වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




තරු මිහිරට පියුමි ගෙනා සඳක් වගේ පෑයූ සිනා

තරු මිහිරට පියුමි ගෙනා සඳක් වගේ පෑයූ සිනා

නිළි රැජනගේ ආශිර්වාදය මට මහමෙරක් වගෙයි

මං හිමාලි වගේ දඟකාරයි

බලන්ගොඩ සිට පැමිණි ළහිරුත්, කහටගස්දිගිලියේ සිට පැමිණි ආරියවංශත්, තුන්තානේ සිට පැමිණි චතුරංගත්, මාදිවෙල සිට පැමිණි, සුබෝධිත් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ කවුරුන් එනතුරු ද? පාළුව, කාන්සිය මගහරවා ගැනීමටවත් ඔවුන්ට වෙනයම් මාර්තෘකාවක් නැත. ඔවුනගේ එකම මාර්තෘකාව වී ඇත්තේ ‘හිමාලි’ ගැනයි. කවුද මේ හිමාලි ? සරසවියේ අපි හැමෝටමත් ගැටලුවක්.

මේ පිරිස හිමාලි ගැන වර්ණනා කරන්නේ ඔවුන්ගේ ළබැඳි හිතවතිය ඇය වන නිසයි. ළහිරුත්, ආරියවංශත්, චතුරංගත්, සුබෝධිත් මේ හිමාලිට දැඩිසේ ආදරය කරන පිරිසක්. ඔවුන් රැඳී සිටින්නේ සරසවිය ඡායාරූපගාරයේයි.

එකවරම නෙතු පිනවන සිනහවකින් මුව කමල සරසාගත් අති සුන්දර යුවතියක් මේ පිරස අතරට එක්වුණා. ඕ වේදිකාවෙන්, පුංචි තිරයෙන්, රීදී තිරයෙන් රසික සිත්සතන් වසඟ කළ රංගන ශිල්පිනියක්.

පියුමි ශානිකා බොතේජු.

අද ‘තරු මිහිර’ මතක මිහිරිමත් කරන තරුවයි. ඇයගේ ආගමනයෙන් උද්දාමයට පත් මේ පිරිස හිමාලි නොහොත් පියුමිව පිළිගත්තේ උතුරා යන සෙනෙහසක් පාමින්.

’අනේ හැමෝම මට සමාවෙන්න. මම විනාඩි විස්සක් පරක්කුයි. අද පාරේ හරිම ට්‍රැෆික් එකක්’ කියූ පියුමි පැමිණි පිරිස එකිනෙකාව හඳුනාගත්තා.

’කෝ තව අඩුයිනේ’.

ඒ ශ්‍යාමලී, එයාට අද එයාගේ ඔෆිස් එකෙන් කතා කරලා වැඩට යන්න වුණා. එයා හරි දුකෙන් ගියේ. පිරිසේ කටකාරයා චතුරංග උත්තර දුන්නා.

අක්කේ ඔයා රංගනයට පිවිසුනේ සිනමාවෙන් ද. ටෙලි නාට්‍යයෙන් ද, වේදිකාවෙන් ද? චතුරංග විමසුවා.

ඔයාලා මාව හඳුනාගත්තේ නම් පුංචි තිරයෙන්. අර මං මෙතනට එන්නට පෙර කතා වෙවී හිටපු ‘පබා’ ටෙලි නාට්‍යයේ හිමාලි ගේ චරිතයෙන්. ඒත් ඊට ගොඩක් කාලෙකට පෙර ටවර් හෝල් වේදිකාවෙන් තමයි මම මුලින්ම රංගන චාරිකාව පටන් ගත්තේ.

ඔයාගේ පළමු ටෙලි නාට්‍යය මොකක්ද?

’4333’ වලාකුළු බැම්ම නමුත් මුළින්ම විකාශය වුණේ නෝනාවරුණි මහත්වරුණි ටෙලි නාට්‍යය.

ළහිරුත්, ආරියවංශත්, චතුරංගත්, සුබෝධිත් අපූරු නර්ථනයක

මේ දවස්වල ෂූටිං තියෙන නාට්‍ය මොනවද?

ඒ ළහිරුගේ පැනයයි.

එක්ටැම් ගේ ටෙලි නාට්‍යයේ සහ රන්ජා කියන අලුත් චිත්‍රපටයේ. රන්ජා චිත්‍රපටයේ කොල්ලෙක් වගේ ජීවත්වෙන චණ්ඩි කෙල්ලක් ගේ චරිතයක් තමා මට කරන්න තියෙන්නේ.

ටෙලි නාට්‍යවල ඉන්න පියුමියි, සැබෑ ජීවිතයේ පියුමියි එක වගේද?

පියුමි දෙස බලා සිටි සුබෝධි ඇසුවා.

පබා ටෙලි නාට්‍යයේ හිමාලි වගේ නිතරම දඟලනවා. හැබැයි හැමෝම සමඟ කතාබහ කරලා සතුටින් ඉන්න තමයි මම ප්‍රිය කරන්නේ.

පබා ටෙලි නාට්‍යයේ හිමාලි නිසා සැබෑ ජීවිතේ දි කරදර වෙලා තියෙනවද? මෙතෙක් වෙලා ටෙලි නාට්‍ය, සිනමාව ගැන කතාබහ කරමින් සිටි ආරියවංශ විමසුවා.

මේ ටෙලි නාට්‍යයේ හිමාලිගේ චරිතය විකාශය වෙලා දවස් දෙකකින් මම හදිස්සියකට සුපර් මාර්කට් එකකට ගියා. එතන හිටපු අවුරුදු තුනක විතර ළමයෙක් ‘අන්න හිමාලි අක්කා’ කියාලා කෑගැහුවා. ඇත්තටම පියුමිට වඩා රසිකයෝ ආදරේ මම රඟපාන චරිතවලට.

ඔයා අහංකාරයිද? ඒ චතුරංගයි.

අනේ නැහැ. මට කතා කරන හැමෝටම මම කතා කරනවා. හැබැයි කවුරුත් මට කතා නොකර මට බැහැනේ හඳුන්වලා දෙන්න අර පබා ටෙලි නාටයේ හිමාලි මම කියලා. එහෙම නැතුව මම අහංකාර නැහැ. අනික මොකටද මම අහංකාර වෙන්නේ.

ඔයා ප්‍රවීණයිද? ආරියවංශ නැවතත් ඇසුවා.

අම්මෝ . . . මම ප්‍රවීණ වෙන්න තව අවුරුදු පනහක්වත් යයි. මට තව රඟපෑම ගැන ඉගෙන ගන්න දේවල් කොච්චර තියනවද? මම රූගත කරන හැම තැනකදීම ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියන්ට නම් ඇණයක් වෙනවා.ඒ තරමට මම ඔවුන්ගේ රඟපෑම ගැන ඉගෙන ගන්නවා. අධ්‍යයනය කරනවා. අහනවා.

‘එක්ටැම් ගේ චිත්‍රපටය බලලා තියෙනවද? ආරියවංශ ගෙන් නැවතත් පැනයක්.

කිහිප වරක්ම බැලුවා. අද එක්ටැම් ගේ ටෙලි නාට්‍යයේ මම කරන චරිතය චිත්‍රපටයේ කළේ නිළි රැජන මාලිනී ෆොන්සේකා. මට මේ චරිතය රඟපාන්න ආරාධනා කරපු වෙලවෙම මම එතුමියට දුරකථන ඇමතුමක් අරගත්තා. ඇයගෙන් ඒ චරිත නිරූපණය ගැන විමසුවා. ඇය නිහතමානීව මට සුබපැතුවා. ‘නංගි ඔයාට ඔය චරිතය හොඳට කරන්න පුළුවන් කියලා හදවතින්ම සුබ පැතුවා. ඇය මගේ ජීවිතයේ මම වැඩියෙන්ම ගරු කරන රංගන ශිල්පිනිය.

මොකක්ද අක්කේ අර අශ්වයකුගේ කතාවක් ගැන ආරංචි වුණේ? ඒ සුබෝධියි.

සිරි දළදාගමනය චිත්‍රපටයේ රූගත කරන විට එක් දර්ශනයක් තියෙනවා මම සිටින තැනින් අශ්වයෙක් යනවා. දර්ශනය රූගත කිරීම ඇරඹුණ ගමන් අශ්වයා මා ළඟටම ඇවිල්ලා ඉස්සරහා ගාත්දෙක උස්සලා මා ළඟ නතර වෙනවා. කිහිප විටක්ම ඒ දර්ශනය ගන්න උත්සාහ කළත් අශ්වයා මම සිටින තැනින් හෙල්ලෙන් නැහැ. ඊට පස්සේ මම ඒ සීන් එකෙන් අයින් වෙලා රූගත කළා. ඊට පස්සේ අශ්වයා හොම්බ දික්කරගෙන මාව හොයනවා. ඒ අශ්වයත් එක්ක නම් ඒ සීන් එක රූගත කරන්න වුණේ නැහැ. පස්සේ දළදාගමනයේ සිටි සුමින්ද වීරසිංහ (කැමරා) අයියා මට විහිළු කළා ඔය ඔයාගේ ගිය ආත්මේ මහත්තයා කියලා.

රූගත කිරීම්වලදී බය වෙලා නැද්ද?

චතුරංගත්, සුබෝධිත් ප්‍රශ්න අසමින්

නිහඬව සිටි ළහිරු විමසුවා.

මේ ළඟදී එක්ටැම්ගේ රූගත කිරීමක දී වතුරේ බැහැලා මම අමිලට දෙබස් කියන දර්ශනයක් තියෙනවා. දර්ශනය රූගත කරන කොට අමිල දෙබස් කියනවා වෙනුවට වතුර දිහා බලාගන හිටියා. මම හැරිලා බලනකොට ලොකු දිය නයෙක්. මම කෑගහගෙන ගල උඩට පැන්නා. ඔය වගේ සිද්ධි නම් ඕනෑ තරම් තියනවා.

ඔයා තාරාවෝ ඉගිලෙති අලුත් නිෂ්පාදනයේ රඟපෑවා නේද? අනේ ‘මඩේ ළඟින තාරාවන්’ ගීතය කියන්නකෝ - ඒ ඉල්ලීම සුබෝධිගෙන්.

හරි මම කියන්නම්, හැබැයි මර්සි එදිරිසිංහ වගේ ලස්සනට නම් කියන්න බැහැ.

තාරාවන් ගීතය පියුමි හරිම අපූරුවට ගැයුවා.

ඔයාට වුණ සංවේදී සිදුවීම මොකක්ද?

දවසක් මගේ දුරකථනයට ඇමතුමක් ආවා. මගේ රසිකාවියක්. ඇයට මට මුදල් වගයක් දෙන්න ඕනෑ කිව්වා. මම ටිකක් කලබල වුණා.මම ඇහුවා ඇයි මට මුදල් දෙන්නේ කියලා. එයා නිකං කිව්වා. මම අපේ තාත්තත් එක්ක කතා කරලා ගෙදරට එන්න කිව්වා. එයා ගෙදරට ඇවිත් මගෙත් එක්ක කතා කරලා සල්ලි දාපු ලියුම් කවරයක් දුන්නා. හරිම අහිංසක දුප්පත් ළමයක්. මම ඇහුවා ඇයි මට සල්ලි දෙන්නේ කියලා. ඒ ආදරේට කියලා. එයා ගියාට පස්සේ ඒක විවෘත කරන්න කිව්වා.

එදා ඒ සල්ලි මුදල පුංචි වුණත් ඒ රසිකාවගේ ආදරේ නම් මට මහ මෙරක් තරමට දැනුණා. ඒ මුදල් දීලා ආදරේ කළ රසිකාව තමයි මේ සුබෝධි. මගේ උපන් දිනයට හැමදාම මට එයාම හදපු සුබපැතුම් පතක් එවනවාමයි.

ආරියවංශට පුංචි තෑග්ගක්

ළහිරුගෙන් පින්තූරයක්

ඒ කතාව කියන විට සුබෝධිගේ මෙන්ම රැස්ව සිටි හැමෝගෙම නෙතඟට කඳුළු නැඟුණා.

කේක් ගෙඩියක් කැපූ පියුමි තමන්ගේ අතින්ම හැමෝටම කේක් රස බලන්නට කවමින් ඇය ද කේක් කෑල්ලක රස බැලුවා.

ලක්සළු සල හැමදාමත් වගේ මෙවර පියුමිගෙන් හැඩවුනු තරු මිහිරට තෑගි එවන්නත් අමතක කර තිබුණේ නැහැ. එහි සම්බන්ධීකරණ නිලධාරිනී රංගන ශිල්පිනී රෝමා රෝෂී මෙන්ම ශ්‍යාමෙන්වත් එහි සභාපතිතුමන්වත් මතක් කිරීමට හා තුති පිදීමට පියුමි අමතක කළේ නැහැ.

පියුමි ශානිකා බොතේජු සහභාගි වූ මිහිරිතම ‘තරු මිහිරට’ එක දිගට නොනවතින ගීත රැසක් ගයමින් ළහිරු, චතුරංග, සුබෝධි හා ආරියවංශ සමඟ මනරම් රැඟුමක් ඉදිරිපත් කරන්නටත් පියුමි අමතක කළේ නැහැ.

පියුමිගේ ආගමනයෙන් හැඩ වුණ තරු මිහිරක මතක මාලන් කරුණාරත්නගේ කාචයේ සටහන් වෙද්දී තරු මිහිරට සමු දුන්නේ ඔවුනොවුන් වැලඳ ගනිමින් එකිනෙකාට සෙනෙහසේ තරම කියා දෙමිනි.