වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දිනවල ලොව පුරා වැඩිම ආදායමක් උපදවන - හොබිට් දැන් ශ්‍රී ලංකාවේ

මේ දිනවල ලොව පුරා වැඩිම ආදායමක් උපදවන - හොබිට් දැන් ශ්‍රී ලංකාවේ

ජේ. ආර්. ආර්. ටොයිකියන් විසින් රචිත ලෝඩ් ඔෆ් ද රින්ග් සිනමා ත්‍රිත්වය ඔබට මතක ඇති. නවසීලන්ත ජාතික පීටර් ජැක්සන් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපට ත්‍රිත්වය ලොව පුරා අති විශාල ආදායම් ලබා එහි තුන්වන සහ අවසාන චිත්‍රපටය වූ ලෝඩ් ඔෆ් ද රින්ග් – රිටරන් ඔෆ් ද කිං වාර්තාගත ලෙස ඔස්කාර් සම්මාන 11 ක් 2004 දී දිනා ගැනිමට සමත් වුණා.

ඒවා නැරඹූ ඔබට එහි චරිත ගැන යම් තරමක මතයක් ඇතැයි සිතමින් ටොයිකියන් විසින් ලෝඩ් ඔෆ් ද රින්ග් කෘති ත්‍රිත්වයට පූර්ව කෘතියක් ලෙස රචිත හොබිට් නම් කෘතිය පාදක කරගෙන පීටර් ජැක්සන්ම විසින් නිර්මාණය කරන්නට යෙදුණ ද හොබිට් නම් චිත්‍රපටය ගැන අද මේ ලිපියෙන් සැකෙවින් විස්තර කරන්නම්.

මධ්‍ය පෘතුවියේ සිදුවන මේ සිද්ධි දාමයන්ට මූලික වෙන්නේ එහි ගමක වෙසෙන අහිංසක මිත්‍රශීලී නිතරම සතුටින් සිටින මනුෂ්‍ය කණ්ඩායමක් වන හොබිට්ස්වරුන්ය. ඔබට මතක ඇති ලෝඩ් ඔෆ් ද රින්ග් හි ෆෙ‍්‍රීඩෝ. ඔහුට තමයි අර තරම් බලසම්පන්න මුද්ද භාර දී තිබුණේ. ඔහුගේ වීරකම් දුටු ඔබ දන්නවා ඇති ශරීරයෙන් කුඩා වුණාට, උසින් අඩු වුවාට මේ හොබිට්වරුන්ගේ ආත්ම ධෛර්යය නම් අහස උසට ඇති බව.

ලෝඩ් ඔෆ් ද රින්ග් හි කතා නායකයා වූ ෆෙ‍්‍රීඩෝ බැගින්ක්ට මුද්ද දුන් ඔහුගේ මාමා මතකද? ඔහු තමයි බිල්ඩෝ බාගින්ස්. මෙම හොබිට් චිත්‍රපටයට පාදක වන්නේ ඔහු යොවුන් අවදියේ මුහුණ දුන් අවදානමක් සහ වීර ක්‍රියාවක් ගැනයි.

මේ චිත්‍රපටවලට තිබෙන ලොකු පිටිවහලක් තමයි ඒවායේ මුල් කෘතියට ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත රසික පදනම. මෙම රසිකයින් නිසාම මේවා බොක්ස් ඔෆිස් වාර්තා තබන්නේ සල්ලි අච්චු ගහන ලෙසින්. චිත්‍රපටය ගුණාත්මක භාවයෙන් කෙසේ වෙතත් රසිකයෝ පොර කකා මේවා නරඹන්නට යනවා.

ඒ හින්දාම මේ එක චිත්‍රපටයකින් රූපයට නැගිය හැකි කතා පොත, චිත්‍රපට 2 ක් 3 ක් වශයෙන් දිග් ගස්සමින් ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන්නේ වාණිජ සිනමාවේ මූලික පරමාර්ථය සඵල කර ගැනීම සඳහායි. හොබිට් චිත්‍රපටයටත් පැය 3 කට ආසන්න කාලයක් තිබෙනවා. නමුත් චිත්‍රපටයේ මුල්භාගය අලස ලෙස ගෙවී යන අතර පැය 2 කට අඩු කාලයකින් නිම කළ හැකිව තිබූ කතාව විනාඩි 170 ක් දක්වා අනවශ්‍ය විදිහට දික් කර තිබෙනවා.

එක් අතකට මෙය රසිකයින් පිනවීමට කළ දෙයක් යැයි යම් කෙනෙකුට තර්ක කළ හැක. මක්නිසාද රසිකයින් සන්තර්පණය කිරීම සඳහා ඉතා දිගු ධාවන කාලයක් චිත්‍රපටය වෙනුවෙන් වැය කිරීමට නිර්මාණකරුවන්ට සිදු වෙනවා.

ටොයිකියන් ගේ මේ ෆැන්ටසි කතා ඉතා ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති යැයි මා පුද්ගලිකව සලකන්නේ නම් නැහැ. නමුත් බටහිර ලෝකයේ විසි වන සහ විසි එක් වන සියවස්වල මේ කෘති ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වූවා. එයට හේතුව ලෙස මා නම් දකින්නේ ලොවටම බලපා ඇති නිර්මාණ බංකොලොත්භාවයයි. හොඳ කෘති බිහි නොවන විට කාන්තාරයේ පතොක් ගසුත් ගස් වන්නා සේ සාමාන්‍ය නිර්මාණ ඉතාමත්ම උසස් ගණයටත්, පාඨකයන්ගේ ගෞරවයටත් පාත්‍ර වෙනවා.

දෘශ්‍යමය වශයෙන් ඉතාමත් උසස් වූ ලෝඩ් ඔෆ් ද රිංග් චිත්‍රපට ත්‍රිත්වය පැය දහයකට ආසන්න කාලයක් මා නැරැඹුවේ මහත් වෑයමින්. එම පොත් කියවා තිබීම මට එය නැරැඹීමට උනන්දුවක් දැක්වීමට හේතු වූයේ නැහැ. මා සිතුවේ ටොයිකියන් සහ ඔහුගේ නිර්මාණ පමණට වඩා උසස් තැනක තැබීමට බටහිර ජනප්‍රිය සංස්කෘතිය සමත් වී ඇති බවයි.

මෙම කතා කල්පිත මධ්‍යම පෘතුවියේ සිදුවන අතර ඔබ කල්පනාවෙන් බැලුවොත්, මේ හොබිටිස්ලා , ඩිවොරෆ්ස්ලා, එල්විස්ලා සහ මනුෂ්‍යයින් අතර ඔබට වැරදිලාවත් ආසියානු සම්භවයක් ඇති හෝ අප්‍රිකානු සම්භවයක් ඇති චරිතයක් දක්නට නෙලැබෙයි. එයට හේතුව ලෙස මා නම් සිතුවේ ටොයිකියන්ගේ පසුබිමයි. වර්ණ භේදවාදී දකුණු අප්‍රිකාවේ හැදුණු වැඩුණු සුදු ජාතිකයෙකු වූ ටොයිකියන් සමහර විට කැමැත්තෙන්ම සිතා මතාම තම කතාවට කොකේසියානු නැතහොත් සුදු ජාතිකයින් ඇරෙන්නට වෙන කිසිම ජාති වර්ගයක් ඇතුළත් නොකිරීමට වග බලා ගන්නට ඇති. බටහිරට ඔහු මහා වීර චරිතයක්. නමුත් මා ටොයිකියන් දකින්නේ ඉහත පැවසූ ආකාරයටයි.

මෙම චිත්‍රපටය නරඹන්නට මා උනන්දු කරවන ලද්දේ එය තප්පරයට රාමු 48 ක වේගයකින් රූගත කර තිරගත කිරීමයි. රාමු වැඩි වුණත් අලුතෙන් යමක් වැඩි කරන්නට මේ නවසීලන්ත කණ්ඩායමට නොහැකි වීම කනගාටුවට කරුණක්.

ඇත්තටම මෙම චිත්‍රපටය මුලින්ම අධ්‍යක්ෂණය කිරීමට යෝජනා කර තිබුණේ මෙක්සිකානු සිනමාකරුවකු වූ ගුයේමෝ ඩෙල් ටෝරෝ. ඉතාමත් දක්ෂ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයකු වූ ඔහු මේ ව්‍යාපෘතියට බැඳී ටික කාලයකින් ඉවත් වූවා. මීට පෙර හෙල්බෝයි, පෑන්ස් ලබ්රින්ත් වැනි ගුණාතේමක නිර්මාණ කළ ඔහු බැරි වෙලාවත් මේ පොත සිනමාවට නැගුවා නම් මේතරම් කාලයක් නාස්ති කරන එකක් නැහැ.

අවසානයේ කෙසේ හෝ සල්ලි හම්බ කර ගැනීමේ න්‍යායෙන්ම පෙළෙන හොලිවුඩ් චිත්‍රාගාරය යොමු වුණේ පීටර් ජැක්සන්ටයි. ඔහු පවසන පරිදි ඔහු මේ කතා පෙළේ රසිකයෙක්. තම බිරිඳ වන ෆ‍්‍රාන් වොල්ෂ් සමඟ තමයි ඔහු පිටපත් ලියන්නේ. දෙදෙනාම දක්ෂයි. ඒ පිළිබඳ විවාදයක් නැහැ. ඔවුන්ගේ පෙර නිර්මාණ එය ඔප්පු කර තිබෙනවා.

හොබිට් ගැන හොඳක් කියනවා නම් පළවෙනි භාගය අලස නීරස වුවත් අවසන් භාගය නම් ඉතාමත් ආකර්ෂණීය ක්‍රියාදාම පෙළකින් සමන්විත වෙන්නේ ඔබට ඉතා සතුටුදායක වින්දනයක් ලබා දීමටයි. නිමා නොවෙන සටන්වලින් පිරුණු මෙය සතුටුදායක අවසානයක් ඔබට ලබා දෙනවා.

එනමුත් ලෝඩ් ඔෆ් ද රින්ග් ත්‍රිත්වය නරඹා ඔබ ඊට වැඩි දෙයක් නොදැකපු දෙයක් බලාපොරොත්තුවෙන් හොබිට් නැරඹීමට ගියහොත් සිදු වන්නේ නම් බලාපොරොත්තුª කඩවීමයි.