතිශය ත්‍රාසජනක චිත්‍රපටයක් විය.එමෙන්ම එය සිනමා උළෙලක ආරම්භයට කදිම ප්‍රවේශයක් ද විය. එහෙත් කලකට ඉහත ආසියානු සිනමාවේ බිහිවූ විශිෂ්ට සිනමාකරුවකු ලෙස පතළ වූ ආංග් ලී හොලිවුඩ් සිනමා තාක්ෂණය සමග ජීවිතය පිළිබඳ අර්ථකථන සපයනවාට වඩා වෙළඳපොළ වෙත සිය චිත්‍රපට නිර්මාණය කිරීමට උත්සුක වන බවක් මෙමගින් සපත කරයි..ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රථම චිත්‍රපටය පුෂිං හෑන්ඩ්ස් බර්ලින් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය වීමත් සමඟ ලෝකයේ අවධානයට පාත්‍ර වූ මේ තායිවාන සිනමාකරුවාගේ හැකියාවන් ඉක්මනින්ම හොලිවුඩ් පුරයේ දොරගුළු ඔහුට විවර කර දුන්නේය.

පායි යනු ඉන්දියානු කොලු ගැටයෙකි.ඔහු ගේ පියා සත්වෝද්‍යානයක හිමි කරුවෙකි. ඔවුන් ඉන්දියාවේ සියලු දේපළ විකුණා යුරෝපයේ පදිංචියට යයි.ඒ යන අතරමග හදිසි කුණාටුවකින් නැව බිඳී එහි ගමන් ගන්නා සියළු දෙනා මිය යන අතර කොලු ගැටයා කුඩා බෝට්ටුවකට ගොඩ වන්නට සමත් වෙයි.ඒ බෝට්ටුවේ සීබ්‍රාවෙක් ද වඳුරෙක් ද පණ බේරා ගන්නට රිංගා ගත්ත ද එය මොහොතකට පමණී. ඒ සත් වෝද්‍යානයේ සිටි බිහිසුණුම සතාවූ බෙංගාලි ව්‍යාඝ්‍රයෙකු එයට රිංගා ගැනීමත් සමග කොලු ගැටයා හැර සෙස්සන් ව්‍යාඝ්‍රයාගේ ගොදුරු බවට පත් වෙයි.එතැන් පටන් තෙරක් නොපෙනෙන මහා සාගරය තරණය කරන්නට මේ කොලු ගැටයාට සිදුවනුයේ මේ දරුණු සත්වයා සමගය.

එහෙත් එය පහසු කටයුත්තක් නොවන්නේ බඩගින්නේ සිටින මේ සත්වයාට ඉතුරුව ඇති එකම ආහාරය මේ කොලු ගැටයා පමණක් වීමය.මේ චිත්‍රපටයේ වැඩිහිටි පායිගේ චරිතය රඟපාන්නේ සුප්‍රකට නළු ඉර්ෆන් ඛාන්ය.පායි ගේ මව ලෙස රඟන්නී ඉන්දියානු නිළි තාබුය. සුපතළ ප්‍රංශ නළු ජෙරාඩ් දෙපාර්දු මෙහි රඟපානුයේ එකම දර්ශනයකි.19 හැවිරිදි කේරළ ප්‍රාන්තයේ කොලු ගැටයකු වූ සුරාජ් ශර්මා මෙහි පායි ගේ චරිතය රඟපායි.ඇංග් ලී මේ චරිතය සඳහා ඉන්දියානු දරුවන් තුන් දහසක් පරීක්ෂාවට ලක් කළ බැව් පැවසුවේය. සුරාජ් තෝරා ගත්තේ වෙන කිසිවකුගෙන් වත් නොදුටු අහිංසක කමක් ද අපූරු ඇස් දෙකක් ද ඔහු සතු වීම නිසාවෙන් යැයි ද ඇංග් ලී කියා සිටියේය. කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගත් කල ලයිෆ් ඔෆ් පායි යනු ජීවිතය පිළිබද කදිම සිනමා අත්දැකීමකට වඩා සරල සිනමා අත්දැකීමක් ලෙස හදුන්වාදීම නිවැරදිය.

මෙම උළෙලේ කැනඩා නියෝජනය වූයේ අයෑම් ගුඩ් පර්සන්,අයෑම් බෑඩ් පර්සන් චිත්‍රපටයයි.ඉන්ග්‍රිඩ් වෙනින්ගර් නම් සිනමාකාරියකගේ මේ චිත්‍රපටය අපූරු එකක් වූයේ එය සම්පූර්ණයෙන් පවුලේ චිත්‍රපටයක් වීම නිසාය.ඉන්ග්‍රිඩ් මෙම චිත්‍රපටයේ තිර රචකයා මෙන්ම ප්‍රධාන නිළිය ද වෙයි.එමෙන්ම එහි රඟපානුයේ ඇගේ සැමියා,දියණිය සහ පුතුය.එය පවුලේ චිත්‍රපටයක්යැයි සටහන් කළේ එබැවිනි. ඉන්ග්‍රිඩ් මෙහි රූබි වයිට් නම් සිනමාකාරියක ලෙස චරිත මවයි. රූබි චිත්‍රපටය බර්ලින් සිනමා උලෙලට තෝරා ගනී.ස්වාධින සිනමාකාරියක වන ඒ සඳහා ඇයට විශාල ආයෝජනයක් කළ නොහැකි බැවින් ඒ සඳහා යා යුත්තේ ද තනිවමය.

කැනඩාවේ සිට එහි යන්නට පෙර ඇය සැමියාගේ කායික අවශ්‍යතාවයක් ද ඉටු කර දෙන්නීය.අනතුරුව ඇය ජර්මනියට යන්නේ සිය දියණිය ද සමඟය.චිත්‍රපටයට මහජන අවධානය දිනා ගැන්ම ඇයගේ අරමුණ වුවත් අවිවාහකව ගැබිනියක් බවට පත්ව සිටින දියණියගේ අවශ්‍යතාවය අම්මාගෙන් එය සඟවා ගැන්මය.මේ අතරවාරයේ අත් පත්‍රිකා සහ පිටේ එල්ලා ගත් පුවරුවකින් යුක්තව තම චිත්‍රපටය කෙරෙහි මහජන අවධානය දිනා ගැන්ම අම්මාගේ අවශ්‍යතාවයයි.විටෙක හාස්‍යයෙන් ද විටෙක උත්ප්‍රාසයෙන් ද පිරුණ මේ චිත්‍රපටය පිළිබඳ සිනමාකාරිය කියා සිටියේ තමා වැනි ස්වාධීන සිනමාකාරියකට කැනඩා වෙළඳ පොළෙහි ඉඩක් නොමැති බවය. තම චිත්‍රපටය මෙතරම් ජනකායකට එක් වර පෙන්වන්නට ලද මුල්ම අවස්ථාව මෙය බව ද ඇය පැවසුවාය.
 

මතු සම්බන්ධයි