වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අද තරුණයන්ට උවමනා ප්‍රසිද්ධිය විතරයි

අද තරුණයන්ට උවමනා ප්‍රසිද්ධිය විතරයි

ඉදිරියේදී තවත් නාට්‍ය කිහිපයක් නිපදවනවා

ලලිතා සරච්චන්ද්‍ර සමඟ කතාබහක්
 

පබාවතී නව නිෂ්පාදනයේ මංගල දැක්ම අද කොළඹ විශ්වවිද්‍යාලයේදී

එදිරිවීර සරච්චන්ද්‍රයන් අපේ සාහිත්‍යයට අනභිභවනීය නාට්‍ය රැසක් එක් කළ කලා ලොවේ දැවැන්තයෙක්. මනමේ, සිංහබාහු ඇතුළු සිංහල සාහිත්‍යයේ එන සුවිශේෂ කතා පුවත් රැසක් නාට්‍යමය ආකාරයෙන් අපට දායාද කළ එතුමා අප අතර නැතත් ඒ මිල කළ නොහැකි නිර්මාණ මතු පරපුර වෙනුවෙන් රැක ගනිමින් ඉදිරියට ගෙන එන්නට වගකීම කරට ගෙන ඒ වෙනුවෙන් කැප වී සිටින්නේ එතුමාගේ ප්‍රිය බිරිය ලලිතා සරච්චන්ද්‍ර මහත්මියයි.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අතර වූ කුස ජාතකය පදනම් කරගනිමින් නිර්මාණය කළ ‘පබාවතී’ නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දැක්ම අද (20) කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී සිදු කෙරේ. වසර ගණනාවකට පසුව සිදු කෙරෙන පබාවතී නව නිෂ්පාදනය ගැන විමසන්නට සරසවිය ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය හමු වුණා.

පළමුවෙන්ම පබාවතී නාට්‍යයේ ආරම්භය ගැන සඳහන් කරමු?

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පබාවතී නාට්‍යය නිර්මාණය කළේ මනමේ නාට්‍යයටත් පෙර 1952 වසරේදී. ඊට පසුව 1964 වසරේදී නැවත එය නව නිෂ්පාදනය කළා. එය මට විශේෂ අවස්ථාවක්. මමත් එහි චරිතයකට පණ දුන්නා. එදා අපේ බැඳීම විවාහයෙන් කෙළවර වුණා. වසර හතළිස් අටකට පසුව මම තීරණය කළා නාට්‍යයට හානියක් නොවන අයුරින් නැවත නිෂ්පාදනය කරන්න.

පබාවතී නව නිර්මාණය ගැන සඳහන් කළොත්?

එදා පබාවතී නාට්‍යය පැය තුන හමාරක් විතර රඟ දැක්වූවා. අද කාලයත් සමඟ එය ගැළපෙන්නේ නැහැ. පබාවතී නාට්‍යය සරච්චන්ද්‍රයන් අතින් ලියවුණු සුවිශේෂී නාට්‍යයක්. එහි භාෂාව ඉතාම ප්‍රබලයි. නාට්‍යයට හානියක් නොවන අයුරින් සංස්කරණය කර කාලය පැය එකකුත් මිනිත්තු හතළිහකට කෙටි කළා. එදා පබාවතී නාට්‍යය කෘතියක් ලෙස ලැබූ සාර්ථකත්වය ලබා ගන්නට සමත් වුණේ නැහැ.

ඒ නිසා මම නාට්‍ය ප්‍රයෝග උපයෝගි කර ගනිමින් එය නාට්‍යයක් ලෙස සාර්ථක කර ගැනීමට කටයුතු කළා. වසර 60 ට පෙර සරච්චන්ද්‍රයන් නාට්‍ය වේදිකා ගත කළේ කොළඹ විශ්වවිද්‍යාලයේදීයි. වසර 60 ට පසුවත් මෙම අවස්ථාව ‘පබාවතී’ වෙනුවෙන් ලබාදීම පිළිබඳ උප කුලපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියටත්, අගලකඩ සිරිසුමන හිමි සහ ජනමාධ්‍ය ඒකකයේ කමල් වලේබොඩ මහතාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.

‘පබවතී’ නව නිෂ්පාදනයට විශේෂ හේතුවක් තියෙනවාද?

ලබන 2014 ජුනි තුන් වැනිදාට සරච්චන්ද්‍රයන්ගේ සියවැනි ජන්ම දිනය සපිරෙනවා. ඒ වන විට එතුමාගේ නාට්‍ය කීපයක් නව නිෂ්පාදනයට තීරණය කළා. ඒ වෙනුවෙන් තමයි පබාවතී නව නිෂ්පාදනය කළේ.

එදා සහ අද ‘පබාවතී’ සඳහා දායක වූ නළු නිළියන් කවුද?

එදා බෙන් සිරිමාන්න, සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ, සෝමලතා සුබසිංහ චරිත නිරූපණය කළා. 64 වසරේදී නැවත නිෂ්පාදනයේ සීලවතී බිසව වුණේ මම. අද නව නිෂ්පාදනයේ කුස රජු ලෙස සනත් විමලසිරි, පබාවතී ලෙස කුමුදු ඒකනායක, කුදී ලෙස නයනා හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් මෙහි චරිත සඳහා පණ දෙනවා. මෙහි පළමු නිර්මාණයේ පරිදිම පණ්ඩිත් අමරදේවයන්ගේ ‘මෙදා අවරගිරි’ ගීතය ඇතුළත් අතර නව නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂ ශාන්ත පීරිස් විසින් ‘තිර නෑ කිසිවක්’ සහ ‘පුණ්‍යවන්ත රජ කුමරුණි’ ගීත නිර්මාණය කරල තියෙනවා.

එදා ඒ ශිල්පීන් සහ අද ශිල්පීන් අතර වෙනසක් ඔබ දකිනවාද?

අද ගොඩක් අය දක්ෂයි. එදා නළු නිළියන් නිර්මාණයක් වෙනුවෙන් විශාල කැපකිරීම් කළා. අද වනවිට හැම දෙයක්ම වෙනස් වෙලා තියෙනවා. දැන් අයට වැඩ වැඩියි. ඒ නිසා කැප කිරීම් අඩුයි. ඇත්තටම ඔවුන්ට ඒ සඳහා කාලය මදිවෙලා තියෙනවා.

බොහෝ දෙනෙකුගේ මතය නම් මේ වන විට මෙරට නාට්‍ය කලාව බිද වැටීමකට ලක්වෙලා ඇති බවයි. ඔබ ගන්නා මේ වෑයම සමඟ ඒ පිළිබඳ ඔබේ අදහස?

ඇත්තටම අද වනවිට නාට්‍ය කලාව බිඳ වැටිලා තියෙනවා. කාලෙන් කාලෙට එක එක රැලි එනවානේ. දැන් කාලේ ගොඩක් නාට්‍ය කරන්නේ ටෙලි නාට්‍ය නළු නිළියන් යොදා ගෙන. නාට්‍යයේ ගුණාත්මක බව පිළිබඳ අවධානය යොමු වෙනවා අඩුයි. ප්‍රේක්ෂකයෝ එන්නේ නළු නිළියෝ බලන්න. නාට්‍යවල ගුණාත්මක බව නොමැතිකම නිසා තමයි මේ යුගයේ නාට්‍ය කලාවේ දියුණුවට බාධා වෙලා තියෙන්නේ. බාල ගණයේ වුණත් නාට්‍යයක් සංවිධානය හොඳ නම් පෙන්වන්න පුළුවන්. මෙහිදී සංවිධායකයන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ්ක ඔවුන්ගේ රැකියාව. අපේ ප්‍රේක්ෂකයෝ දැනගන්න ඕනෑ නිවැරැදි දේ තෝරා ගන්න.

අද වන විට තරුණ පරපුර නාට්‍ය කලාවට යොමුවීමේ නැඹුරුවක් ඔබ දකිනවාද?

තරුණ අයට ඕන කරන්නේ ප්‍රසිද්ධිය විතරයි. ඔවුන්ට නාට්‍ය එකකට දෙකකට විතර සම්බන්ධ වෙලා පත්තරේක පිංතූරයක් පළ වුණාම ඇති. එතැනින් එහාට ඔවුන් වෙන වෙන දේ සඳහා යොමු වෙනවා. ඔවුන්ට අවශ්‍ය පෙනී සිටින්න පමණයි. ඇත්තටම මනමේ, සිංහබාහු වගේ නාට්‍යවලින් ඔවුන්ට වැඩක් නැහැ. ඒ අතර නාට්‍ය කලාවට සැබෑවටම ආදරය කරන අයත් ඇති. ඔවුන් කලාවේ ඉදිරිය වෙනුවෙන් යමක් අනාගතයේදී සිදු කරාවි.

‘පබාවතී’ සමඟින් ඉදිරියේදී තවත් නව නිෂ්පාදන නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවාද?

ලබන වසරේදී ‘බව කඩතුරාව’ නැවත නව නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. එය ජනවාරි අග භාගයේ රංගගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ලබන වසරේදී සරච්චන්ද්‍රයන්ගේ තවත් නාට්‍ය තුනක් විතර නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමාගේ නාට්‍ය පිටපත් අතර කිසිවෙක් නොදැකපු නාට්‍ය පිටපත් එකොළහක් විතර තියෙනවා. ඒවා අතරින් කිහිපයක් 2014 වසරට පෙර නිර්මාණය කරන්න බලාපොරොත්තුª වෙනවා.

මේ සියලු නාට්‍ය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් ලියවුණු නාට්‍ය. ඔබ විසින්ම පිටපතක් ලියන්න අදහසක් නැද්ද?

කවදාවත් මම පිටපත් ලියන්නේ නැහැ. ඒ හැකියාව උප්පත්තියෙන් එන්න ඕනෑ. ඒ වාසනාව මට උරුම නැහැ. නමුත් මට පිටපතක් දුන්නොත් ඒක ලස්සනට නිර්මාණය කරන්න ශක්තිය තියෙනවා. නාට්‍ය පිටපත් ලිවීම පංති ගිහින් ඉගෙන ගන්න බැහැනේ. ඒ නිසා ඒ සඳහා යොමු වෙන්න අදහසක් නම් නැහැ.

2014 වසර උදා වෙන්නට පෙර මේ නාට්‍ය හැකි තරම් නිර්මාණය කරල අවසන් කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. දිගටම ප්‍රදර්ශනය කරන්න නොවෙයි. නමුත් ඉල්ලීම් පරිදි වේදිකාගත කරන්න බලාපොරොත්තු වෙනවා නාට්‍ය විශාල සංඛ්‍යාවක් තියෙන නිසා එක දිගට වේදිකාගත කරන්න අමාරුයි. ලබන වසරේ සිට මනමේ, සිංහබාහු තාවකාලිකව නවත්වන්නට තීරණය කළා. ඉදිරියේදී එම නාට්‍ය අලුත් මුහුණු සමඟින් නිර්මාණය කෙරෙනවා. මුදල්වලට වඩා කාලය තමයි අඩු. මේ අවුරුදු එක හමාරම ඒ වෙනුවෙන් තමයි කැප කරන්නේ.