වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ජනපතිතුමන් පිළිබඳ ගී නිර්මාණ එකතුවක්

ජනපතිතුමන් පිළිබඳ ගී නිර්මාණ එකතුවක්

ජනාධිපතිතුමන් පිළිබඳව නිර්මාණය වූ ගීත එකතුවක් එළිදැක්වීම සඳහා එතුමාණන් වෙනුවෙන් නිර්මාණය කළ ගීත (රූප රචනා සහිත / රහිත) ඩී. වී. ඩී, වී. සී. ඩී. හෝ සී. ඩී. මඟින් ඒවාහි මුල් පිටපත මෙම මස 26 දිනට ප්‍රථම පහත ලිපිනයට ගෙනැවිත් හෝ ලියා පදිංචි තැපෑලෙන් ලබාදෙන ලෙස ජනාධිපති සංස්කෘතික හා කලා කටයුතු ඒකකය ඉල්ලා සිටියි.මේ පිළිබඳ වැඩි විස්තර පහත අංකයන්ගෙන් ලබාගත හැකියි.

ජනාධිපති සංස්කෘතික හා කලා කටයුතු ඒකකය
09 වන මහල, නො: 41, ජනාධිපති මාවත
කොළඹ 01.
දුරකතන – 0112354648, 0112354512, 0112354354.

ඉන්දීය උළෙල 20 දා මාලිනී ජූරියට

මෙරට සිනමා නිළියක මුල් වරට අන්තර් ජාතික සිනමා ජූරියක සාමාජිකත්වය දැරීමේ ගෞරවය දිනා ගනිමින් නිළි රැජන මාලිනී ෆොන්සේකා ජූරි සාමාජිකත්වය දරන ඉන්දීය අන්තර් ජාතික චිත්‍රපට උළෙළ මෙම 20 වැනි දින ඉන්දියාවේ ගෝවේ ප්‍රාන්තයේ අගනුවර වූ පුනාජි හිදි ඇරැඹෙයි.

මාලිනී මේ සඳහා සහභාගි වීමට 19 වැනිදා දිවයිනෙන් බැහැරවීමට නියමිතය.

ඔබ නැතුව ඔබ එක්ක ඉන්දියාවේ රවුමක් යයි

ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමා කෘතිය ‘ඔබ නැතුව ඔබ එක්ක’ ඉන්දියාවේ උළෙලවල් කිහිපයක් නියෝජනය කිරීමට නියමිතය. ඒ අනුව මෙම මස 20 වැනිදා හතළිස් තුන්වැනි ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ එය පළමුව තිරගත වනු ඇත. එය චිත්‍රපටයේ ඉන්දීය මංගල දැක්ම වේ.

එළැඹෙන දෙසැම්බරයේ 07 සිට 14 දා දක්වා කේරළ චිත්‍රපට උළෙලේ ද, 13 සිට 20 දා දක්වා චෙන්නයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ද, 20 සිට 27 දක්වා බෙංගුලූර් චිත්‍රපට උළෙලේ ද එය ප්‍රදර්ශනය වේ.

ඉන්දීය නිළි අංජලී පාටිල් සමඟ ශයාම් ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ සහ මහේෂ්වරී රත්නම් රංගනයෙන් දායකවන ‘ඔබ නැතුව ඔබත් එක්ක’ ලබන වසරේදී සී. ඊ. එල්. මණ්ඩලයේ තිරගත වේ.

රිට්ස් තාක්ෂණය සමඟ කූල් වෙයි මහරගමට ‘ඇමිටි ලයිට්’ එයි

මේ අප සිනමා ප්‍රේක්ෂකයන්ට සතුටුදායක ආරංචියකි. ඒ සිනමා ශාලාවන් දෙකක් ගැනයි. බොරැල්ලේ රීට්ස් ඉන් පළමුවැන්නයි. එය මෙම මස 16 සිට අලුත් වේ. එනම් වායු සමීකරණය වී ඩී. ටී. එස්. තාක්ෂණය එකතු වේ. එහි වර්තමාන ආසන සංඛ්‍යාව දෙසීයකි. රිට්ස් සුනිල් ටී. ෆිල්ම්ස් කළමනාකාරිත්වයේ පවතියි. මහරගම ඇමිටි ගොඩනැගිල්ලේ තවත් අලුත් සිනමා ශාලාවක් විවෘත වේ. ඇමිටි ලයිට් නමින් එය නම් කොට ඇත. ඇමිටි ලයිටි ලිබර්ටි ලයිට් යටතේ පාලනය වේ.

මෙම සිනමා ශාලාවන් ද්විත්වයේම තිරගත වනුයේ ෂාරුක් ඛාන් රඟන නවතම චිත්‍රපටය වූ ජබ්ටක් හයි ජාන් වේ.

සතිෂ් සමරන්න කඨින පින්කමක්....

ගායන ශිල්පි සතිෂ් පෙරේරා මෙලොව හැරගොස් මාස හතකුත් ඉක්ම ගොස් අවසන්. ඔහුගේ වියෝව කලා ක්‍ෂේත්‍රයට පාඩුවක් මෙන්ම ඔහුගේ පවුලේ උදවියට දැරිය නොහැකි ශෝකයක් වුණා.

සතිෂ් ගේ වියෝව සිදු වී මාස හතක් ඉක්ම යෑම නිමිතිකොට ඔහුගේ ප්‍රිය බිරිය, පුතු ,රංගන ශිල්පිනී කුසුම් පෙරේරා, ඇතුළු ඥාති පිරිස මේ කඨින මාසයේ මාලිගාවත්ත, ඥානවිමලාරාම විහාරස්ථානයේ කඨින පින්කම සතිෂ් වෙනුවෙන් පවත්වනවා. ඒ මේ මස 23 වැනි දා.

විසිතුන් වැනි දින උදෑසන කඨින චීවර පූජාවෙන් ඇරඹෙන මේ පින්කම එදින දහවල් දානය සහ සවස කඨිනානිශංස ධර්ම දේශනාවෙන් අවසන් වෙනවා. කලාකරුවන් රැසක් සහභාගිවන මේ පින්කමට සතිෂ්ට ආදරය කරන හැම කෙනකුටම සතිෂ්ගේ මාලිගාවත්ත නිවෙසට පැමිණෙන්න කියලා කුසුම් පෙරේරා ආරාධනා කරනවා.

ලුවී වැන්ඩස්ට්‍රාටන් ගෙන් BUDDHI-THE ELEPHANT BOY ග්‍රන්ථයක්

ලුවී වැන්ඩර්ස්ට්‍රාටන් කියන්නේ අපේ සිනමා ක්ෂේත්‍රයේ සිටින පැරැණිම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. 1971 දී ‘බිඳුණු හදවත්’ චිත්‍රපටයෙන් සිය සිනමා ගමන ආරම්භ කළ ඔහු ‘පෙම් කුරුල්ලෝ’, ‘මව්බිම නැත්නම් මරණය’, ‘බෝනික්කා’, ‘ඇගේ වෛරය’ ආදී චිත්‍රපට රැසක් සිනමාවට දායක කළා. එපමණක් නොවෙයි. ‘ඇගේ වෛරය’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් කාලයක් අපේ සිනමා ශාලාව අමතක වී සිටිය සිනමා රසිකයන්ට සිනමා ශාලා මතක්කර දෙන්නට තරම් ඔහුට හැකි වුණා.

දර්ශන තලයකදී ලැබෙන විවේකයේදී පැත්තකට වෙලා පොතක් කියවන ලුවීගේ දසුන කාටත් හුරුපුරුදු එකක්. මේ විදියට දිගින් දිගටම පොත් කියැ වූ ලුවී වැන්ඩර්ස්ට්‍රාටන් අලුත්ම වැඩකට මුල පුරලා. ලේඛකයෙක් විදියට නැවුම් භූමිකාවකින් ප්‍රේක්ෂකයන් අතරට එන ඔහු ලියූ පළමු කෘතිය ‘BUDDHI-THE ELEPHANT BOY’ යන නමින් වුණු රසවත් නවකතාවක්. ඉංග්‍රීසි බසින් ලියවුණු මේ නවකතාව කොයි කාටත් කියැවිය හැකි සිත් ඇඳ ගන්නා, රසවත් ආකාරයෙන් ලියා තිබීම අගය කළ යුත්තක්.

‘කරදිය’ රිදී තිරයට මුහුරත් උළෙල දෙසැම්බරයේ

අප සිනමාවේ සිටින රංජිත්ලා යුවළක් එකතු වී ‘කරදිය’ රිදී තිරයට ගෙන ඒමට සූදානම් වෙයි. රංජිත් ජයසිංහ ඉන් එක් අයකි. ඔහු ‘කරදිය’ හි අධ්‍යක්ෂවරයාය. රංජිත් ජයසේකර එය නිෂ්පාදනය කරයි. මේ දෙදෙනා තනන ‘කරදිය’ ධීවර ගම්මානයක් හා බැඳුණු කතා පුවතකි.

උද්ධික ප්‍රේමරත්න, අනුරුද්ධිකා පාදුක්කගේ, සරත් දික්කුඹුර, ශ්‍රීමාල් වෙඩිසිංහ, මංජුල මොරගහ, අජිත් ලොකුගේ, බන්දුල විජේවීර, අනුර බණ්ඩාර රාජගුරු, ලක්ෂිකා ෆොන්සේකා, නිර්ධා උයන්හේවා, පවිත්‍රා වික්‍රමසිංහ, සුමිත් මුදන්නායක, කපිල සිගේරා, ප්‍රේමදාස විතානගේ, කුමාර රණපුර, රාජසිංහ ලෝලුවාගොඩ, ආරියසේන ගමගේ, කමන්ති දූල්වල, දිස්නා මල්කාන්ති, රංජිත් ජයසේකර, ස්වර්ණා රණසිංහ, චාන්දනී කළුආරච්චි සමඟ ජනාදර ජයසේකර රංගනයේ යෙදෙති. සරත් දික්කුඹුර නිෂ්්පාදන විධායකවරයාය. ගාමිණී කොස්තාගේ අංග රචනයකි. සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. කැමරාව කේ. ඩී. දයානන්ද මෙහෙයවයි.

අධ්‍යක්ෂණය මෙන්ම කතාව දෙබස් තිර රචනය ද රංජිත් ජයසිංහගෙනි. ඔහු මීට ප්‍රථම ඇයි ඔබ තනි වෙලා, පුතා මාගේ සූරයා , සංජුලා (තිරගත වීමට නියමිත) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කොට තිබේ. කරදිය හි මුහුරත් උළෙල එළඹෙන දෙසැම්බරයේ මුල් සතියේ හලාවතදී පැවැත්වීමට නියමිතය. එදිනම ඒ ප්‍රදේශය අවට එය රූගත වනු ඇත.

නලීන් ලා මාරුවෙලා....

මේරියන්ස් නායක නලීන් පෙරේරා ගේ උපන් දිනය පසුගිය දා සැමරුවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම ගායන ශිල්පියකු ද වන නලීන් පෙරේරා ගේ උපන් දිනය ද යෙදී තිබුණේ මේරියන්ස් නලීන් ගේ උපන් දිනයට දින කිහිපයකට පෙරයි.

සරසවිය උපන් දින තීරුවේ පළ වුණ උපන් දිනය දැකපු රසිකයන් දිගට හරහට මේරියන්ස් නලීන්ට කතා කළා. ගුවන් විදුලියේ නලීන් ගේ උපන් දිනයට මේරියන්ස් නලීන්ටයි සුබ පැතුවේ.

ඒ වගේම මේරියන්ස් නලීන් ගේ උපන් දිනය දවසේ ගුවන් විදුලියේ නලීන් ගේ දුරකථනයෙන් සුබ පැතුම් ගලාගෙන ආවාලු. මේ පටලැවිල්ලට හේතුව දෙදෙනාම නලීන් පෙරේරාලා වීමයි. ඒ වගේම ගායකයන් වීමයි. දෙදෙනාම මේ සිදුවීම ගැන සතුටින් කතා කරනවාලු.