වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු අනූවේ දී ඉටුවුණ සිහිනය

අවුරුදු අනූවේ දී ඉටුවුණ සිහිනය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතාට තරුණ අවධියේ චිතුපට බැලීමේ පුදුම ආශාවක් තිබුණාලු. එතුමාට නොමිලේ චිත්‍රපට බලන්න වගේම රඟපාන්නත් තියෙනවානම් කියන සිතිවිල්ල ඒ කාලයේ තදින්ම දැණුනාලු. ඉන් ටික කලකට පසු ආරියදාස මහතා මාධ්‍යවේදියකු වූ පසු නොමිලේ චිත්‍රපට බලන්නට අවසර පත්‍රයක් ලැබුණ නිසා ඒ ආශාව නම් ඉටු වුණා.

හැබැයි දෙවැනි ආශාව නම් නොකියා හිතේ සිරකරගෙන හිටියා. දැන් ඒ ආශාවත් ඉටුවෙලා. ඒ මෙරට රූගත කරන ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේ අසිත තාපසයාගේ චරිතයට එතුමන් තෝරා ගැනීම නිසා.

මේ සියලු කටයුතු මෙහෙම සිදුවෙද්දි පසුගිය දවසක ආරිදාස මහතා ඇතුළු පිරිසක් අනුරාධපුරය පැත්තේ වැඩමුළුවකට ගොස් එන අතර මගදි ගිමන් නිවා ගැනීමට පුංචි පහේ අවන්හලක් ළඟ නතර වුණා. තේ පානය කරන අතර තුරදි ඒ අසල සිටි කාන්තාවක් මෙතුමන්ව හඳුනාගෙන ආගිය තොරතුරු විමසන්නට වුණා. ටික වෙලාවකින් එතැනට ළඟා වුණේ පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක්. එම පාසල් සිසුන් සමඟ පැමිණි ගුරු භවතුන් ආරියදාස මහතා සමඟ කතාවට වැටුණා. ළමුන්ගෙන් ආරියදාස මහතා විමසුවේ ‘මාව හඳුනනවාද’ යනුවෙන්. ළමයින් ගත් කටටම කීවේ.

ඔව්, යනුවෙන්.

‘ඒ කොහොමද?’ ආරියදාස මහතා නැවත විමසුවා. එතැන සිටි කටකාර එක් ළමයකු ‘ඇයි ටෙලි නාට්‍යවල ඉන්නේ’ කියා පැවසුවා.

ඒ ප්‍රකාශයට පසු නිහඬ වූ ආරිදාස මහතා ගමන නිමා වෙනතුරු කතා කළේ නැතිලු.

ලබන මස තුන්වැනි දිනට වයස අවුරුදු 90 සමරණ ආරියදාස මහතා ගේ රංගන සිහිනය සැබෑ වෙන්නේ අනූවන වියේදී. එතුමන් පාසල් යන කාලයේ මහාචාර්ය සිරිමල් රණවැල්ල සමඟ වේදිකා නාට්‍යවල රැඟුවත් චිත්‍රපටයක රඟපාන ප්‍රථම අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් මෙරට සිටින විශිෂ්ට පඬිරුවනක් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතාට දීර්ඝායුෂ පතන්න සරසවිය අමතක කරන්නේ නැහැ.