වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




කරාටේ පන්තියකින් ටෙඩීට අභියෝගයක්

කරාටේ පන්තියකින් ටෙඩීට අභියෝගයක්

චිත්‍රපට පන්සිය තිස් අටක ඇඟ කිළිපොලන කතාන්දර

විජයත් එක්ක සටන් කරන්න හරිම ලේසියි

සටන් නළුවන්ට රක්ෂණයක් ඕනෑ

සිංහල සිනමා ඉතිහාසයේ චිත්‍රපට පන්සිය තිස් අටක රඟපෑ නළුවකු ඇත්නම් ඒ ඔහු පමණි. ඇතැම් විට එය ලෝක වාර්තාවක් වන්නට ද පුළුවන. එමෙන්ම සිනමාව වෙනුවෙන් ඔහු තරම් අත පය බිඳගත් අයකු සොයා ගැනීමට අපහසුය.

සිනමාවට පණ මෙන් ආදරය කරමින් එකී මාධ්‍ය තුළ ද ඉන් පරිබාහිරව පුංචි තිරයේ ද රංගන ශිල්පියකු, දක්ෂ සටන් අධ්‍යක්ෂවරයකු ලෙස පුරා වසර තිස් පහක් අප ත්‍රාසයට, භීතියට පත් කළ ඔහු නමින් ටෙඩී විද්‍යාලංකාරය.

ඉතින් ටෙඩී අයියේ? කොහොමද වාසෙ දේසේ?

සිද්ධාර්ථ, සිරි දළදාගමනය, යාළු වැනි චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කළා. සිරි දළඳාගමනයේ නම් දන්ත කුමාරයාගේ සෙනෙවියකුට රඟපෑවා. ඕවා තමයි රංගන ජීවිතයේ අලුත් තොරතුරු.

ඔබට වැඩිපුරම කරන්න ලැබුණෙ රංගනයට වඩා සටන් අධ්‍යක්ෂණය?

ඔව්. මං ඒකට ප්‍රියයි. සටන් අධ්‍යක්ෂණය හැමෝටම කරන්න බැහැ. ලොකු සටනක් නම් තිහක් හතළිහක් විතර ඉන්නවා. ඒ අයව මනාව පාලනය කරන්නත් ඕනේ. කොහොම හරි ඒ කටයුතු කරන කොට රංගනයට වෙලාවක් නැති තරම්. ඒ වුණත් දුෂ්ඨ නළුකම හැකි පරිදි කළා.

අප රිදී තිරයේ පෙම්වතකු වන්න ඔබ ප්‍රිය කළේ නැතිද?

බොරු කියන්න ඕනෙ නැහැනේ. මගෙ මූණට අපේ රටේ සිනමාවේ පෙම්වතාගේ චරිතය හරි යන්නේ නැහැ. ඒක මං තේරුම් ගත්ත සත්‍යයක්. හැබැයි හොලිවුඩ්වල හෝ බොලිවුඩ්වල අප වැනි අයට දුෂ්ඨ චරිතවලට අමතරව පණ පෙවිය හැකි චරිතයන් තිබුණා. අවාසනාවකට අප සිනමාවේ තවම තියෙන්නේ කොල්ලා, කෙල්ල සහ දුෂ්ඨයා යන ත්‍රිත්වය තේමා කරගත් චිත්‍රපට. ඒක නිසා මං වැනි ශිල්පීන්ට දුෂ්ඨයා වීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ.

දුෂ්ඨ නළුවකු වීම අවාසියක් නොවේද?

එක අතකින් අවාසියි. මන්ද ගොඩක් ප්‍රේක්ෂකයෝ පෙම් බඳීන්නේ චිත්‍රපටයක කොල්ලට. ඒ වගේම අනුකරණය කරන්නෙත් එයාලව. දුෂ්ඨයාට හැමෝම ශාප කරනවා. ඒ වුණත් දුෂ්ඨයා නිසයි මං ජනප්‍රිය වුණෙත්, සිනමාවේ අඛණ්ඩව මේවනකම් රැඳී සිටින්නෙත්. ඒක හින්දා එක අතකින් සතුටුයි. හැබැයි සටන් අධ්‍යක්ෂණයට වඩාත් යොමු වුණ එක නම් දැඩි අවාසියකට හේතු වුණා. ඒ මා තුළ සිටි රංගන ශිල්පියාව මීට වඩා හොඳට පිටතට ගේන බැරි වීම නිසා ජීවිතයේ හොඳම කාලය සටන් අධ්‍යක්ෂණයට ගෙවුණා.

ටෙඩී අයියා කොහොමද සිනමාවට එන්නේ?

මං හිතාගෙන හිටියේ පොලීසියට යන්න. ඒ වුණත් සිනමාවට පිස්සුවක් තිබුණා. හෝල්වලට එන හින්දි, දමිළ, ඉංග්‍රිසි චිත්‍රපට බැලුවා. ඒ අතර මැන්චූරියන් කැන්ඩිනේට්, පැනික් ඉන් බැංකොක් වැනි චිත්‍රපටයන්හි අඩංගු සටන් දර්ශන මාව වසඟ කළා. මටත් ඒ වගේ මොනව හරි කරන්න ඕනෙ කියලා හිතුණා. එතකොටත් මං මාර්ෂල් ආර්ට් හදාරමිනුයි හිටියේ. ඒ 1977 අවුරුද්ද. මට අහම්බෙන් දයානන්ද රොද්‍රිගෝ මහතාව හමු වුණා මාර්ෂල් ආර්ට් සංදර්ශනයකදී.

ඔහු මට අනූෂා චිත්‍රපටයට කතා කළා සටන් දර්ශනයකට. සිනමාවට සම්බන්ධ වෙන්න පොටක් හොයමින් සිටි මට ඒක නිකම් දෙවියෝ දුන්න වරමක් වගේ. මං එම දර්ශනය හොඳින් කළා. ඒක දැකපු අධ්‍යක්ෂවරු දිගට හරහට මට කතා කළා. ඒ ඉල්ලුම අදටත් එලෙසමයි. අනූෂාගෙන් පසුව මැණික් මාළිගා, සනසන්න මා, පෙරළිකාරයෝ, දෙමෝදර පාලම, චණ්ඩි රජා, මමයි රජා, ජය අපටයි වැනි චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කළා.

එදා ඉඳන් අද දක්වා නළුවන් කී දෙනෙකුගෙන් ගුටි කාලා තියනවද?

ම්ම්ම් . . . ගාණ නම් අමතකයි. ගාමිණී, විජය, සනත්, ශෂී, ජීවන්, ලාල්, රන්ජන් වැනි අයගෙන් තිරයේදී ගුටි කාලා තියනවා. සැබෑ ජීවිතයේදී මේ අය හොඳ මිතුරෝ.

කාත් එක්කද සටන් කරන්න අපහසු? කාත් එක්කද ලෙහෙසි?

අප්පේ ශෂි විජේන්ද්‍ර එක්ක ෆයිට් කරන්න තමයි හරිම අමාරු. එයාට සමහර අවස්ථාවලදී රිද්මය තේරෙන්නේ නැහැ. විජය කුමාරතුංගයි සටනකදී හොඳම සහයක් දුන්නු නළුවා. එක පාරක් කියලා දුන්නම විජය ඒක මටත් වඩා හොඳට ගහනව.

ඔබ කළ බිහිසුනුම සටන් ජවනිකාව ගැන ආවර්ජනය කළොත්?

දෙමෝදර පාළම චිත්‍රපටයේ තිබුණා දුම්රියක සටනක්. පිටපතට අනුව ධාවනය වන කෝච්චියේ රියදුරාට වෙඩි වැදිලා මිය යනවා. මමයි කෝච්චිය උඩින් දුවලා ගිහිල්ලා ඒක පාලනය කරන්න උත්සාහ කරන්නේ. ඒ දර්ශනය තමයි මගේ සටන් ජීවිතයේ බිහිසුනුම දර්ශනය. කෝච්චිය ධාවනය වුණෙත් හිමින් නෙවෙයි. ඒ සීන් එක මං කළා. අති සාර්ථකයි. බලපු අයගේ ඇඟ කිළිපොලා ගිහින් තිබුණා.

එක සැරයක් ඔබ එකල ජනප්‍රිය නිවේදකයකුව සිටි නැසීගිය නෙල්සන් අබේකෝන්ව බය කළාලු නේද?

මරදානේ චිත්‍රපටයක සටන් දර්ශනයක් තිබුණා. එතකොට මට ආරංචි වුණා ටවර් එකේ සන්ෆ්ලවර්ස්ලා ප්ලේ කරන මියුසිකල් ෂෝ එකක් තියනවා කියලා. ඉතින් මමයි රන්ජන් රාමනායකයි චිත්‍රපටයේ ඇඳුම් සමඟ මේකප් පිටින් එතනට ගිහින් පැත්තක හිටපු නෙල්සන්ව බලෙන් එළියට ඇදගෙන ඇවිත් එක එක දේවල් කිය කිය බය කළා. පසුව හැබැයි අපි කවුරුන්ද යන වග හඳුන්වා දුන්නා. එදා ඉඳල මියෙන තෙක්ම නෙල්සන් මගේ සමීපතම මිතුරෙක් වුණා.

තව මොනවද ඔබේ චිත්‍රපට ජීවිතය තුළ ඇති රසවත් අත්දැකීම්? ගහන පාරවල් වැරදුනු අවස්ථා වගේ?

සටන් දර්ශනවලට බොහෝ විට නවක ශිල්පින්ව ගේනවා. ඇතැම් අයට ඒ පිළිබඳ කියල දුන්නත් එක පාර අල්ල ගන්න බැහැ. ඉතින් මොකද දන්නවද වෙන්නේ, දර්ශනයක් ඇතුළත ගහගනිද්දි ඒ අයගේ හක්කවල් පනින එක. මම තමයි ඊට පස්සේ ඒ අයවත් අරගෙන ඉස්පිරිතාලවල්වල දුවන්නේ. ඒ වගේ වෙලාවල්වලදී හරිම කල්පනාවෙන් ක්‍රියා කරන්න ඕනේ.

එක දවසක් අපි චිත්‍රපටයක සටන් කරනවා දැකලා එතැන තිබූ කරාටේ ක්ලාස් එකක කොල්ලො රැලක් ඇත්තටම සටන් කරමුද ඇහැව්වා. අභියෝගය බාරගෙන මමයි තව තුන් දෙනකුයි ඒ අයට ඇති වෙන්න ගැහැව්වා.

ශරීරයේ කී තැනක් සිංහල සිනමාව වෙනුවෙන් බිඳගෙන තියනද?

ඇඟේ ගොඩක් තැන්. විශේෂයෙන් කකුල්, අත් දෙක, නාසය, නලල, ඇඟිලි අනන්තවත් බිඳිලා ඇති. ඒ වුණත් හොඳ වෙච්ච ගමන් ආයෙත් සටන් කරනවා.

විවාහයට පෙර මවුපියන්ගෙන් හෝ වර්තමානයේදී බිරියගෙන් මෙවැනි දර්ශනවලට පෙනී සිටීම නතර කරන්නැයි කියා තිබෙනවාද?

මං කාර් එකකින් පනිනවා දැකලා ‘පුතේ මං කන්න බොන්න දෙන්නම් මේවට නම් යන්න එපා’ කියලා අම්මා කිව්වා. බිරිය ඈන් නම් එහෙම නැහැ. පසුගිය කාලේ කොමන් මෑන් චිත්‍රපටයේ රූගත කිරීමකදී තාප්පෙකින් පැනලා කකුල කැඩුනම ඇය තමයි මට සාත්තු කරලා ආයෙත් රංගනයට යන්න ධෛර්යය දුන්නේ. ඊට කලිනුත් ඇය එහෙම කළා.

ටෙඩී අයියගෙ වයස කීයද දැන්?

පනහා පැනලා කියමුකෝ.

මෙතරම් කලක් කොහොමද මහත් නොවී සිරුරේ හැඩය ඒකාකාරීව පවත්වා ගත්තේ?

මං කාලයක් තිස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධව ජිම්නාස්ටික් උපදේශකවරයකු විදිහට වැඩ කරනවා. ඒක නිසා නිතර ව්‍යායාම් කෙරෙනවා. ඒක තමයි රහස.

‘ටෙඩී විද්‍යාලංකාර’ කියන්නේ ඔබේ ඇත්ත නමද? අනවර්ථ නාමයක්ද?

නැහැ, නැහැ, මේක මගේ ඇත්තම නම. ජන්වරී ටෙඩී විද්‍යාලංකාර ඒකයි සම්පූර්ණ නම.

තිස් පස් අවුරුදු සටන් අත්දැකීම් එකතුªකොට චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඇයි පමා?

ළඟදීම ඒක කරනවා. එය මෙට්‍රික්ස් වගේ චිත්‍රපටයක් වේවි.

ඔබ මෙතෙක් කල් ලාංකේය සිනමාව වෙනුවෙන් කළ කී හපන්කම් ගැන තෘප්තිමත්ද?

සත්තකින්ම. සිංහල සිනමාවට බිහිසුණු සටන් ක්‍රමය ගෙනාවේ මං. ඒ වගේම කේබල් ආධාරයෙන් පැනීම, වාහනවලින් පැනීම වැනි අංග මෙරටට හඳුන්වා දුන්නෙත් මං. ඒ ගැන සතුටුයි. ඒ වුණත් අපි වගේ සිංහල සිනමාවේ සටන් නළුවන්ට රක්ෂණ ආවරණයක් නැහැ. අපි ලංකාවේ හැම රක්ෂණ ආයතනයකටම ගියා. එහෙම එකක් නැහැ. ඒක ගැන නම් ලොකු කනගාටුවක් තියනවා.

ටෙඩීට කතා කරන්න 0773692194.