වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අමෙරිකාව ‘නිධානය’ ගොඩ ගනී සොයා ගත්තේ ඉන්දියාවෙන්

අමෙරිකාව ‘නිධානය’ ගොඩ ගනී සොයා ගත්තේ ඉන්දියාවෙන්
 

මෙරට බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ නිධානය බව අවිවාදිත කරුණකි. එහි විශිෂ්ටත්වයට ළඟාවීමට මෙතෙක් කිසිදු චිත්‍රපටයක් නිර්මාණය වී නොමැති වග ද පොදු මතයකි. එහෙත් එවන් අමිල වූ අගයකින් යුතු නිධානයෙහි කිසිදු පිටපතක් නොමැති වීම එම චිත්‍රපටය නැරැඹූ නොරැඹූ කොයි කාගෙත් කණගාටුවට හේතු විය. පුළුස්සා විනාශ වූ නිධානය යළි දැක ගැනීමේ භාග්‍ය තව නොබෝ දිනකින් උදාවීමට නියමිතය. ඒ බව අප දන්වන්නේ ඉතාම සතුටිනි. නැති වූ නිධානය නැවත සොයා ගැනීමේ කතා පුවත මෙසේය.

රවීන්ද්‍ර රන්දෙණියගේ සභාපතිත්වයෙන් යුතු ද ෆිල්ම් ටීම් ආයතනයට සබඳකම් ඇති ඉන්දියාවේ ඩුන්ගාර් ෆූර් නම් වූ නිෂ්පාදන ආයතනයක් තිබේ. එහි සභාපති සිවෙන්ද්‍ර සිං මහතා ඉකුත් දිනෙක ද ෆිල්ම් ටීම් හි මැදිහත්වීම මත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ව මුණ ගැසිණ. එම දෙපාර්ශවයේ සාකච්ඡාව අවසන් වූයේ නිධානය යළි සොයාදීමේ පොරොන්දුව සිං මහතා ලබාදීමෙනි. ඔහු එය පිළිබඳ හොලිවුඩ් හී ‘වර්ල්ඩ් ෆිල්ම් ෆවුන්ඩේෂන්’ ආයතනයට දැන්වීය.

ලාබ නොතකා ලොව විශිෂ්ටම සිනමා කෘතීන් සංරක්ෂණය කරන මෙහි ප්‍රධානියා ලෙස හොලිවුඩයේ සම්භාවනීය චිත්‍රපට අධ්‍යක්ෂ මාර්ටින් ස්කොර්සේසෙ කටයුතු කරයි. ඔවුන්ගේ අධීක්ෂණයෙන් යුත් නිලධාරි මඬුල්ලක් මෙරටට පැමිණ එහි විශිෂ්ටත්වය ගැන දැනුවත් වී නිධානය සෙවීමට පටන් ගත්තේය. දැඩි පරිශ්‍රමයකින් පසු උත්සාහය සාර්ථක වූයේ ඉන්දියාවේ පූණා හි සංරක්ෂණාගාරයක එහි අනු නෙගටිව් පටයක් සොයා ගැනීමෙනි. එතුළ මුළු නිධානයම අඩුවක් නොවී තිබිණ.

මේ වන විට එය මෙරටට ගෙන ඒමේ සාකච්ඡාවක නියැලෙමින් සිටින බව රවීන්ද්‍ර රන්දෙණිය පවසා සිටියි. චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අනු දැනුම යටතේ කෙටි කාලයක් අතරතුර නිධානය මෙරටදී ආයෙත් දැක ගැනීමට හැකි වන බව ඔහු හදපිරි සතුටින් වැඩිදුරටත් දන්වා සිටියි.

හෙට සිට වැඩිම සිනමා ශාලා හී තිරගත වන අශෝක හඳගමගේ ‘ඉනි අවන්’

අපේ දෙමල සිනමාවට අවුරුදු 50යි

ලාංකේය දෙමල සිනමාවට වසර පනහක් පිරෙද්දී අශෝක හඳගම දෙමල බසින් මෙරට නළු නිළියන් යොදා නිර්මාණය කළ ඔහුගේ නවතම සිනමා කෘතිය ‘ඉනි අවන්’ මෙම මස 21 එනම් හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන් හී තිරගත වේ. මෙරට වැඩිම සිනමාහල් සංඛ්‍යාවකදී ප්‍රදර්ශනය වන දෙමල චිත්‍රපටය වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

හඳගමගේ සයවැනි සිනමාපටය වන ඉනි අවන් යුදධයෙන් පසු ඒ ඒ ප්‍රදේශයන්හී වෙසෙන ජනතාව තම තමන්ගේ ජීවිතය සොයා යාම විග්‍රහ කෙරෙන්නකි.

දර්ශන් ධර්මරාජ්, මැල්කම් මචාඩෝ සමඟ රිදී තිරයට ආගන්තුක නිරංජනී සම්මුඛරාජා, සුභාෂිනි ඇතුළු රැසක් රංගගනයෙන් දායක වන මෙය හඳගමගේ සිනමා ගමනේ නව ආරක් බැව් විචාරකයන් පවසති.

චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන්, කපිල පූගලආරච්චි සංගීතයෙන් එක්වන ඉනි අවන් අජිත් රාමනායකගේ සංස්කරණයකි. දමින්ද ඩී. මඩවල ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා ලෙස ද, අමල් අල්විස්, ධර්මලිංගම් සහ වතීෂ වරුණන් සෙසු සහාය අධ්‍යක්ෂවරු වශයෙන් ද මෙම සිනමා කෘතිය රිදී තිරයට ගෙන ඒමට සහාය වී තිබේ.

අහුබුදු රචිත ගීත පදනමට එවන්න

කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන් විසින් රචිත සියලු ගීත එකතු කිරීමට අරිසෙන් අහුබුදු පදනම කටයුතු කොට ඇත. එබැවින් ඔහු විසින් රචිත විශේෂයෙන් පාසල් ගී ආයතන ගී හෝ වෙනත් දුර්ලභ ගීීත ඇත්නම් අරිසෙන් අහුබුදු පදනම 140/40 කලාපුර, ගල්කිස්ස යන ලිපිනයට ගෙනවිත් භාර දෙන්න යැයි එම පදනම ඉල්ලීමක් කරයි.

වැඩි විස්තර 0770264514 දුරකතන අංකයෙන් ලබාගත හැකිය.

‘ජීවිතය ලස්සනයි’ 21 දා සිට එම්. පී. අයි.මණ්ඩලයේ

සුනිල් ටී නිෂ්පාදනයක්

සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් පණස් තුන්වැනි සිනමා නිෂ්පාදනය ‘ජීවිතය ලස්සනයි’ මෙම මස 21 වැනිදා එනම් හෙට සිට රිකී, රිට්ස් ඇතුළු එම්. පී. අයි මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීම ඇරැඹේ. මෙය සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි.

රොබින් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ, ඇන්ටන් ජූඩ්, විල්සන් ගුණරත්න, සහන් විජේසිංහ, ප්‍රේමදාස විතානගේ, වසන්ත කුමාරවිල, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, ටිරෝන් මයිකල්, චතුර පෙරේරා, විනෝජා නිලන්ති, කුසුම් පෙරේරා, කපිල සිගේරා, රුවන්ගි රත්නායක, මහේෂි මධුසංඛා, මේනකා මධුවන්ති, නෙතු ප්‍රියංගිකා, ඉමල්ශා මධුශානි ජීවිතය ලස්සනයි රංගනයෙන් හැඩ කරයි.

ගාමිණී මොරගොල්ලාගමගේ ගේ කැමරා අධ්‍යක්ෂණයකි. සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය කුමාරසිරි ද සිල්වාගෙනි. කලා අධ්‍යක්ෂණයෙන් ලසන්ත ද අල්විස් ද, අංග රචනයෙන් සරත් රණවීර ද, සටන් අධ්‍යක්ෂණයෙන් ටිරෝන් මයිකල් ද, ඇඳුම් නිර්මාණයෙන් භානු කරුණානායක ද, සංගීත අධ්‍යක්ෂණයෙන් අසේල ඉන්ද්‍රලාල් ද එක්වෙති.

සංඛ අබේසිංහ නැටුම් අධ්‍යක්ෂවරයා වේ.

සිහිනයක් වෙලා’ එළි දකී

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන් වූ කල්‍යාණ චන්ද්‍රසේකරගේ නවතම ඩී. වී. ඩී. චිත්‍රපටය ‘සිහිනයක් වෙලා’ එළි දැක ඇත.

තරුණ සේවා සභාවෙන් සොයා ගත් නවක රංගන ශිල්පීන් යුවළක් වන ඇන්ටන් ශ්‍රියාන් සමඟ දුෂාන්ති මදන් ප්‍රධාන චරිත මවන මෙහි රුවන් අමරසූරිය, තුළිත වෙද්‍යසේකර, සඳරේඛා වීරසිංහ, ෂහිඩා චිත්‍රාගංනී, භාතිය මදනායක, නාලක පෙරේරා, සුනෙත් මැල්සිරිපුර, ප්‍රින්ස්ලි වික්‍රමනායක සෙසු චරිත රංගනයෙන් දායකත්ය සපයති.

අනුර සෝමසිරිගේ කැමරාකරණයකි. රංජිත් දේවනාරායන කලා අධ්‍යක්ෂවරයාය. අංග රචනයෙන් ශ්‍රීලාල් හේමන්ත එක් වෙති. දුමින්ද ප්‍රේමතිලක සංස්කරණයෙන් ද, නිහාල් ගම්හේවා ගීත රචනයෙන් ද දායක වී ඇති සිහිනයක් වෙලා හී තිර රචනය භාතිය මදනායක සමඟ කල්‍යාණ චන්ද්‍රසේකරගෙනි.

‘සිහිනයක් වෙලා’ ප්‍රින්ස්ලි වික්‍රමනායකගේ නිෂ්පාදනයකි.

‘පිපෙන කුසුම්’ 23 දා ස්වර්ණවාහිනියේ

කුමාරසිරි අබේකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු ‘පිපෙන කුසුම්’ ඒකාංගික නත්තල් නාට්‍යය මෙම මස 23 වැනිදා ඉරුදින රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වේ.

නිමල් පල්ලෙවත්ත, පවිත්‍රා වික්‍රමසිංහ, සමදරා ආරියවංශ, ආර්. එම්. එස්. බණ්ඩාර, ලක්ෂ්මන් ජයකොඩි සමඟ සචිනි ඉමේෂා රූපසිංහ, කවිෂ්ක කරුණාරත්න, රිදමි පේෂලා දහනායක යන ළමා නළුවන් පිපෙන කුසුම් රංගනයෙන් විචිත්‍රණය කරති. රූපවාහිනී රචනය ලක්ෂ්මන් දේවසුන්දරගෙනි. ආනන්ද ලොරෙන්සුහේවා තේමා ගීතය රචනා කොට ඇති අතර ගායනය චලනි ඈන් ප්‍රනාන්දු විසිනි.

කැමරාකරණයෙන් රංජන් සෙනෙවිරත්න ද, සංස්කරණයෙන් දමිත් එරන්ද සිල්වා ද මේ සඳහා දායක වී ඇත.