වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘මැඩම් ශෝභා’ ජාතික රූපවාහිනියේ

 ‘මැඩම් ශෝභා’ ජාතික රූපවාහිනියේ

මෙම මස 15 වැනිදා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 7.27 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ‘මැඩම් ශෝභා’ විකාශය වනු ඇත. නේවාසික කාන්තා පාසලක සිටින දඟකාර සිසුවියන් කීකරු කොට නිසි මගට ගැනීමට උත්සාහ කරන මැදි විය ඉක්ම වූ ගුරුවරියක කේන්ද්‍ර කොට දිව යන මෙය හාස්‍යෝත්පාදක ටෙලි සිතුවමකි.

ජයසේකර අපොන්සු මැඩම් ශෝභා අධ්‍යක්ෂණය කරන අතරම මෙහි මැඩම් ශෝභාගේ චරිතයට පණ පොවයි. බන්දුල විජේවීර, මර්සි එදිරිසිංහ, මියුරි සමරසිංහ, සරත් කුලාංග, හැරී විමලසේන, රශ්මි ස්නේහා, රත්නා සමුනපාල, මහින්ද කරුණාරත්න, නිමල් යටිවැල්ල, ඩී. බී. ගංගොඩතැන්න, චේතනා කැටගොඩ, මනෝජ් දෙනිපිටිය, ගාමිණී කුලසේකර, සිඩ්නි ඉද්දමල්ගොඩ, නදීකා හෙට්ටිආරච්චි සෙසු චරිතයන් රඟනු ලබති.

එම්. ඒ. ගෆූර්ගේ කැමරාකරණයකි. ඊබට් විජේසිංහ අංග රචනයෙන් එක් වෙයි. ලලිත් ධර්මවර්ධන කොණ්ඩා මෝස්තරයෙන් ද, තිලකරත්න බණ්ඩාර සහාය අධ්‍යක්ෂණයෙන්ද, නිහාල් පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද මැඩම් ශෝභා හැඩ කරයි. එල්මෝ හැලිඩේගේ සංස්කරණයකි. සිරිල් ගමගේ නිෂ්පාදන කළමනාකරුය. මෙය ජයසේකර අපොන්සුගේ රචනයකි.

‘මැඩම් ශෝභා’ පුංචි තිරයට ගෙන ඒමේ බරපැන දරනුයේ රශ්මි ස්නේහා හෙන්දාවිතාන විසිනි.

*************************************

සාහිත්‍ය කලාපය එළිදකින දා සිරිල් සී. පෙරේරා ගේ නිර්මාණ ඇගයීමක්

2012 රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සමගාමීව රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය විසින් සම්පාදිත ‘සාහිත්‍ය විශේෂ කලාපය’ පාඨකයන් අතට පත් කෙරෙන සමර්පණ මංගල්‍යය හා සිරිල් සී. පෙරේරා සාහිත්‍ය සේවා සන්දීපන උළෙල මේ මස 20 වැනිදා පස්වරු 3.00 ට ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලෙහි දේශන කිහිපයක් පැවැත්වීමට ද නියමිතය.

ග්‍රන්ථ සමර්පණ සංකථනයේ සංක්ෂිප්ත දේශන මහාචාර්ය රත්න විජේතුංග හා ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස යන විද්වතුන් සිදු කරනු ලැබේ. සිරිල් සී. පෙරේරා සාහිත්‍ය නිර්මාණ ඇගයීමේ සංක්ෂිප්ත දේශනයන්හි ‘සිරිල් සී. පෙරේරා පරිවර්තන කාර්ය සාධනය’ මැයෙන් මහාචාර්ය තිස්ස ජයවර්ධන ද, ‘සිරිල් සී. පෙරේරා විසින් පරිවර්තික නාට්‍ය පිළිබඳ අත්දැකීම්’ මැයෙන් ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක ද දේශන පවත්වති. සම්ප්‍රවේශනය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයි.

*************************************

වසන්ත නමස්කාරගේ ‘සිතුවිලි’ කලා ප්‍රදර්ශනය දින 16 ක් අම්පිටියේ

වසන්ත නමස්කාරගේ ‘සිතුවිලි’ නම් එකසිය දහතුන් වැනි දෘෂ්‍ය ප්‍රදර්ශනය අද දින (15 වැනිදා) මහනුවර අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දෘෂ්‍ය කලාගාරයේ දී පැවැත්වේ.

අද දින ආරම්භ වන මේ චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 30 වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය. වැඩි විස්තර සඳහා antha namaskara නමින් යූ ටියුබ් සොයා බලන්න.

*************************************

පසුගිය සති අන්තයේ හොලිවුඩ් චිත්‍රපට ඉපැයූ ආදායම:

1. ස්කයි ෆෝල් - මිලියන 88.4

2. රෙක් ඉට් රැල්ෆ් – මිලියන 33

3. ෆ්ලයිට් - මිලියන 14.8

4. අගේන් - මිලියන 6.2

5. ටේකන් 2 – මිලියන 4.01

6. ක්ලවුඩ් ඇට්ලස් - මිලියන 2.66

7. ද මෑන් විත් ද අයන් ෆිස්ට් – මිලියන 2.59

8. පිච් පර්ෆෙක්ට් – මිලියන 2.57

9. හියර් කම්ස් ද බූම් – මිලියන 2.52

10. හොටෙල් ට්‍රාන්සිල්වේනියා - මිලියන 2.4