වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මල්සරා නෙවෙයි සුදු රෙදි හොරෙක් ආවත් ඔහොම කෑගහන එක අපිට . . .

මල්සරා නෙවෙයි සුදු රෙදි හොරෙක් ආවත් ඔහොම කෑගහන එක අපිට,

නෑ නෑ . . . මට හරිම හිරිහැරයක්නේ

සුදු සරමකින් සහ කළු කෝට් බෑයකින් සැරැසුණු මල්සරා ගමන ඇරැඹුවේය. එක් අතකින් කුඩය අල්ලා ගත් ඔහු අනෙක් උරයෙන් එල්ලා ගත් ලැප්ටොප් පරිගණකය දෙස වරින්වර බැලුවේය.මල්සරාගේ ගමනවේගවත්ය. වැඩිපුර නැවතුණේ දීග නොගිය තරුණ තරුණියන් සිටින ගෙවල් ළඟය.

මල්සරා යනු නව්‍යකරණය වූ කපු මහතෙකි. දැන් ඔහු සිටිනුයේ සුපුරුදු රාජකාරි ගමනෙහි යෙදෙන අතරතුරය.

ආ . . . පිලිප් මහත්තයා උදෑහැනක්, බෑරක්ද මේ?

මල්සරාට ඊළඟට හමු වනුයේ වෘත්තියෙන් මිනී බෑන්ඩ් ශිල්පියකු වූ දොන් පිලිප්ය. ඔහු මැදි විය ද ඉක්ම වූ පැසුණු මනසක් ඇති අයකි.

කොහෙ යන්නද ගෙදර යනවා මිසක්. . .

පිලිප් රැල්බුරුල් හැර උත්තර දුන්නේය.

ඒක නෙවෙයි මහත්තයෝ, මහත්තයලාගෙ ගෙදර ඉන්න සචිත්‍රා තාම තනිකඩයි නේද? බලමුද මඟුලක්. මගේ ලැප්ටොප් එකේ ලස්සන කොල්ලො ගොඩකගෙ පින්තූර තියනවා.

පිලිප්ට මල්සරාගෙන් ගැලවීමක් නැත.

මෙතන ඕනේ නැහැ. යමුකො ගෙදරට.

පිලිප් මල්සරා ද කැටුව ඒ මාවතේම අංක 99/9 දරණ සිය නිවසට ගොඩ විය.

සචිත්‍රා සචිත්‍රා . . . මෙහෙට එමුකො බලන්න. මෙන්න මල්සරා ඇවිල්ලා.

ඉවරයි ඉවරයි ඉවරයි . . . මං ලියන්න හදපු කතාව එහෙම් පිටින්ම අමතක වුණා මේ කෑගැහිල්ලට. මල්සරා නෙවෙයි සුදු රෙදි හොරෙක් ආවත් ඔහොම කෑගහන එක අපිට, නෑ නෑ . . . මට හරිම හිරිහැරයක්නේ.

පිලිප්ගේ බෙරිහන්දීමට ඒ කේන්ති ගියේ ඇලපාත ලියනවඩුටයි. ඔහු තිරකතා රචකයෙකි. ඔහු මේ දිනවල ‘තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා’ යන ටෙලි නාට්‍ය රචනා කරමින් සිටියි.

මං ආවෝ . . . මෙන්න මං ආවෝ . . .

සචිත්‍රා වෙනුවට ඒ ආවේ ඇයගේ අක්කණ්ඩිය විචිත්‍රායි.

මෙන්න අනිත් ඝන්ටාරේ ආවා.

දඩස් හඬ නංවමින් ඇලපාත කාමරයේ දොර වසා ගත්තේය.

ඔයා නෙවෙයි සචිත්‍රාට අනේ එන්න කිව්වේ.

පිලිප් අහක බලාගෙන කීය.

කවුද දුව මේ ඇවිත් ඉන්නේ?

මේ කෑගැහිලි මධ්‍යයේ ඒ ආවේ චිත්‍රාය. ඇය සචිත්‍රා සහ විචිත්‍රාගේ මව වේ.

හප්පේ හරිම මහන්සියි. අද ගොඩක් සේල්ස් තිබුණා.

ලේන්සුවකින් මුහුණ පිහ දමමින් පාපිස්ස මත සපත්තු ගසා දමා නිවසට ඇතුළු වූ මේ පුද්ගලයා සම්පත් බටුගෙදරය. 99/9 නිවසේ අයිතිකරුවා වන ඔහු අලවිකරණයේ යෙදෙන තරුණයකි. මල්සරා හැර අනෙක් පස් පුද්ගලයින් නවාතැන් ගෙන සිටින්නේ බටුගෙදරගේ මේ නිවසෙහිය. මල්සරා අතුරු චරිතයක් ලෙස ඔවුන් හමුවට එයි.

මේ හය දෙනාගේ චින්තනයන් විවිධාකාරය. සිදුවන අකරතැබ්දයන් ද එමටය. හාස්‍යයෙන් ද නිමක් නැත.

පිලිප් ඇලපාත, චිත්‍රා, විචිතා සහ සචිත්‍රා අප නිවසට එන්නේ සෑම ඉරු දිනකම රාත්‍රී 7 ට ස්වර්ණවාහිනී නාලිකාවෙනි. වසන්ත මොරගොඩ මේ පුද්ගලයන් වෙසෙන ඇලපාත පිලිප් බටුගෙදර සිටින අංක 99/9 දරණ නිවස අධ්‍යක්ෂණය කරයි.

වසන්ත මිට ප්‍රථම ‘ඇන්ඩ් කම්පනි’ මාලා නාටකය, කළුවර එළිය, සඳ සාක්කි වැනි නාට්‍ය අධ්‍යක්ෂණය කරන ලදී.

99/9 ටෙලි සිතුවමෙහි පිලිප් ලෙස ඩබ්ලිව්. ජයසිරි රංගනයේ යෙදෙයි. ජයසිරි දීර්ඝ කාලයකට පසු හාස්‍යොත්පාදක චරිතයක් රඟන්නේ මෙහිය.

ලියනවඩු වනුයේ රිචඩ් මානමුදලි වේ. සමන් ඒකනායක බටුගෙදර වෙයි. ප්‍රවීණ රංගන ශිල්පිණී මැණිකේ අත්තනායක චිත්‍රා ලෙසින් ද, පියුමි ශානිකා විචිත්‍රා ලෙසින් ද, නිරෝෂා තලගල සචිත්‍රා ලෙසින්ද 99/9 හැඩ කරයි.

ප්‍රවීණ සහ නව පරපුරේ නළු නිළියන්ගේ සුසංයෝගයක් වූ 99/9 දර්ශන තලය ද ඉතා අපූරු එකක් යැයි කිව හැකිය.

99/9 නිෂ්පාදන කණ්ඩායම:

කලා අධ්‍යක්ෂණය - සහන් බෙල්ලන්ගම, මෙරිල් සුසන්ත

සහය අධ්‍යක්ෂණය – ධනුෂ්ක එන්. පෙරේරා, චතුර එම්. ප්‍රනාන්දු

සම්බන්ධීකරණය - ජයරත්න ගලගෙදර

පරිඝණක කටයුතු - සුසන්ත පුෂ්පකුමාර

සංස්කරණය - චන්දන ඩිල්ෂාන්

මුල්‍ය කළමනාකරණය - මේනකා මොරගොඩ

වසන්තගේ

99/9 ගෙදරට

ගොඩ වෙමු