වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




අපි පටන් ගත්තේ සුනාමියත් එක්ක

අපි පටන් ගත්තේ සුනාමියත් එක්ක

‘සාගරේ සේ ආදරේ’ රේඩියෝ කලාව වෙනස් කළා
 

අංජුල ප්‍රියන්ත මනම්පේරි

නිසල්, පූජා, ගජසිංහ, ප්‍රින්සි, අරවින්ද. මේ කවුරුද කියල ඔබ දන්නවා ද? නිරතුරුව ශ්‍රී ගුවන් විදුලියට සවන් දෙන ඔයාලට මේ කවුද කියල හඳුනා ගන්න නම් බැරි වෙන්නේ නැහැ. ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ ‘සාගරේ සේ ආදරේ’ ගුවන් විදුලි නාට්‍යයෙන් සතියේ දිනවල සවස එකේ සිට හතර දක්වා මේ හැම දෙනාම ඔබ හමුවට එනවා. සුන්දර ආදර අන්දරයක් ඔබ සවනට ළං කරමින් ගලා යන මේ නාට්‍යය සුවිශේෂි කඩඉම් පසු කරමින් එහි අට වැනි වසරටත් පා තබන්නට සූදානම්. සාගරේ සේ ආදරේ ගුවන් විදුලියට රචනා කරන්නේ යොවුන් නවකතා රචකයෙකු වන අංජුල ප්‍රියන්ත මනම්පේරි. ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ සහකාර වැඩසටහන් කළමනාකරුවෙක් ලෙස කාර්යබහුල අංජුල සමඟ කළ කතාබහයි මේ.

මුලින්ම කියමු නේද සාගරේ සේ ආදරේ ගැන?

සාගරේ සේ ආදරේ ආරම්භය සිදු වුණේ 2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනය සමඟයි. ලබන දෙසැම්බර් මාසයේදී අපි අට වැනි වසර සපුරනවා. පවුලේ හැමෝටම අහන්න පුළුවන් ආදර කතාවක් පසුබිම් කරගත් ‘සාගරේ සේ ආදරේ’ රේඩියෝ කලාවේ වෙනසක් කළ නාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ජනප්‍රියම ගුවන් විදුලි නාට්‍ය ලෙස මෙන්ම වැඩිම අසන්නන් පිරිසක් අහන ගුවන් විදුලි නාට්‍යයක් ලෙසත් සම්මාන ලැබුවා.

වසර ගණනාවක් පුරා මෙලෙස නාට්‍යයක් පවත්වාගෙන ඒම අසීරු කරුණක්. මේ අභියෝගය ජය ගනිමින් යන ගමනේදී ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?

කාලයක් තිස්සේ මෙලෙස ගුවන් විදුලි නාට්‍යයක් ඉදිරියට ගෙන ඒම අභියෝගයක්. කාලය ගත වෙනවා. ඒ නිසා අපට එක තැන ඉන්න බැහැනේ. වසර අටක් කියන්නේ සුළු කාලයක් නොවෙයි. නමුත් කාලයත් සමඟ අපිට ඒ අභියෝගය ජය ගන්නට හැකි වුණේ නිර්මාණයේ සාර්ථකත්වය නිසා. ඒ වගේමයි සමීක්ෂණ වාර්තාවල ඉහළටම පැමිණීමෙන් එය ඔප්පු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී අසන්නන්ගේ රුචිකත්වය අනුව ගුණාත්මක දේ තමයි අපි ඉදිරිපත් කරන්නේ. කාලයත් සමඟ ඉදිරියට යන ශ්‍රී ලංකාවේ වැඩිම දෙනා අහන නාලිකාවක් වෙලා තියෙන්නෙත් ඒ නිසා.

මේ තරම් ජනප්‍රිය වූ ගුවන් විදුලි නාට්‍යයට ජීවය දෙන පිරිස ගැනත් කියමු නේද?

ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, සඳුන් විජේසිරි, නෙහාරා පීරිස්, මංජුලා මල්කාන්ති, ලසඳුනි ජයවර්ධන, මයෝමි කාංචනා, හර්ෂ මනෝජ්, ප්‍රතිභා නිදර්ශනා ඇතුළු පිරිසක් තමයි මෙහි හඬ දායකත්වය ලබා දෙන්නේ. මේ කතාව රචනා කරන්නේ මම. ශ්‍රී නාලිකාව් කලමනාකරු සුරාජ් පනාගොඩ, විධායක අධ්‍යක්ෂ රයන් හොන්ටර්, සහාය වැඩසටහන් අධ්‍යක්ෂ චාරුක සුරවීර මේ කාර්යය පුරාවටම මා සමඟ ඉන්නවා. සාගරේ සේ ආදරේ ඔබට ඉදිරිපත් කරන්නේ අනර්කලී ආකර්ෂා සමඟින් හසිත ලියනආරච්චි විසින්. ඒ වගේම ශ්‍රීී කාර්ය මණ්ඩලයේම සහාය මේ සඳහා ලැබෙනවා.

මේ ආදර කතාවේ ඉදිරිය මොන වගේ වේවි ද කියලත් දැනගගන්න අසන්නන් ආසාවෙන් ඇති?

ආදරයට සීමා නැහැ. ආදර ලෝකය විශාලයි. ඒ තුළ බොහෝ දේ සිදු වෙන්න පුළුවන්. අපේ ජීවිත වගේම මේ කතාවත් ඉදිරියට ගලාගෙන යාවි.

අනාගතයේදී මේ කතාව ටෙලි වෘත්තාන්තයක් ලෙස දකින්නට අවස්ථාවක් ලැබේවිද?

සාගරේ සේ ආදරේ ටෙලි ඩ්‍රාමා එකක් ලෙස නිර්මාණය කරන්නට ආරාධනා නම් ලැබිලා තියෙනවා. එය ගැන තීරණ ගැනීම අප ආයතනය සතු දෙයක්.

‘සාගරේ සේ ආදරේ’ මේ සුන්දර ආදර අන්දරය රචනා කරන ඔබ ගැන කියන්නයි මේ වෙලාව?

මගේ ගම දෙණියාය. පාසල් කාලයේ පටන්ම මම ලියන්න උනන්දුයි. ඒ කාලේ පාසලේ කලා කටයුතුවලට උනන්දුවෙන් දායක වෙලා කටයුතු කළා. 93 වසරේදී විතර මම මුලින්ම සුවඳ පත්තරේට තමයි ලිව්වේ. ඊට පසුව 96 වසරේදී තමයි ශ්‍රී එෆ්. එම්. නාලිකාවට සම්බන්ධ වුණේ. මේ වන විට මම නවකතා 28 ක් ලියල තියෙනවා. සුවඳ පත්තරේ හිටපු කාලේ ඒ නවකතා එළි දක්වන්න අවස්ථාව ලැබුණේ නැහැ. ශ්‍රී නාලිකාවට පැමිණි පසු මේ වනවිට ‘සඳ රාජිනී’ සහ ‘සුදු මල් හැඬුවා’ නවකතා දෙක එළි දැක්වූවා. මේ දක්වා මම ලිව්වේ ආදර කතා. මේ දිනවල පාතාලය ගැන නවකතාවක් ලියමින් ඉන්නවා. ඊට අමතරව ගීත රචනා සඳහාත් යොමු වෙලා ඉන්නවා. උදේශ් ඉන්දුල ගායනා කරන ‘වස්සානේ දුරයි’ ගීතය වගේම භාතිය සන්තුෂ් ගායනා කරන ශ්‍රී වෙනුවෙන් ‘අලුත් වෙලා ඇත රටක්’ ගීතය රචනා කළා. මේ වන විට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගෙන් ඒ සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ අනාගතයේදී?

පාසල් කාලයේ පටන්ම හොඳ චිත්‍රපටයක තිර රචනයක් ලියන්න ලොකු ආසාවක් තිබුණා. මම පුංචියට මේ ඒ ගමන යන ගමන්.