වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘ඔක්ටොපුසි’ ලංකාවේ රූගත කිරීමේ අදහස අත් හරියි

‘ඔක්ටොපුසි’ ලංකාවේ රූගත කිරීමේ අදහස අත් හරියි

චාල්ස් හා ඩයනා බොන්ඩ් හමුවට

ජර්මනියේ බර්ලින්හි දී සර්කස් සංදර්ශනයක කෝළමෙකු ලෙස සැරසුනු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා නියෝජිත 009 පිහියා ඇනුමකින් ඝාතනය කෙරයි. ඔහු අත රජ පෙළපතකට අයත් ‘ෆැබර්ජ් එග්’ නැමැති ඉතා වටිනා ස්වර්ණමය මංජුසාවක් වෙයි. එහෙත් එය සැබෑ එක අනුව ව්‍යාජ ලෙස සකස් කළ එකක් බව පසුව හෙළි වෙයි. සහෝදර ඔත්තු සේවා නියෝජිතයාගේ ඝාතකයන් සහ මංජුසාව පැහැර ගත්තවුන් සොයා ගැනීම ජේම්ස් බොන්ඩ් හට භාර වන අතර ඉදිරි මෙහෙයුම් සඳහා ඔහුට ඉන්දියාව බලා යාමට සිදු වෙයි.

එහිදී පුරාවස්තු මංකොල්ලකරුවන් වන කමල් ඛාන් සහ ඔහුගේ අතවැසි ගෝවින්දාගේ අත් අඩංගුවට පත්වන බොන්ඩ් එයින් මිදී ඉන්දියාවේ උදයපූර් වෙත යන්නේ මංජුසාවේ හිමිකාරිය සොයා ගැනීමටයි. ඇය රජ පවුලකට අයත් යුරෝපීය සම්භවයක් ඇති සුරූපී ඉන්දියන් තරුණියකි.

යුරෝපා රටවල පැවැත්වෙන ප්‍රසිද්ධ සර්කස් සංදර්ශනයක හිමිකාරියක වූ ඇගේ යෙහෙළිය සහ කළමනාකාරිය වන්නේ මැග්ඩා නම් රූමතියකි. ‘ෆැබර්ජ් එග්’ මංජුසාව පැහැරගෙන පලා යන කමල් ඛාන් සහ ගෝවින්දා ඇතුළු මැර කණ්ඩායම පසුපස හඹා යන බොන්ඩ් හට ‘ඔක්ටොපුසි’ සහ මැග්ඩා ඇතුළු ඇගේ සර්කස් කණ්ඩායමේ පුර්ණ සහයෝගය ලැබෙයි.

බාන්ඩ් සිනමාවලියේ 13 වෙනි සහ රොජර් මුවර් බොන්ඩ් ලෙස රඟපාන 6 වැනි චිත්‍රපටය ඔක්ටොපුසි නම් වෙයි. 1966 දී ඉයන් ෆ්ලෙමින් විසින් රචිත ‘ඔක්ටොපුසි ඇන්ඩ් ලිවින් ඩේලයිට්ස්’ නමැති කෙටිකතා එකතුව ඇසුරෙන් ජෝර්ජ් මැක්ඩොනල්ඩ් ෆ්රේසර්, රිචඩ් මේබෝම් සහ මයිකල් ජී. විල්සන් විසින් තිර රචනය කරන ලදුව ඇල්බට් ආර්. බ්‍රොකොලි සහ මයිකල් ජී. විල්සන් විසින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජෝන් ග්ලෙන්.

‘මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ චිත්‍රපටයේ සහාය නිළි චරිතයක් නිරූපණය කළ මෝඩ් ඇඩම්ස් මෙහි ප්‍රධාන චරිතය වූ ‘ඔක්ටොපුසි’ ලෙස රඟපෑවා. ලුයිස් ජෝර්දාන් නිරූපණය කළේ ප්‍රධාන ප්‍රතිවාදී කමල් ඛාන්ගේ චරිතයයි. ඔහුගේ සහායක ගෝවින්දා ලෙස රඟපෑවේ බොලිවුඩ් නළු කබීර් බේඩි. ඔක්ටොපුසි ගේ සහායිකාව ලෙස ක්‍රිස්ටිනා වේබෝර්න් ද බොන්ඩ් ගේ ඉන්දියානු සහායක ලෙස විජේ අම්රිත් රාජ් ද චරිත නිරූපණය කළා. ඔහු ඉන්දියාවේ සුප්‍රකට ටෙනිස් ශූරයෙක්.

වර්තමානයේ සුප්‍රතට හොලිවුඩ් නිෂ්පාදක අශෝක් අම්රිත් රාජ්ගේ සොහොයුරාය. ඉන්දියාවට යාමේ අවස්ථාවක් නොලැබුණත් ‘ගැජට්’ නිර්මාණකරු වන ‘කිව්’ ලෙස ඩෙස්මන්ඩ් ලෙවලින්ද බ්‍රිගේඩියර් ‘එම්’ ලෙස රොබට් බ්‍රවුන් ද ඔහුගේ ලේකම් මිස් මනිපෙනිගෙ චරිතය ලොයිස් මැක්ස්වෙල් විසින් ද රඟපානු ලැබුවා. මිචෙලා ක්ලැවෙල් රඟ දැක් වූයේ මනිපෙනි ගේ සහායිකාව වන පෙනිලෝප් ස්මෝල්බෝන් ගේ චරිතයයි.

‘ෆො යුවර් අයිස් ඔන්ලි’ චිත්‍රපටයෙන් පසුව බොන්ඩ් චරිතයෙන් ඉවත් වීමට රොජර් මුවර් තීරණය කොට තිබුණ නිසා නිෂ්පාදකවරු අදහස් කරගෙන සිටියේ තිමති ඩෝල්ටන් හෝ ජේම්ස් බ්‍රෝලින් යන නළුවන්ගෙන් කෙනෙකු බොන්ඩ් ලෙස තෝරා ගැනීමටයි. එහෙත් ඒ වන විට ‘තන්ඩර්බෝල්’ තිර පිටපත සඳහා ඉඔන් සමාගම සමඟ නඩු කියූ කෙවින් මැක්ලෝරි විසින් එම තිර නාටකය නවීකරණය කොට ‘නෙවර් සේ නෙවර් අගේන්’ නමැති චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් සිටීමත් එහි බොන්ඩ් චරිතය නැවත වරක් ෂෝන් කොනරි විසින් රඟපෑමත් ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගමට විශාල හිසරදයක් බවට පත්ව තිබුණා.

එම අභියෝගයට මුහුණ දෙමින් නිෂ්පාදකවරු තීරණය කළේ නවක නළුවෙකු හඳුන්වා දෙනු වෙනුවට චරිතයට හුරු පුරුදු රොජර් මුවර් නැවත වරක් බොන්ඩ් චරිතය සඳහා යොදා ගැනීමටයි. ජේම්ස් බ්‍රෝලින් තිර පරික්ෂණ 3 කට පෙනී සිටි අතර ඒවා ඔක්ටොපුසි අල්ටිමේට් එඩිෂන් නම් ච්ඍච් තැටියට ඇතුළත් කර තිබෙනවා. ‘ඔක්ටොපුසි’ ගේ චරිතය සඳහා මුලින් සිබිල් ඩෑනිං සහ ෆේයි ඩනවේ යන නිළියන්ගේ නම් යෝජනා වී තිබුණ නමුත් යම් පෞද්ගලික හේතූන් මත සිබිලුත් අධික ගාස්තු අය කිරීම් නිසා ඩනවේත් ලැයිස්තුවෙන් ඉවත් වූ අතර බාබරා කැරීරා නමැති කැරිබියානු රූමතිය ද ‘නෙවර් සේ නෙවර් අගේන්’ චිත්‍රපටය සඳහා තෝරාගත් හෙයින් අවසානයේ ස්වීඩන් ජාතික මෝඩ් ඇඩම්ස් නම් සුරූපිනිය ‘ඔක්ටොපුසි’ ලෙස තෝරා ගැනුණා.

චරිතයට පෙරදිග ඉන්දියානු තරුණියකගේ පෙනුම අවශ්‍ය හෙයින් ඇගේ කෙස් කොළඹ වර්ණ ගැන් වුණේ කළු පැහැයෙන්. බ්‍රිගේඩියර් ‘එම්’ ලෙස රඟපෑ බර්නාඩ් ලී 1981 දී මියගිය හෙයින් රොබට් බ්‍රවුන් එම චරිතය නිරූපණය කළා. බොන්ඩ් ගේ ඉන්දියානු සගයා ලෙස රඟපෑ ජාතික ටෙනිස් ශූර විජේ අම්රිත් රාජ් සමහර අවස්ථාවලදී ටෙනිස් පිත්ත සතුරන් මෙල්ල කිරීමේ ආයුධයක් ලෙසත් පාවිච්චි කරනු දක්නට ලැබුණේ ඇතැම් සටන් දර්ශනවලදීයි.

1982 අගෝස්තු 10 දා ප්‍රධාන රූගත කිරීම් ඇරැඹුණා. ප්‍රධාන කැමරා ශිල්පී ආතර් වුස්ටර් ඇතුළු පිරිස ඉන්දියාවට පැමිණියේ එහි ස්වභාවික සුන්දරත්වය නොඅඩුව කැමරා නෙතට හසුකර ගැනීමටයි. දර්ශන බොහොමයක් උදයපූර්, මොත්සුන් පැලස් සහ ජාල් මහල් ප්‍රදේශයන්හිදී රූගත කෙරුණා. එංගලන්තයේ දර්ශන හේෆෝඩ් සහ ඔක්ලි හි රාජකීය ගුවන් හමුදා පරිශ්‍රයන්හිදීත් දුම්රියේ සටන් ජවනිකා පීටර්බරෝ හි නෙනේවැලි දුම්රිය මාර්ගයේදීත් ඉතිරිය පයින්වුඩ් චිත්‍රාගාරයේ 007 වේදිකාවේදීත් රූගත කෙරිණි.

ඉන්දියාවේ ආහාර නිසා රොජර් මුවර් ඇතුළු පිරිසේ බොහොමයකට වැළඳුණු අජීර්ණ වැනි ආබාධයන්ට හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවීමෙන් රූගත කිරීම් ප්‍රමාද වුණා. මේ චිත්‍රපටය ඉන්දියාවේ රූගත කිරීමට පෙර නිෂ්පාදකවරුන් එහි දර්ශන සඳහා ශ්‍රී ලංකාවේද ර ෑගත කිරීමට අදහස් කළත් එය අවසානයේ වැළකිණි.

චිත්‍රපටයේ අවදානම් දර්ශන අතර ප්‍රමුඛස්ථානයක් ගන්නේ බොන්ඩ් විශාල ගබඩා සංකීර්ණයක් තුළ කුඩා ගුවන් යානයක් පදවන අයුරු සහ දුම්රිය මාර්ගයක් ඔස්සේ බෙන්ස් මෝටර් රියක් පදවමින් දුම්රිය ලුහුබැඳ යන අයුරුයි. ඉන් පසු දුම්රිය වහල මත සහ ගුවන් යානයක වහල මත කෙරෙන මාරාන්තික සටන් ද විශේෂත්වයක් ගත්තා. දුම්රිය මත සටනේදී රොජර් වෙනුවට රඟපෑ අතිරේක ශිල්පියා වූයේ ශබ්ද පරිපාලක මාර්ටින් ග්‍රේස්, දුවන දුම්රියේ වහල මත සහ පැති බඳේ එල්ලෙමින් කළ මේ අවදානම් රංගනයේදී දුම්රිය මග අයිනේ වූ කොන්ක්‍රීට් කණුවක කකුල වැදීමෙන් සිදුවන්නට ගිය මාරාන්තික අනතුරෙන් ඔහු දිවි ගලවා ගත්තේ අනූ නමයෙනි.

ටිම් රයිස් විසින් රචනා කරන ලදුව ජෝන් බැරී සංගීතවත් කළ ‘ඕල් ටයිම් හයි’ නමැති තේමා ගීතය ගායනා කළේ රීටා කුලිජ් විසිනි. චිත්‍රපටයේ නම තේමා ගීතය තුළ සඳහන් නොවන 6 වැනි බොන්ඩ් චිත්‍රපටය මෙය වෙයි. අමෙරිකානු ‘බිල්බෝඩ්’ ගීත දර්ශකයේ සති හතරක් පුරාවට ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මෙම ගීතය සමත් වුණා.

1983 ජූනි 6 දා ලන්ඩන් ලිසිස්ටර් චතුරස්‍රයේ ඕඩියන් සිනමා ශාලාවේදී මංගල දර්ශනය පැවැත්වුණේ චාල්ස් සහ ඩයනා කුමර කුමරියන්ගේ ප්‍රධානත්වයෙන්. ඉන් ඉකුත් වූ මාස 5 ක් තුළ ලෝ පුරා රටවල් 16 ක චිත්‍රපටය තිරගත කෙරුණා. අමෙරිකාවේ වාර්තාගත ආදායම ඩොලර් මිලියන 67.8 ක් වන අතර ලෝ වටා ප්‍රදර්ශනයෙන් ඩොලර් 187,506000 ක ආදායමක් උපයා ගැනීමට සමත් වුණා.

සැබෑ ජේම්ස් බොන්ඩ් ලෙස ලොව පතළ වූ ෂෝන් කොනරි රඟපෑ ‘නෙවර් සේ නෙවර් අගේන්’ නමැති චිත්‍රපටය ඒ දිනවලම කරළියට පැමිණි නිසා බොන්ඩ් සිනමා ලෝලින්ගේ අවධානය දෙපසකට බෙදී යාමෙන් ‘ඔක්ටොපුසි’ ආදායමට සෑහෙන බලපෑමක් එල්ල වුණා. ඉඔන් ප්‍රඩක්ෂන් සමාගම විසින් නිෂ්පාදනය නොකරන ලද ‘නෙවර් සේ නෙවර් අගේන්’ සහ 1967 දී කොලොම්බියා සමාගම විසින් නිපැයූ පීටර් සෙලර්ස් සහ උර්සුලා ඇන්ඩ්‍රස් රඟපෑ ‘කැසිිනෝ රෝයල්’ චිත්‍රපට 2 නිල නොලත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ලෙස බොන්ඩ් චිත්‍රපට ඉතිහාසයට එක් වෙනවා.

ප්‍රදර්ශනයෙන් පසු සමහර විචාරකයන් බොන්ඩ්, සර්කස්වල පෙනී සිටින ‘කෝලමා’ ලෙස සැරසී ඇතැම් දර්ශනවල පෙනී සිටීම හෙලා දුටු අතර ඉන්දියාවේ මනරම් පසුතල දර්ශන සහ දුම්රියේ සහ ගුවන් යානය මත අතිරේක නළුවන් රඟ දැක් වූ අතිශය අවදානම් ජවනිකා ඉහළින් අගය කළා. වැඩි ගැජට් භාවිතයක් නොමැති වීම සහ බොන්ඩ් තම අතේ පයේ හයියෙන් වීර ක්‍රියා බොහොමයක් සිදු කිරීම ඇතැම් විචාරකයින්ගේ පැසසුමට ලක් වූ අතර විටෙක එය ‘ෆ්‍රොම් රෂියා විත් ලව්’ චිත්‍රපටය සිහියට නංවන බව ඔවුන්ගේ අදහස වුණා.

බොන්ඩ් සිනමා වලියේ තුන්වෙනි අසාර්ථක චිත්‍රපටය ලෙස ඔක්ටොපුසි හැඳින් වූයේ එන්ටටේන්මන්ට් වීක්ලි පුවත්පත විසිනුයි. මෝඩ් ඇඩම්ස්, රොජර් මුවර් රඟපෑ චිත්‍රපට අතුරින් ප්‍රධාන නිළි චරිතය රඟපෑ හොඳම බොන්ඩ් සුරතලිය ලෙස ඇතැමුන් නම් කළා. එම වසරේ ජර්මනියේ ගෝල්ඩන් ස්ක්‍රීන් සම්මානය දිනාගත් ‘ඔක්ටොපුසි’ චිත්‍රපටය ශබ්ද පරිපාලනය සඳහා වූ ‘ගෝල්ඩන් රීල්’ සම්මානය ද දිනා ගැනීමට සමත් වුණා.

‘ඔක්ටොපුසි’ හා තරගයට තිරගත වූ නිල නොලත් බොන්ඩ් චිත්‍රපටයක් ලෙස හැඳින් වූ ‘නෙවර් සේ නෙවර් අගේන්’ සමඟ ලබන සතියේ හමුවෙමු.