වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියට පැමිණ අහම්බෙන් නිළියක වූවා

සරසවියට පැමිණ අහම්බෙන් නිළියක වූවා

විවේකා සමරසිංහ
 

හින්දි බසින් සරසවිය බැබළ වූ පුවත්පත් කලාවේදිනිය

පසුගිය සතියෙන්...

මේ අවධිය වන විට ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ වූයේ බී. එස්. එච්. ජයවර්ධන මහතාය. දෙවන වර ලේක්හවුස් පැමිණීමත් සමඟ පුවත්පත් කළමනාකරණ අංශයේ සහය කළමනාකරණ නිලධාරිනියක ලෙස සේවය කිරීමට ලැබිණි. එහි ප්‍රධානියා වූයේ ධර්මසිරි ගමගේ මහතාය.

මාස කීපයක් ගිය පසු ජයවර්ධන මහතා ඔබ වඩාත් සුදුසු හිටිය තැනට යැයි පවසා මා නැවතත් සරසවියට අනුයුක්ත කරනු ලැබිණි. එය මගේ දෙවන සරසවිය සම්ප්‍රාප්තියයි. ඒ වන විට සරසවිය කර්තෘවරයා වූයේ ඒ. ඩී. රන්ජිත් කුමාරය. මා දෙවන වර සරසවියට එන විට එවකට ඩේලිනිව්ස් පුවත්පතේ විදෙස් ප්‍රවෘත්ති කතුවරයා වූ රෝහණ ආරියරත්න මහතා සරසවියට හින්දි නළු නිළියන් ගැන ලිපි සම්පාදනය කරමින් සිටියේය.

මගේ පැමිණීමත් සමඟ හින්දි නළු නිළියන් පිළිබඳ ලිපි මට පැවරිණ. ඒ වන විට ලතා බොතේජු, දීප්ති ෆොන්සේකා, නෙළුම් විමලරත්න, අරුණ ගුණරත්න, කැමිලස් පෙරේරා, සුනිල් හොරේෂස්, සුසිල් ජිනප්‍රිය, සුසිල් ගුණරත්න, ගීෂා මුණසිංහ ආදීන් සරසවියේ වූහ.

මා ලේක්හවුස් ඒමටත් පෙර සිට සරසවියට ලියූ බව කීමට අමතක විය. විශ්වවිද්‍යාලයේදී ඒ සඳහා මට උපදෙස් දෙනු ලැබුවේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාය. මගේ හින්දි දැනුම ගැන දැන සිටි ඔහු හින්දි ගී පරිවර්තනය කොට සරසවියට යවන ලෙස පැවසුවේය. මගේ මුල්ම ලිපි පත්තරයේ පළ වී තිබුණේ එලෙසිනි.

කෙසේ වුවත් මා මුල්වරට සරසවිය සම්මාන උළෙලක් නැරැඹුවේ ජනතා පත්තරයේ සිටින කාලයේදීය. එවක ජනප්‍රිය නළුවා, නිළිය තේරීමේ කූපනය පළ වූයේ ජනතා පත්තරයේය. සරසවිය හා සුහදව කටයුතු කළ ජනතා කර්තෘ මණ්ඩලයට ද සම්මාන රාත්‍රිය නැරැඹීම සඳහා ආරාධනා පත්‍ර ලැබිණි. මට එවැන්නක් නැරැඹීමට මුලින්ම ආරාධනා පතක් දුන්නේ සුනිල් මාධව ප්‍රේමතිලක මහතාය. විවේකා බී. එම්. අයි. සී. එච්. ගිහින් රඟල වයල ගයල සම්මාන ගන්න හැටි බලාගන්න. තම ඇරැයුම්පත සුනිල් මා අත තැබුවේ එහෙම කියමිනි.

චිත්‍රපට සතිය පුරාවට දකින්න තිබුණේ නළු නිළියන් හා කතාබස් කරන්නට, ඔවුන් සැබවින් දැකගන්න, ඔවුන් සමඟ චිත්‍රපට නරඹන්නට. පේ‍්‍රක්ෂකයන් පොර කෑ සිද්ධීන් ද විය. චිත්‍රපට සතිය පැවැත්වෙන රීගල් සිනමාහල අවට පාරවල් පුරා සෙනඟ පිරීම ඒ සතිය පුරාම සුලබ දර්ශනයක් විය.

භාරත දේශයේ මෙගා තරුව අමිතාබ් බච්චන්
ලංකාවට පැමිණි දා විවේකා සමරසිංහ සමඟ

මුලින්ම මා සරසවිය සම්මාන උළෙලක් නැරැඹූ දිනය ද හරිම සුන්දරය. මා ඇන්දේ මට තිබූ අගනාම සාරියයි. නළු නිළියන් වටිනා ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී සම්මාන උළෙලට පැමිණෙන අයුරු මම බලා සිටියෙමි. ක්ලැරිස් ද සිල්වා රනින් සැරැසී මා අසුන්ගෙන සිටි ස්ථානයට කිට්ටුවම වාඩි වූ අයුරු මට මතකය. සම්මාන උළෙලේ විචිත්‍රත්වයටත් වඩා මා එදා රස වින්දේ නිළියන් ඇඳ පැළද සිටි ඇඳුම් ආයිත්තම් දැකීමෙන්ය.

මා සරසවියේ දෙවන වර කටයුතු කළ අවධියේ රංජිත් මා කවරෙකුට හෝ හඳුන්වා දීමේදී මගේ පරම්පරාවේ සියලු දෙනා ගැනම හඳුන්වාදීමක් කිරීමේ පුරුද්දක් තිබිණි. එය ඔහු විහිළුවට මෙන් කියුව ද ඒ පවසන සියල්ලම සත්‍ය විය. ඒ හැඳින්වීම අවසාන කරනුයේ මේ අපේ සරසවියේ හින්දි රැජන කියාය. විටෙක ඔහු සරසවියේ ලියූ ලිපියක ද මා ගැන ලියා තිබුණේ මේ අපේ හින්දි රැජන කියාය.

ඒ අවධියේ මට අහම්බෙන් මෙන් නිළියක් වීමේ භාග්‍යය ද උදා විය. ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයේ දර්ශනයක් සරසවිය කර්තෘ මණ්ඩලයේ රූගත කෙරුණි. එහිදී හදිසියේ සරසවියේ දුරකථනය නාදවීමට පටන් ගත් හෙයින් මම එය ගැනීමට ගියේ කාගේවත් උපදෙසකට නොවේ. ඒත් ඒ මොහොතේ දර්ශනයක් රූ ගැන්වෙමින් තිබූ හෙයින් මා නොදැනුවත්වම කළ දුරකථනයට පිළිතුරු දීම ද චිත්‍රපටයේ සටහන් වී තිබුණි. සරසවිය පත්තරය නිසාම මම අහම්බෙන් නිළියක් ද වූයේ ඒ අයුරුණි.

94’ දී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සරසවිය මුල් පුටුවට පත්වීමත් සමඟ මා තුළ තිබූ හින්දි දැනුමෙන් උපරිම ප්‍රයෝජන ගැනිණි. රට තුළ ද හින්දි රැල්ලක් වර්ධනය වන අවධියක පැරැණි හින්දි නළු නිළියන් පිළිබඳ ලිපි, හින්දි සිනමාවේ අලුත් තොරතුරු, ජනප්‍රිය හින්දි ගීත ආදිය මා ලවා සරසවියට එක්කර ගැනිණි. කුරුවිට බණ්ඩාර මහතා කර්තෘත්වය දරණ අවධියේ මා හට භාරතයේ සුපිරි නළු නිළියන් හමුවී සාකච්ඡා පවා සිදු කිරීමේ දුර්ලභ අවස්ථාවන් ද උදා විය. අමිතාබ් බච්චන්, තනුජා, හරිහරන්, පීටර් ලූපස්, මන්දිරා බේඩි, රවීනා තන්ඩන්, ජෝන් ඒබ්‍රහම් ලංකාවට පැමිණි මොහොතේ සරසවිය වෙනුවෙන් ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීම මා හට භාර කෙරුණි.

භාරත සිනමාවේ ආකර්ෂණීය නළු ජෝන් ඒබ්‍රහම් ලංකාවට පැමිණි දා විවේකා සමරසිංහ සමඟ

මෙරටට පැමිණි භාරතීය නළු නිළියන් සියල්ලන් සමඟ මා පුවත්පත් සාකච්ඡා පැවැත් වූයේ හින්දි භාෂාවෙනි. මම ඔවුන්ගේම භාෂාවෙන් ඇමතීම ගැන ඔවුන් ද පුදුම වූ අවස්ථාද තිබිණි. තමන්ගේ මව් භාෂාවෙන් විජාතිකයකු කතාබස් කිරීම පිළිබඳ පැහැදුනු ඔවුන් මා සමඟ දීර්ඝ වශයෙන් කතාබස් කළේ බොහොම මිත්‍රශීලීවය.

ජෝන් ඒබ්‍රහම් ලංකාවට පැමිණි දා මා ඔහු සමඟ සාකච්ඡාවට ගියේ ඔහු පිළිබඳ ඒ සතියේ සරසවියේ පළ වී තිබූ ලිපිය ද රැගෙනය. එය දුටු ජෝන් ඒබ්‍රහම් මහත් සතුටට පත් වී ඔහුගේ අත්සන සරසවියේ සටහන් කෙරුණේ සමරු සටහනක් ලෙසිනි. එදා මට ජෝන් ඒබ්‍රහම්ගෙන් ඔහුගේ අත්සන සහිත කැප් එකක් තෑගි කළේය. භාරත තරු අතරින් මා පැවැත් වූ සම්මුඛ සාකච්ඡා අතරින් කිසි දිනෙක අමතක නොවන හමුව සිදු වූයේ අමිතාබ් බච්චන් හා පැවති සාකච්ඡාවය.

අමිතාබ් බච්චන් හා පැවැති පුවත්පත් සාකච්ඡාව සූදානම් කර තිබුණේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේය. එම සාකච්ඡාව සඳහා විශේෂ ආරාධනා පත්‍රයක් සරසවිය කර්තෘට ලැබිණි. කුරුවිට බණ්ඩාරයන් එය මා වෙත පැවරුවේය. බච්චන් සමඟ ඔහුගේ ආරක්ෂාවට නිලධාරීන් දහයක් පහළොවක් පමණ ද ඉන්දියාවේ සිට පැමිණ තිබිණි. මෙරට ආරක්ෂක අංශ ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබිණි. මේ නිසා එම සාකච්ඡාවට සහභාගි වන සියලු මාධ්‍යවේදීන් ප්‍රවෘත්ති අමාත්‍යාංශයට රැගෙන ගොස් පරීක්ෂාවට ලක්කර එතැන් සිට විශේෂ බස් රථයකින් ටාජ් හෝටලයට කැඳවාගෙන ගියහ. පුවත්පත් සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී එරික් ප්‍රනාන්දුය. බච්චන්ගෙන් ප්‍රශ්න ඇසීමට මාධ්‍ය සඳහා විනාඩි විස්සක් වෙන් කෙරිණි.

මුලු ශාලාව පුරාම නිහඬතාවයක් ඇති විය. මම හින්දියෙන්ම බච්චන් වෙත මුල්ම ප්‍රශ්නය යොමු කළෙමි. හින්දි භාෂාවෙන් ප්‍රශ්නයක් ඇසීම ගැන බච්චන් ද පුදුම විය. එහි සිටි අන් අයට මා හින්දියෙන් ඇසූ ප්‍රශ්නය නොතේරුණ හෙයින් සාකච්ඡාව මෙහෙය වූ එරික් ඉංග්‍රිසි භාෂාවෙන් බච්චන් අමතා මා ඇසූ ප්‍රශ්නය ගැන විමසීමක් ද කළේය. ඒ අතරේ කීප දෙනෙක්ම ඉංග්‍රිසි භාෂාවෙන් බච්චන්ට ප්‍රශ්න යොමු කෙරිණි. මම දිගටම හින්දියෙන් සාකච්ඡාව කරගෙන ගියෙමි. ඒ වන විට නියමිත කාලය ද අවසන්ය. බච්චන්ගේ පියා ගැන ප්‍රශ්නයක් මම යොමු කළෙමි. එවැන්නකට මා යොමු වූයේ බච්චන් පියාට වඩාත් ආදරය කළ බව මා අසා තිබූ නිසාය. මගේ උත්සාහය නිවැරැදිය. බච්චන් තව තවත් මාත් සමඟ සුහදව කතා කිරීම ඇරැඹුවේ කාල වේලාව ද ඉක්මවා යන බැව් නොසිතාය.

විවේකා සරසවියේ පළ වූ ලිපියක් ජෝන් ඒබ්‍රහම්ට පෙන්වමින්

අමිතාබ් බච්චන් හා පැවැති පුවත්පත් සාකච්ඡාවෙන් පසු මගේ මතකය අතීතයට දිව ගියේ අනාගත කියමනක් සිහිපත් කරමිනි. මුල්වරට ජනතා පත්තරයට පත්වීම ලැබ පැමිණි අවධියේ එවක ජනතා පත්තරයේ කර්තෘ මණ්ඩලයේ සිටි අශෝක ගුණතිලක මහතා මගේ හින්දි භාෂා දැනුම ගැන අසා මෙවැන්නක් පැවසුවේය.

අමිතාබ් බච්චන් ලංකාවට ආවොත් ඔබට හින්දියෙන් ඔහුත් සමඟ කතා කරන්න පුළුවන් ද? මා ඒ ප්‍රශ්නයට ඔහුට කිව්වේ ඔව් කියා පමණි. බච්චන් හමු වන විට මා වෙනත් පුවත්පතක සේවය කළ ද මට ඒ අතීතය සිහිපත් විය.

සුසිල් ගුණරත්න, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල වැනි මා මිත්‍ර කර්තෘවරුන් සමඟ ද මට සරසවියේ දීර්ඝ කාලයක් සේවය කිරිමට ලැබිණි. මාගේ පුවත්පත් කලා ජීවිතයේ සිත් වේදනා මෙන්ම හිත් අමනාපකම් ද සිදු නොවූණා නොවේ. පුවත්පත් කලාවේදිනියක් වීම ගැන මා හද පත්ලෙන් සතුටු වුණෙමි. ප්‍රවීණ පුවත්පත් කාලවේදීන් රැසකගේ ආභාෂය මම ලබන්නට වාසනාවන්ත වීම ගැන ද මම නිහතමානීව සතුටු වුණෙමි.

විවේකා, භාරතයේ සුරුපී නිළි රවීනා තන්ඩන් සමඟ, එවකට සරසවියේ සිටි නෙළුම් විමලරත්න පසෙකින්

මෙම වෘත්තියට මා වඩාත් ගෞරවය කරමි. ඒ ගෞරවය නිසාම මම කිසි දිනෙක මගේ රැකියාව මොන යම් හෝ මගේ පුද්ගලික වාසියකට හරවා නොගත්තෙමි. මුකේෂ් නොමියන ගීත, මහා භාරත කවියෝ, රාඛී ආදී කෘති එළි දක්වා තිබීමත් සංවර්ධනය සහ සන්නිිවේදන සමීක්ෂණ, ඉංග්‍රිසි සිංහල හින්දි ශබ්ද කෝෂය ආදී කෘති එළි දැක්වීමට මට හැකි වීම මා පුවත්පත් කලාවේ ලැබූ ශක්තිය එක්තැන්වීමකි.

පුවත්පත් කලාවේදිනියක ලෙසින් වැඩි කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඳෙමින් මගේ ඥානය පාඨකයන්ට තිළිණ කිරීමට මට යෝධ පාලමක් වූ සරසවිය පුවත්පතට මා සදා ණය ගැතිය. සරසවිය නිසා මගේ ජීවිතයට ලැබූ සතුට, දැනුම අපමණය. මා යම් සමාජ තත්ත්වයක් ජීවිතයට එක්කර ගත්තා නම් ඒ සරසවියට, ලේක්හවුස් ආයතනයට පින් සිදුවන්නටය. මා තුළ ඒ තිබෙන ළෙන්ගතු ගෞරවය කෙතරම් ද යත් මා විශ්‍රාමික සුවයෙන් කල්ගත කරද්දී වෙනත් ආයතනවලින් ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කළේ ලේක්හවුස් ආයතනයටත්, සරසවියටත් මා තුළ තිබෙන අපරිමිත ගෞරවය නිසාය.