වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




විද්‍යාට සුබ මංගලම් !

විද්‍යාට සුබ මංගලම් !

පරිනීතා, කහානි සිනමාපටවලදී ප්‍රේමණීය පතිනියක වූ විද්‍යා බාලන් උඳුවප් මාසයේ දාහතර වැනිදා සැබෑවටම ඒ මිහිරි අත්දැකීම ලැබුවාය. ඒ යූටීවී ප්‍රධානී සිද්ධාර්ත් රෝයි කපූර්ගේ අත ගැනීමෙනි.

සිද්ධාර්ත් පන්ජාබ් ජාතිකයකු නිසා පන්ජාබ් චාරිත්‍රානුකූලවත්, විද්‍යා කේරළ ජාතික නිසා කේරළ චාරිත්‍රානුකූලවත් විවාහය සිදු කෙරිණි. චෙම්බූර්, ශ්‍රී සුබ්‍රමනියා කෝවිලේ මංගල චාරිත්‍ර සිදු කළ පසු බන්ද්‍රාවේ ග්‍රීන් මයිල් බංගලාවේ අති උත්කර්ෂවත් ලෙසින් මංගල උළෙල පැවැත්වුණි. බොලිවුඩ් පුරයෙන් මේ මංගල්‍යයට සහභාගි වී ඇත්තේ ප්‍රවීණ නිළි රේඛා පමණි. සෙස්සෝ මනාල යුවළගේ මාපියන්, සමීපතම නෑ හිත මිතුරන් වූහ. මංගල උළෙලට පැමිණි අමුත්තෝ දකුණු ඉන්දීය ක්‍රමයට පිසින ලද ආහාරවල රස බැලූහ.

චාරිත්‍ර අවසන් වූ පසු මනාල යුවළ ඡායාරූපයකට පෙනී සිටියහ. කාගේත් දෑස් යොමු වී තිබුණේ රතු සහ රන් පැහැයන්ගෙන් යුතු කන්ජීවරම් සාරියකින් සැරැසී සිටි විද්‍යා වෙතය. ඕනෑම විශේෂ අවස්ථාවකදී විද්‍යාගේ ප්‍රියතම තෝරා ගැනීම කන්ජීවරම් සාරියයි. සිද්ධාර්ත් පන්ජාබ් ක්‍රමයට කහ කුර්තාවකින් සහ රෝස තුර්බානයකින් සැරසී සිටියේය.

නව මනාල යුවළට සුබ පැතුවේ බොලිවුඩ් පුරයේ සීමිත පිරිසකි. ඒ අතර ප්‍රියංකා චොප්රා සහ චිත්‍රපට අධ්‍යක්ෂ මධූර් භන්දර්කර් වෙති.

ලැබෙන ආරංචිවලට අනුව දෙදෙනා මධුසමය ගත කිරීමට යාමට බලාපොරොත්තු වන්නේ කැරීබියානු දූපත්වලටයි.

ජැකලයින්ට දූපතක්

බොලිවුඩය සොඳුරු කරන අපේ ලාලනිය ජැකලින් ෆර්නැන්ඩස්ය. ඇයට දැන් ලැබෙන සිනමාපට ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී. එහෙත් ඒ හා සමානව ඇය ප්‍රතික්ෂේප කරන සිනමාපට ගණන ද වැඩි වෙමින් පවතී. මුලින්ම ඇය ප්‍රතික්ෂේප කළේ ‘රාස් 3’ සිනමාපටයයි. ජැකලයින් ප්‍රතික්ෂේප කළ චරිතයට පසුව ඊශා ගුප්තා තෝරා ගැනුණි. ඒ සිනමාපටය නොසිතූ විරූ ලෙස සාර්ථක විය. මෙවර ජැකලයින් ප්‍රතික්ෂේපකර තිබන්නේ ‘ක්‍රිෂ් 3’ චරිතයයි.

පසුව ඒ සඳහා කන්ගනා රනවුත් යොදාගෙන තිබේ. මීට හේතුව ලෙස ජැකලයින් පවසන්නේ කාර්යබහුලකමයි. ‘ක්‍රිෂ් 3’ රූගත කරන දිනවලට සහභාගිවීමට ඇති නොහැකියාව නිසා අකැමැත්තෙන් චරිතය ප්‍රතික්ෂේප කළ බව ඇය පවසන්නීය. ජැකලින් තුනේ අංකය මෙසේ මග හරින්නේ තුනේ අපලයක් නිසා ද? ‘ක්‍රිෂ් 3’ හි ඇයට රඟපාන්නට තිබී ඇත්තේ කළු චරිතයකි. එහෙත් එය ඇයට එතරම් අසීරු නොවන බව සිතන්නේ සැබෑ ජීවිතයේදීත් ඇය කළු ගති පෙන්වන නිසයි.

ළඟදී ජිම් එකකදී ජැකලින්ට කන්ගනා රනවුත් මුණ ගැසී තිබේ. කන්ගනා ජිම් කරා පැමිණෙද්දී ජැකලින් පිටව ගොස් ඇත. ජැකලින්, කන්ගනාව දුටුවත් සුහද සිනාවකින් සහෝදර නිළිය කන්ගනාට සංග්‍රහකර නැත. ඇය මෙසේ අහංකාර වී ඇත්තේ ළඟදී දූපතක හිමිකාරියක වූ නිසා ද?

ජැකලින් මෑතකදී අපේ රටට ආසන්නව ඇති දූපතක් මිලදී ගෙන තිබේ. එය ඇය මිලදී ගෙන ඇත්තේ මවුපියන්ට තිළිණ කිරීමටයි. අක්කර හතරක් පළල මේ දුපත, ජැකලින්ගේ මවුපියන් කෙරෙහි ඇති අප්‍රමාණ වූ සෙනෙහස කියා පාන්නේය.

ඇය මිලදී ගත් දූපත අසලම අපේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාරට අයිති දූපතක් ද තිබේ. රිදී තරු හා ක්‍රිකට් තරු කවදත් සමීපය.

12 + 12 + 12 = 62

ඔහු ලොවෙන් එකකු නොවෙයි. ලොවටම එකෙකි. රජිනිකාන්ත් ජීවත්ව සිටියදී පවා දේවත්වයෙන් අදහන සිනමා රජෙකි.

මෙය පුදුමයක් නොවන්නේ ඔහු ඉපදී ඇත්තේ ද සාමාන්‍ය දිනයක නොවන නිසයි. වසර 2012 දොළොස් වැනි මාසයේ දොළොස් වැනි දින ඔහු වයස අවුරුදු හැට දෙක සැපිරුවේය. අසාමාන්‍ය දිනයක උපන් දිනය සමරා රජිනිකාන්ත් තවත් අසාමාන්‍ය වූවේය.

දිලිප් කුමාර් 90 සපුරයි

ආදරයේ වටිනාකම සැබැවින්ම දැනෙන්නේ විරහ වේදනාවෙන් දෑස් කඳුළින් තෙත් වූ විටයි. දිලිප් කුමාර් ශෝකාන්තයේ රජු, සැබෑ ආදරය රසිකයන්ට හදවතින්ම විඳින්නට සැලැස්සුවේ නෙත් කඳුළුවලින් පුරවමිනි.

සියවසක භාරත සිනමාවේ අනූ වසරක ආයු කාලයක් සපුරන්නට තරම් ශෝකාන්තයේ රජු වාසනාවන්ත විය. දෙසැම්බර් 11 වැනිදා ඒ සුවිශේෂී දිනයයි. අනූ වැනි ජන්ම දිනය මහා කලාකරුවකු මහා ඉහළින්ම සැමරිය යුතු ජන්ම දිනයකි. එහෙත් මෙවර ඔහු උපන් දිනය ප්‍රිය බිරිය සයිරා බානු සමඟ ඉතා චාම් අන්දමින් සැමරුවේය. ඒ යාෂ් චොප්රා සිනමාවේදියාණන්ගේ සහ ශිව් සේනා නායක බාල් තැකරේගේ වියෝවීම් නිසයි. ඊට අමතරව රාජේශ් ඛන්නාගේ හා ධාරා සිංගේ මරණ ද ඔහුගේ සිත් රිදවූවේය.

ඔහු උපන් දිනය සැමරුවේ උපන් ගම වූ පකිස්තානයේ පෙෂාවෝර් නුවරදීය. දිලිප්ගේ ළමා විය ගෙවුණේ මේ ඓතිහාසික නගරයේයි. දිලිප් කුමාර්ගේ සමකාලීන නළුවකු සහ අධ්‍යක්ෂවරයකු වූ රාජ් කපූර් හා දිලිප්ගේ හද දිනූ ආදරවන්තිය, මධුබාලා ඉපදුණේ ද පෙෂාවෝර් නගරයේයි. වර්තමානයේ දිලිප් කුමාර්ට සමාන කරන ෂාරුක් ඛාන්ගේ ළමා විය ගෙවී ඇත්තේ ද මේ කලා පුරයේමය.

දිලිප් කුමාර්ගේ උපන් දිනය නිමිත්තෙන් පැවැති සාදය මෙවර ද සුපුරුදු පරිදි සංවිධානය කළේ සයිරා බානුය. පවුලේ සමීපතමයන් කිහිප දෙනෙක් පමණක් මීට සහභාගි වූහ.

සයිරා, දිලිප්ට වඩා වසර විසි දෙකකින් බාලය. වසර හතළිස් හයක යුග ජීවිතයේ රසවත් තොරතුරක් ද සිය සැමියා ගැන සයිරා හෙළි කළාය. ‘දිලිප්ට මං ආදරය කරන්න ගත්තේ වයස අවුරුදු දොළහේදීයි. ඒ වෙනකෙට දිලිප්ගේ හිත මධුබාලා දිනාගෙනයි තිබුණේ.

විවාහ වූ අලුතම ප්‍රසිද්ධියේ අත්වැල් පටලවා ගෙන යනවාට ඔහු අකැමැති වුණා. අත්වැල් බැඳගෙන යාමේ ආසාව වළලා දැම්මා. දැන් හතළිස් හය වසරක් ගත වෙලා. බොහෝ දේ වෙනස් වෙලා. ලෝකයේම වටිනා පුද්ගලයා ඔහුයි. මට අවශ්‍ය ඔහු සුවෙන්, සතුටින් තව චිරාත් කාලයක් ජීවත්වනවා දකින්නටයි.’

දිලිප්ගේ පෙෂාවෝර්හී පිහිටි නිවෙස ජාතික උරුමයක් කිරීමට ද පකිස්තානු රජය පියවර ගෙන තිබේ. දිලිප්ගේ උපන් දින සැමරුම ඉන්දියාවේත් පකිස්තානයේත් අසල්වැසි සමගිය වැඩි දියුණු කරන්නක් බව බොහෝ දෙනා පැවසූහ.