වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි නාට්‍ය අහිමි වුණේ මගේ හැකියාව වැඩි නිසාලු

ටෙලි නාට්‍ය අහිමි වුණේ මගේ හැකියාව වැඩි නිසාලු

සිටු මැදුර – ලයනල් , සේපාලිකා - මහතුන්
මහේන්ද්‍ර වීරරත්න

මේ ලයනල් ද? නැත්නම් මහතුන්ද? ඒ චරිත යුගළයටම ප්‍රේක්ෂකයන් හරිම ආදරෙයි. සිටු මැදුර ටෙලි සිතුවමේ ලයනල්ගේ හපන්කම් විඳලා ඊළඟ ගුවන් කාලයේ සේපාළිකා හි මහතුන්ව දැක ගන්නෙ ටිකක් බනින්න හිතාගෙන. ඒ ඔහු ටිකක් දඩබ්බර චරිතයක් නිසා. ලයනල් නම් ප්‍රේක්ෂක සිත් විටින් විට සංවේදී කරනවා.

ලයනල්ටයි, මහතුන්ටයි පණ පොවන්නේ මහේන්ද්‍ර වීරරත්න නම් ඔහුයි. ලැබෙන කිනම් හෝ චරිතය මතු පිටින් පමණක් ස්පර්ශ නොකොට ගැඹුරු අධ්‍යයනකින් පසුව රංගනයේ යෙදෙන්නකු බවට මහේන්ද්‍ර ප්‍රකටයි.

මහේන්ද්‍ර, ඔබ දැන් හරිම ජනප්‍රියයි නේද?

ලයනල් සහ මහතුන්ගේ චරිත එක ළඟ තියෙන ටෙලි නාට්‍ය දෙකකයි තියෙන්නේ. ඒක නිසා ඒ ද්විත්වයෙන් කුමන හෝ එකක් ප්‍රේක්ෂකයන්ගේ නෙතුª ගැටෙනවා. පෙර නොවූ විරූ ජනප්‍රියත්වයක් මට ලැබුණේ ඒ හේතුවටයි. මේ ළඟදි මට ප්‍රේක්ෂකයන් දෙදෙනෙකු මුණ ගැසුණා. එක් කෙනෙක් මගේ හොඳ කියනවා. අනෙක් කෙනා බනිනවා. ඒ අය නාට්‍ය දෙක වෙන වෙනම බලන දෙන්නෙක්. වැඩිදුරටත් කිව්වොත් එක් කෙනෙක් ලයනල්ගේ රසිකයෙක්. අනෙක් කෙනා මහතුන්ගේ රසිකයෙක්. මේ හේතූන් මත ප්‍රේක්ෂක කණ්ඩායම් දෙකකගේ විරළ ආදරයක් මට හිමියි.

ලයනල් සහ මහතුන් ඇතැම් දර්ශනවලදී සමාන ගති පැවතුම් ඇත්තන් බවට පත් වෙනවා?

ඔය සිද්ධිය වන්නේ කලාතුරකින්. ඇඳුම් පැළඳුම් අතින් දෙන්නම සමානයි. පිටපත් දෙක මට ලැබෙද්දී ලයනල් සහ මහතුන් සමාන්තර වෙනවා. එහෙම නොවෙන්න මං ඊට විශේෂ උපක්‍රම භාවිත කළා.

කියන්න පුළුවන් ද ඒ ගැන?

මට වැඩිදුරටත් විග්‍රහ කරන්න අපහසුයි. ඒක මං හොයා ගත්ත එකක් නිසා වෙන කෙනෙකුට එම උපක්‍රම අනුගත වෙනවට මං ආස නැහැ. ඉතාම කෙටියෙන් කිව්වොත් ශරීර භාෂාව ඔස්සේ දීර්ඝ අධ්‍යයනයක යෙදෙමින් ඊට සබැඳි න්‍යායවල් කිහිපයක් භාවිත කරමිනුයි. ඒක මට කියා දුන්නේ ජෝ මහත්තයා. ලයනල් සහ මහතුන් එහා මෙහා කළෙත්, ලයනල්ට විතරක් මිනිස්සුන්ව සංවේදී කළෙත් ඒවා අඩු වැඩි වශයෙන් යොදාගෙනයි.

මෙගා නාට්‍ය කරන ගමන් චරිත අධ්‍යයනයට වෙලාවක් තියනවාද?

අධ්‍යයනය කරනවා යැයි මං පැවසුවේ පංති යනවා කියන එක නෙවෙයි. ඔබත් සමඟ දැන් මං කතා කරනවා, ඔබ නොදැනුවත්ව ඔබේ අංග චලන, කතා කරන විදිහ, හැරෙන විදිහ, මං මේ වන විටත් සිතෙහි තැන්පත් කරගෙන ඉවරයි. ඒවා ඔබ වැනි ගති ලක්ෂණ ඇති චරිතයක් ලැබුණොත් එතෙන්දි ඉස්මතු කරලා ගන්නවා. ඒ වගේ මට මුණ ගැහිලා ඇති මිනිස්සු දහස් ගණනක්. ඒ අයගෙන් එක්රැස් කරගත් ගති ලක්ෂණ, හැසිරීම්, අංග චලන බැංකුවක් මං සතුයි.

කොතරම් හැකියාවන් තිබුණ ද ඇතැම් ටෙලි නාට්‍යවලින් ඔබව කපා දමනවා කියලා දැනගන්නට ලැබුණා?

එහෙම අවස්ථා කිහිපයකදී වුණා. පසුවයි මං හේතුව දැනගත්තේ. මගේ හැකියාව වැඩියිලු ඔවුනට. මං එය තවත් පැහැදිලි කරන්නම් උදාහරණයකුත් එක්ක. මේ ළඟදී ටෙලි නාට්‍ය නළුවකු නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඔහුයි එහි ප්‍රධාන චරිතයක් මැව්වේ. මාව එහි චරිතයකට තෝරගෙන තිබිලා. මගේ රඟපෑමේ හැකියාවට ඔහු බය වෙලා. අපි දෙන්නගේ සීන්වලදී මං දෙබස් ඩිලිවරි කරන විදිහට ඉන් ඔහුව යටපත් වේවි යැයි සිතිලා. ඒ හින්දා මාව අයින් කරලා තියෙන්නේ. අනිත් ඒවායෙත් එහෙම වෙන්න ඇති.

වර්තමානයේදී හදාරමින් රංගන චාරිකාවක යෙදුනත් ඔබ වෘත්තීමය රංගන ශිල්පියකු වන්නට පෙරුම් පිරුව අයකු නෙවෙයි?

මං මුද්‍රණ අංශයේ රැකියාවක් කළේ. කලාකරුවන්ගේ සබඳතා තිබුණා. මගේ අයියත් පුවත්පත් කලාවේදියෙක්. අනූව දශකයේ මුල් කාලයේ මට වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ කාලයේ ටෙලි නාට්‍යවලටත් කතා කළා. රැකියාව නිසා යන්න ලැබුණේ නැහැ. දෙදහ මුල් කාලයේ නලින් මාපිටියගේ දෙරණ ටෙලි නාට්‍යනුයි මං පුංචි තිරයට එන්නේ. ක්‍රම ක්‍රමයෙන් රංගනයේ ඇති රහ තේරුණා. ඇරැයුම් ද වැඩි වුණා. රැකියාවට සමුදී වෘත්තීීමය රංගන ශිල්පියකු වුණා.

වේදිකාවට ගොඩ වීම අමතක වෙලාද දැන්?

එහෙම වෙන්නේ නැහැ කවදාවත්. මං රංගනයේ ‘අයනු’ ‘ආයනු’ කිව්වේ වේදිකාවෙන්. වේදිකාව අමතක කළයි කියන්නේ මගේ පාසල අමතක කළා වගේ වැඩක්. වේදිකා නාට්‍ය දෙක තුනකත් ඉන්නවා. මගේම වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්නත් බලාපොරොත්තුවක් තියනවා.

ඔබට මිලක් තිබෙනවාද?

මට නෙවෙයි, මගේ දක්ෂකමටයි මිලක් තියෙන්නේ. හැබැයි මගේ මුදලට එකඟ වුණයි කියලා ඕන චරිතයක් කරන්නට මං සූදානම් නැහැ. පිටපත හොඳ නම් මිල අඩු කරන්නට දෙවතාවක් හිතන්නෙත් නැහැ.

ඔබ රංගනයට පැමිණි මුල් කාලයේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා නම් මහේන්ද්‍ර වීරරත්න මෙයට වඩා ජනප්‍රිය වන්නට තිබුණා?

ඒක ඉතින් දෛවයේ හැටිනේ. ඒ කාලයේදීම ටෙලි නාට්‍ය කළා නම් අද මං බෙන්ස් එකක් අරගෙන.

රූප සොභාවය කොතෙක් දුරට නළුවකුට වැදගත් ද?

අද රූප සොභාවයට චරිත ලැබෙන්නේ නැහැ. දක්ෂතාවයයි වැදගත්. ප්‍රසන්නව ඉන්න ඕනේ. අපේ අය වරද්දගෙන තියනවා නළුවකු වුණාම හොඳට ලස්සනට ඉන්න ඕන කියලා. එහෙම ඉන්න ඕනෙ. ඒත් කැමරාව ඉස්සරහ නානවා නම් වැඩක් නැහැ.

මේ කතාව ඔබේ පුද්ගලික ජීවිතය පැත්තට ගෙන ගියොත්, ඇයි තවමත් තනිකඩ?

විවාහ වෙන්න මට සුදුසු කෙනා ලැබුණෙ නැහැ. අදටත් මං ඇයව හොයනවා.

මහේන්ද්‍ර දායක වී ඇති නිර්මාණ:

ටෙලි නාට්‍ය: දෙරණ, සමනළුන්ට වෙඩි තියන්න, දෙගම් මැදියාව, රන්ගිර, විකාශය වීමට නියමිත ඉර අවරට

වේදිකා නාට්‍ය: ඔතලෝ, කිංලියර්, උතුරු කොනට පටු පාරක්, සුබ සහ යස