වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




රිදී තිරයේ අලුත්ම තරු යුගල පළමුවරට සරසවියට කතා කරයි

රිදී තිරයේ අලුත්ම තරු යුගල පළමුවරට සරසවියට කතා කරයි

මම කැමැති බිස්නස්වලට - අඛිල ධනුද්ධර
මම වෛද්‍යවරියක් වෙනවා - සෙනාලි ෆොන්සේකා

දෙවන පරාක්‍රමබාහු රජුගේ ළමා වියෙහි ඇසූ පිරූ රසවත් සන්ධිස්ථාන කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වෙමින් පවතින ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිරිපැරකුම්, හෙළ සිනමා වංශ කතාවට එකතු වන අලුත්ම, ඓතිහාසික කතා පුවතක් රැගත් චිත්‍රපටයයි. එහි පැරකුම් කුමරුගේ සහ ජනප්‍රවාදවලට අනුව ඔහුගේ පෙම්වතිය වූ සිරිමල් එතනා (පසුව පැරකුම් රජුගේ බිසව) ගේ චරිතයන්ට පණ පොවනු ලබන්නෙ සෝමේ විසින්ම සොයාගත් නවක නළු නිළි දෙපොළකි.

අඛිල ධනුද්ධර, සෙනාලි ෆොන්සේකා නමැති ඔවුන් කලාවට සබැඳී අතිශය ජනප්‍රිය පවුල් යුගළයක සාමාජිකයන් වෙති. කලාවට හිමි ලේ නෑකමක්, එයට බැඳුණු කුසලතාවයත් උපන් වත්කම් ලෙස රැගෙන තව නොබෝ දිනකින් රිදී තිරය ආක්‍රමණය කරන්නට සූදානම් වන අඛිල සහ සොනාලි සිංහල සිනමාව එකළු කරන්නට පියවර තබන අලුත්ම කතා නායකයින් දෙපොළයි. මේ ඒ තරු කැට යුවළ සමඟ කෙරෙන පළමු පුවත්පත් සාකච්ඡාවයි.

අඛිල ධනුද්ධර, ජැක්සන් ඇන්තනී සහ කුමාරි මුණසිංහ පවුලේ මද්දුමයායි. මව පියා, සහෝදරයා, සහෝදරිය කලාව ඔස්සේ බොහෝ දේ කළ ද, අඛිල ඔවුන් තරම් සක්‍රීය නොවූයේය. ඔහු පැරකුම් කුමරු වූයේ නොවලක්වා ගත හැකි ආරාධනාවක් මතය.

අඛිල, ඉහත කතාව තවදුරටත් විග්‍රහ කරකමින් මේ කතාව ආරම්භ කරමු?

පවුලේ හැමෝම කලාවේ යෙදුණට මගේ මාධ්‍ය කලාව නෙවෙයි. පොඩි කාලේ ඉඳලා මම ඕන වුණේ සල්ලි හම්බු කරන්න. හොඳ බිස්නස්කාරයකු වන්නයි සිහින මැව්වේ. මං හත වසරේ ඉඳලා සල්ලි හම්බු කළා. ඒ සුරතල් මසුන් විකුණලා. එහෙම කළේ වෙන දෙයක් හින්දා නෙවෙයි, බිස්නස් කිරීමේ ආසාවට. කාලයක් ගත වෙන කොට මං විවිධ අන්දමේ බිස්නස් කළා. කලාව ගැන හිතුවෙම නැහැ. අක්කගෙ වෙඩින් එක දවසේ මට අපූරු පුද්ගලයින් දෙදෙනෙකු මුණ ගැසෙනවා. ඒ ප්‍රසංග සහ තුසිත්. ඔවුන් තමයි වයිඩ් ඈන්ගල් ආයතනය පවත්වාගෙන යන්නේ සහ මියුසික් වීඩියෝ කරන්නේ. මගෙන් රඟපාමු ද ඇහැව්වා. මං ‘බැහැ’ කිව්වා. අයෙත් දවසක තාත්තාගෙනුත් මං ගැන අහලා තිබුණා.

ඔහුත් මට පෙරැත්ත කළා. ඕන දෙයක් වෙන්නැතැ කියලා මං එහි රඟපෑවා. ඒක තමයි රොමේෂ්ගේ දිගු දෑස වීඩියෝව. එයින් අනතුරුවවත් මට රංගනයට ඇල්මක් ඇති වූයේ නැහැ. ඊට පසුව මට ලැබුණු ඇරැයුම් ප්‍රතික්ෂේප කර කරයි මං හිටියේ. ඔය කාලේ සෝමේ මාමා සහ රේණු නැන්දා පැරකුම් කුමරුගේ චරිත රංගනයට අයකු හොය හොයා ඉඳලා තියනවා. මගේ රූප කාය ඔවුනගේ චරිතයට මනාව ගැළපිලා. පැරකුම් කුමරුට රඟපාන්න ඇරැයුමක් ලැබුණා. ඒක නම් මට කීයටවත් අහක දාන්න පුළුවන් වුණේ නැහැ. මන්ද යත් ඒ දෙපොළ ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ පැහැදිලි වෙනසක් කරපු දෙදෙනෙක්. ඒ් වගේම ඔවුන්ගේ චිත්‍රපටවල මුලින්ම රඟපාපු හැමෝම වගේ අද ඉතා ඉහළ තැන්වල ඉන්නවා. රංගනයට බැහැ බැහැ කිය කිය හිටපු මම මේ ආරාධනාවට එකඟ වූයේ මේ කාරණාව මත.

සිරිපැරකුම් ඓතිහාසික චරිතයක්. කොහොමද ඔබ එය වින්දේ?

දර්ශන තලයට ගියාට පසු මං අඛිල ධනුද්ධර නෙවෙයි, සිරිපැරකුම් කුමරු. හරියට ඉතිහාසයට ගියා වගේ. අනික මෙම චරිතය සෝමෙ මාමා ගොඩ නගලා තියෙන්නේ ජනප්‍රවාද ඇසුරෙන්. ඒක නිසා මට ද යම් යම් තැන්වලදී හැඟීම් ප්‍රකාශනයන් නිදහසේ ඉදිරිපත් කරන්න අවස්ථාව උදා වුණා. ඒ චරිතය කොච්චර මං වින්දාද කිව්වොත් ෂූටිං ඉවර වෙලා රජ ඇඳුම් ගලවන්න ලෝබ හිතුණා.

ඇතැමෙක් ඔබෙන් ජැක්සන් ඇන්තනීගේ රංගනයන් බලාපොත්තු වනවා?

ඔය ප්‍රශ්නය අහපු එක හොඳයි. මං වැඩ කළේ නිර්මාණයන් දෙකක පමණයි. ඒ දෙකේම සිටි සහ රූගත කිරීම් නරඹපු ගොඩක් දෙනෙක් මගෙන් බලාපොරොත්තු වුණේ ජැක්සන් ඇන්තනීගේ රංගනයන් තමයි. ඒක මට හරි මානසික පීඩනයක් වුණා. ෂූට් එක ඉවර වෙලා සමහරෙක් කිව්වා අයියෝ ඔයා තාත්තා වගේ නෙවේ රඟපාන්නෙ කියලා. ඇත්ත මං ජැක්සන් ඇන්තනී නෙවෙයි, ඔහුගේ පුතා අඛිල ධනුද්ධර. අඛිල රඟපාන්නේ අඛිලගේ සිස්ටම් එකට. කාලය ගතවෙනවාත් සමඟ ඇතැම් විට මට තාත්තගේ හැකියාවන්ට ළඟා වෙන්න පුළුවන් වේවි.

ජැක්සන් ඇන්තනීගේ පුතකු වීම නිසා ලද වාසි සහ අවාසි මොනවද?

පිළිගැනීමක් ලැබෙනවා සමාජයෙන්, ඒ වගේම තාත්තට බනින බැනුම්වල කොටසක් අපිටත් ලැබෙනවා ඉබේම. ඒවා තමයි වාසි හා අවාසි හැටියට මට දැනෙන්නේ.

ඇයි තාත්තට මිනිස්සු බනින්නේ?

පැහැදිලි ඊරිසියාව. ඔහුට පුළුවන් චතුරව මුල මැද අග සහිතව තැනකට ගියාම ක්ෂණිකව කතාවක් ඉදිරිපත් කරන්න. ඒක හැමෝටම බැහැ. බැරි අය තාත්තට බනිනවා, ඒ අතර ඉන්නවා අනිත් අය බනින නිසා බනින කට්ටිය. ඔවුන් අපේ තාත්තව දැකලාවත් නැතුව ඇති. ඒත් රැල්ලට ඔහේ බනිනවා.

දිගු දෑස වීඩියෝවේ ඔබ හඬන පෙම්වතෙක්. පෞරුෂයට හානියක් වුණා කියලා හිතෙන්නේ නැතිද?

කොහෙත්ම නැහැ. කොල්ලෙක් වුණත් සංවේදී මොහොතවල්වල අඬන්නට පුළුවනි. එක අතකින් මං සතුටු වෙනවා. මේ වීඩියෝවෙන් පසු කොල්ලො අඬන තවත් ගොඩක් වීඩියෝ බිහි වුණා.

අපි යළිත් සිරිපැරකුම් වෙත යොමු වුණොත්, දර්ශන තලයේ ගත කළ ජීවිතය කෙබඳු යැයි දැනගන්නට මා රිසියි?

සුන්දරයි. පළමු දින කිහිපය තුළ නම් එපා වුණා. හේතුව පාන්දර හතරට විතර අපිව දර්ශන තලයට ගෙනි යනවා. ආයෙත් රෑ වෙලා නවාතැනට යන්න කියනවා. මෙහෙම දවස් අටක් විතර වුණා. නවවැනි දවසෙයි මගේ දර්ශනයන් රූගත කළේ. ඒ වන කොට අපි සෙට් එකේ හැමෝම එක්ක මිතුරුයි. ඔවුන් ආගන්තුක නැහැ. සෝමේ මාමා අපිට පිරිස හුරු කරන්නයි පෙර දවස් කිහිපයේ අපිව ගෙනල්ලා තියෙන්නේ. බලන්න ඔහුගේ පරිකල්පනය. ඔහු තරම් රංගනය පිළිබඳ ගුරුවරයකු නැති තරම්. තක්සලාවක් බඳු වූ ඒ දර්ශන තලයෙන් මා උකහා ගත් දේ බොහොමයි.

මීපැණි මෙන් රසවත් මීවදයේ කතාව ආවර්ජනය නොකළොත් මහත් අඩුවක් නේද?

අපෝ . . . ඒක මීපැණි වගේ රසවත් නැහැ මට නම්. මමනේ ඒ අත්දැකීමට මුහුණ දුන්නේ. පැරකුම් කුමරු හීනෙන් දකිනවා ඔහුගේ කකුලේ මීයක් බඳිනවා. හීනයක් වුණත් ඇත්තට රූගත කරන්න එපායැ. ඔන්න තටු කපපු රජ මී මැස්සියක් ගෙනවිත් මගේ දකුණු කකුලේ කලවා හරියෙන් තිබ්බා. ටික වේලාවකට පසුව මෙන්න එතැන මීමැස්සෝ ඇවිත් මී වදයක් බඳිනවා. මට හෙල්ලෙන්නෙ නැතුව ඉන්න සහ මී මැස්සෝ ඇන්නොත් ඇන්න ගාන කියන්නේ නැතුව ඉන්න කියලා උපදෙස් එහෙමත් ලැබුණා. කියපු විදිහට මං උන්නා. වැඩේ හරි, හොඳම වැඩේ ඒක නෙවෙයි. සෝමෙ මාමට අවශ්‍ය වුණා මී වදය ටිකක් ඇවිස්සෙන්න. ඉතින් මට කකුල ටිකක් හොලවන්න කිව්වා. මං කකුල හෙලෙව්වා. මගේ අවේලාවට ද කොහෙද එතකොට රජ මී මැස්සි බිමට වැටුණා. ගණන් කර ගන්න බැරි තරමට මී මැස්සො ඇන්නා. වෙලාවට එදා තමයි රූගත කිරීමේ අවසන් දවස.

මේ දිනවල මොනවද ඔබේ අලුත් විස්තර?

ආයෙත් බිස්නස් වලට යොමු වුණා.

රංගනය ගැන පොඩි හෝ ඇල්මක් නැතිද ඇති වුණේ සිරිපැරකුම්වලින් පසුවවත්?

රංගනයට නෙවෙයි කලාවට කොහොමත් ඇල්මක් ඇති වුණා. ඉස්සර තරම් කැමරාව ඉස්සරහ ඉන්න සබකෝලයකුත් නැහැ දැන්. බිස්නස් කරලා සල්ලි හොයාගෙන ස්ථාවර වෙලා නිෂ්පාදනයක් කරන්න ආසයි.

කලාව අස්ථාවර බව ද ඔබ ඔය නොකියා කියන්නේ?

හොඳ කලාකරුකුට කලාවෙන් සල්ලි හොයන්න බැහැ. මගේ තාත්තා වුණත් එහෙමයි. හැමෝම හිතාගෙන හිටියට අපිට සල්ලි තියනවා කියලා, ඒක නෙවෙයි ඇත්ත. ඒකයි මං බිස්නස් කරන්නේ.

රංගන ශිල්පිනියකු වූ ඔබේ පෙම්වතියගේ විස්තර සඳහන් කරන්න කැමතිද?

අනිවාර්යයෙන්ම. ඇය අමන්දා නිලුක්ෂි. විසුල අහස යට ටෙලි නාට්‍යයේ ප්‍රධාන පෙම්වතියගේ චරිතය මැව්වේ ඇයයි. අපි දෙන්නට ගෙවල්වලින් ආශිර්වාදය ලැබිලා තියනවා. තවම මට අවුරුදු විසි පහක්වත් නැහැනේ. ඒක නිසා වසර ගණනාවකට ඉදිරියෙන් අපේ විවාහය සිදු වේවි.

**************************

අඛිලගෙන් පසුව අපි යොමු වන්නේ සොනාලි දෙසට.

සෙනාලි, ඔබට ඔබව හඳුන්වා දෙන්නට මම ඉඩ දෙනවා?

මගේ තාත්තා උපාලි ෆොන්සේකා. හෙළ නිළි රැජණ මාලිනී ෆොන්සේකා මගේ නැන්දා.

පුංචි කාලේ ඉඳලා කලාව අත්දකින්න ඇති?

ඔව්. අපේ පවුල්වල සාමාජිකයින් කලාවේ යෙදෙනවා දැකලයි මටත් කලාවට එන්න හිතුණේ. පුංචිම කාලේ පුංචි පැංචි සහ සමනල උයන වැඩසටහනහි ප්‍රසන්ට් කළා.

ඒ වකවානුවේ නේද බෝට්ටුවක ගිහින් පෙරලෙන්න ගියේ?

කළුතර පැත්තේ ගඟක තමයි ඔය වැඩේ සිද්ධ වුණේ. එදා පුංචි පැංචි වැඩසටහන ප්‍රසන්ට් කරන්න තිබුණේ බෝට්ටුවේ ඉන්න ගමන්. පුංචි වයසේ තිබුණු දඟකාරකමත් එක්ක දඟලලා බෝට්ටුව පෙරලෙන්න ගියා. ඒත් පෙරලුණේ නැහැ වාසනාවට.

වයස අවුරුදු නවයේදී ඔබ මේ සියල්ල දාලා එංගලන්තයට යනවා?

අධ්‍යාපන කටයුතුවලටයි එහෙම ගියේ. චෙස්ටර්ටන් කමියුනිටි කොලේජ් සහ ලෝංග් ප්‍රෝඩ් කොලේජ් යන විද්‍යාලවලින් අධ්‍යාපනය හැදෑරුවා.

එතකොට කොහොමද ඔබට සිරිපැරකුම්හි සිරිමල් එතනාගේ චරිතය ලැබෙන්නේ?

එහෙ හිටියත් කලාව අත හැරියේ නැහැ. නිවේදනයට වඩා රංගනයටයි එංගලන්තයේදී ඇල්මක් දැක් වූයේ. රඟපාන්න ලංකාවට එන්න ආසාවකින් පසු වුණත් අධ්‍යාපන කටයුතු නිසා එන්න බැරි වුණා. ඒ සිතුවිල්ල යටපත් කරගෙන ඉන්න කොට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ කුස පබා චිත්‍රපටයට අලුත් අයව ගන්නවා කියලා ‘සරසවිය’ පුවත්පතේ දැන්වීමක් දාලා තිබුණා. සෝමේ මාමත්, රේණු නැන්දත් එයට සම්බන්ධ වෙලා හිටියනේ. සම්මුඛ පරීක්ෂණයට යන්න වුණේ ඔවුන් දෙපොළ ගාවට. මාව දැකලා ඔවුනට කුස පබා චිත්‍රපටයේ චරිතයක් දෙන්න බැහැ කිව්වා.

ඒ මොකද?

කුස පබා හී ප්‍රධාන නළු නිළියන් ඒ වන විට තෝරා අවසන්. මාව ප්‍රධාන චරිතයක් ලබාදී චිත්‍රපටයකට ගන්නවා මිසක, සුළු චරිතයක් දෙන්න අකමැති වුණා. ඒකයි එහෙම කිව්වේ. ඊළඟට ඔවුන් කරන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගන්න පොරොන්දුවක් දුන්නා. ඒක තමයි මේ ඉටු කළේ.

එදා ඔබ ඔබව හඳුන්වා දී පබාවතියගේ චරිතය ඉල්ලන්න තිබුණනේ?

පබාවතිය මට හරි යන්නේ නැහැ. ඇය මට වඩා ගොඩක් ලස්සනයි. පූජා අක්කටම තමයි පබාවතිය ගැළපෙන්නේ.

ජලයෙන් ඔබට හරි අපලයි නේද? එදා බෝට්ටුව පෙරලෙන්න ගියා. මෙදා සිරිපැරකුම්හි සැඩ පහරකට ගසාගෙන යන්න ගියා?

ඒක නම් ඇත්ත. හැබැයි වාසනාව තියෙන නිසා බේරුණා. සිරිමල් එතනාව සැඩ පහරට ගසාගෙන යන සීන් එකක් තියනවා. සෝමෙ මාමා කිව්වා මං වෙනුවට පණ නැති ආදේශකයක් (ඩමියක්) ගමු කියලා. මගේ තියෙන ආසාවට ඒක මමම කරන්නම් කිව්වා. හොඳට රූගත කිරීම කෙරුණා. තව පොඩ්ඩෙන් ඇත්තටම ගසාගෙන යනවා.

ඔබ රංගනයට පැමිණි වග දැනගත්තම නැන්දා මොනවද කිව්වේ?

දුන්නේ එකම අවවාදය මේකයි. ‘අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් වැඩ කරන්න’ මං ඒක හිස මුදුනින්ම පිළිගන්නවා.

ඇයගේ චිත්‍රපටවලින් ඔබ වඩාත්ම ප්‍රිය කරන්නේ?

නිධානයට. එහි ඇය පෑ දස්කම් කිසිවෙකුට සම කරන්නට බැහැ.

ඔබට ඇයි එස්. එෆ්. කියන්නේ?

මගේ නම කෙටි කරලා. සමහර අය කතා කරන්නේ එහෙම.

ඒකද ඔබේ පෙට් නේම් එක?

ඒකත් එකක්. මගේ නම මැද කෝෂිලා කියලා කෑල්ලකුත් තියනවා. එක නිසා කෝෂි කියනවා, සෙනු කියනවා, සෙනා කියනවා. මේවා තමයි මගෙ පෙට් නේම්.

දැන් වයස කීයද?

විස්සයි. මගේ උපන් දිනය 1992. 09. 18.

මං හිතන්නේ ඔබ තවමත් ප්‍රේමවන්තියක් නෙවෙයි?

හරියට හරි.

ඔබ හොයන්නේ මොන වගේ ප්‍රේමවන්තයෙක්ද?

වැදගත් දේ කරන වැදගත් දේ හිතන මට ආදරෙන් ඉන්න කෙනෙක්.

රංගනයෙන් ඉදිරියට යන්න ද හිතාගෙන ඉන්නේ?

මට එංගලන්තයේ පුරවැසිභාවය තියනවා. එහිදී විශ්ව විද්‍යාලයට ගිහින් වෛද්‍යවරියකු වන්නයි හිතාගෙන ඉන්නේ. ඊට පසුව ලංකාවට ඇවිත් රඟපානවා.

ඔබ වසර එකොළහක් හිටියේ එංගලන්තයේ. වැඩිපුරම කතා කරන්න ඇත්තෙත් ඉංග්‍රීසි. එහෙව් තත්ත්වයක් මත සිංහල දෙබස් පවසන්න අපහසුවක් වූයේ නැතිද?

මට හොඳට සිංහල පුළුවන්. මෙහෙ ඇවිත් ඉංග්‍රීසියෙන් කතා කළේම නැහැ කොහේ හිටියත් මගේ මවු බස මට වතුර වගේ.

ඔබ ගැන කෙටියන් හඳුන්වන්න?

හරිම සැහැල්ලු කෙනෙක්.

කාටද තුති පුදන්න තියෙන්නේ?

සෝමෙ මාමා, රේණු නැන්දා සහ සිරිපැරකුම් හි සියලුම පිරිවර, මගේ මාමා නාට්‍යවේදී අශෝක සෙනරත් මුදලිගේ, අඛිල ධනුද්ධර, ඒ වගේම මගේ ආදරණීය මව්පියන්ට

රජ තුන්කට්ටුව

මෙහි සිටින්නේ සිංහල සිනමාවෙහි රජවරු තිදෙනෙකි. ඔවුන් එකම පවුලේ සාමාජියන් වීම විශේෂත්වයකි. ජැක්සන් ඇන්තනී මේ තුන් කට්ටුවෙන් ජ්‍යෙෂ්ඨතම රජතුමාය. ඔහු කුස පබාහි කුස රජ්ජුරුවන් ලෙස අපූරු රංගනයක යෙදුණේය. ජැක්සන්ගේ බාල පුතු සජිත අනුත්තරය. ඔහු ජැක්සන්ගේම අධ්‍යක්ෂණයක් වූ අබා සිනමා සිතුවමෙහි අබා කුමරු වී අප පින වීය. සජිතගේ වැඩිමහළු සහෝදරයා අඛිල. ඔහු රජ වූයේ සිරිපැරකුම්හි පැරකුම් කුමරු වෙමිනි. එකම පවුලකින් මෙවැනි රජවරු තිදෙනෙකු බිහි වීම ඉතාම විරළ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

මෙවර සරසවිය කවරය සරන්නේ ද ඔවුන් තිදෙනාය.