වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඕස්ට්‍රේලියාවට නොගොස් රටට පිදෙන රූප පෙළක්

ඕස්ට්‍රේලියාවට නොගොස් රටට පිදෙන රූප පෙළක්

ප්‍රථම වරට ඡායාරූප ඇල්බම් ප්‍රදර්ශනයක් මේ දිනවල කොළඹදී

‘ස්ටුඩියෝ 3000’. මෙරට ප්‍රමුඛතම ස්ටුඩියෝ අතුරින් පෙරමුණට පැමිණීම සමඟම එහි බම්බලපිටිය ශාඛාව ප්‍රධාන ශාඛාව ලෙස ඊයේ (14) විවෘත කෙරුණා. මේ සමඟින් ඡායාරූපකරණ කලාවේ නව පිටුවක් පෙරළමින් ප්‍රථම වරට මෙරට ජනතාවට නොමිලයේ ඡායාරූප ඇල්බම් ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් කටයුතු යොදා තියෙනවා. මේ ස්ටුඩියෝ 3000 අධිපති දිනුක ෆොන්සේකා සහ දුලානි ෆොන්සේකා සමඟ ඒ පිළිබඳ කළ පිළිසඳරයි.

මෙරට ඡායාරූපකරණ කලාවේ නව වෙනසක් ඇති කරමින් තබන මේ නව පියවර ගැන අපි මුලින්ම ඇහුවේ දිනුකගෙන්.

ශාඛා පහකින් යුතු අප ස්ටුඩියෝ 3000 ආයතනයේ ප්‍රධාන කාර්යාලය බම්බලපිටිය අංක 40 දරණ ස්ථානයේදී ඊයේ විවෘත කළා. එය ඡායාරූප ශාලාවකට වඩා එහා ගිය ඡායාරුප විද්‍යාගාරයක් ලෙස මහල් 4 කම ඡායාරූප සහ වීඩියෝ කටයුතු සඳහා වෙන් කරලා තියෙනවා. ලොව දියුණුම අධිතාක්ෂණයෙන් යුතු කැමරා උපකරණ ඇතුළු සියලුම අංගෝපාංග ස්ථාපිත කලාගාරයක් වෙනවා.

මේ නිමිත්තෙන් ඊයේ සිට ලබන 06 වැනිදා දක්වා මෙරට ප්‍රථම වරට නොමිලයේ පැවැත්වෙන ඡායාරූප ඇල්බම් ප්‍රදර්ශනයක් ද පැවැත් වෙනවා. මෙම දින 06 දී ඇනවුම් බාර දෙන පාරිභෝගිකයන්ට විශේෂිත වූ මිල අඩු කිරීමක් ලබා දෙන්නටත් සූදානම්. ඒ වගේම ඡායාරූපකරණය ගැන දැනුවත් වෙන්නටත් පුළුවන්.

ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ඔබ මෙලෙස සාර්ථක ගමනක් පැමිණි ආකාරය ගැනත් කියමු නේද?

මම පාසල් කාලයේ පටන්ම ඡායාරූපකරණය ප්‍රිය කළා. අවුරුදු 13 දී ඒ පිළිබඳ හදාරන්නත් මට අවස්ථාව ලැබුණා. ඊට පසුව 1990 දී එවකට තිබුණ නවීනතම කැමරා උපකරණ සමඟින් පෑලියගොඩ ‘ස්ටුඩියෝ 3000’ ආයතනය ආරම්භ කළා. මම නිතරම උත්සාහ කරන්නේ වෙලාවට නිවැරැදිව වැඩ කරන්න.

ඒ නිසා අප වටා හොඳ පාරිභෝගික ජනතාවක් එක් වුණා. විවාහයෙන් පසු දුලානිත් මට විශාල ශක්තියක් වුණා. පසුව අපි ගෝල්ෆේස් සහ මවුන්ට් ලැවේනියා හෝටල්වල ස්ටුඩියෝ 3000 ශාඛා ආරම්භ කළා. අප තමයි පළමුවරට තරු පහේ හෝටල්වල ස්ටුඩියෝ ආරම්භ කළේ. ඊට පසුව මීගමුවේත් ශාඛාවක් ආරම්භ කළා. ඊයේ බම්බලපිටියේ විවෘත කළ ශාඛාව අප ප්‍රධාන කාර්යාලය බවට පත් වෙනවා.

දිනුක - දුලානි දෙදෙනාම දක්ෂ ඡායාරූප ශිල්පීන්. ඔබ එකතුව ‘ස්ටුඩියෝ 3000’ හි සාර්ථකත්වයේ රහසයි. දුලානි කියන්නෙකෝ දෙදෙනාගේ ආදරණීය හමුවීම ගැනත්?

පුංචි කාලේ ඡායාරූප කලාවට මගේ කැමැත්ත තිබුණත් ඒ සඳහා යොමු වුණේ දිනුක මුණ ගැසුනට පසුවයි. මට දිනුක හමු වුණේ ඡායාරූපයක් ගන්න ගිය අවස්ථාවකදී. මට ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න අවස්ථාවක් ලැබුණා. පාස්පෝට් එකට පිංතූර ගන්න තාත්තා එක්ක පෑලියගොඩ ස්ටුඩියෝ 3000 එකට ගියා. ඒ අවස්ථාවේදී තමයි දිනුක හමු වුණේ. දැන හඳුනා ගැනීම ආදරයක් බවටත් පසුව දෙමාපිය ආශිර්වාද මැද විවාහයක් බවටත් පත් වුණා. ඕස්ට්‍රේලියා ගමන සංචාරයක් පමණක් වුණා.

ආදරණීය බිරිදක්, මවක් වගේම කාර්යබහුල ඡායාරූප ශිල්පිනියකගේ සේවා දායකත්වය වගේම ‘ස්ටුඩියෝ 3000’ හි සේවාව ගැනත් කියමු?

ඇත්තෙන්ම අපි ඉතා හොඳින් ඉන්න පවුලක්. අපට දුවල දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. හැම දවසකම මමයි දිනුකයි අලුත් දෙයක්, අලුත් මානයක් පිළිබඳව කතා කරනවා. නිතරම වෙනසක් සහිත අලුත් දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. මංගල අවස්ථාවක් නම් අපි මනාල යුවළ කලින් දිනයක ගෙන්වලා ඔවුන්ට කැමැති දර්ශන තලයකදී ඡායාරූප ගන්නවා. මංගල දිනයේදී ඔවුන්ගේ නිදහසට බාධා නොවන අයුරින් අපි ඡායාරූප ගන්නවා. ඒ වගේම ඡයාරූප තෝරා ගැනීමේ නිදහසත් අපි ඔවුන්ට බාරදීලා තියෙනවා.

අපි දෙදෙනාම තමයි මංගල ඡායාරූප ගන්නේ. ඒ වගේම අලුත උපන් බිළිඳු දරුවන්ගේ සහ ගර්භනි මාතාවන්ගේ ඡායාරූප ගැනීමේ නව ක්‍රමවේදයක් මම ආරම්භ කරල තියෙනවා. එයට අවශ්‍ය දරුවන් තැබීමේ දියුණු උපකරණ සහ නවීන තාක්ෂණය සහිතව මම විසින්මයි එය සිදු කරන්නේ.

ඒ වගේමයි 2009 වසරේ හොඳම ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය සහ 2010 වසරේ හොඳම ඡායාරූප ශාලාවට හිමි සම්මානය ඇතුළු සම්මාන සහතික කුසලතා රැසක් දිනා ගන්නට අපට හැකි වුණා. ඊට අමතරව ‘3000 කාර්’ නම් මංගල රථ සේවාව සහ ‘3000 වෙඩින් පැලෑන’ මඟින් ද මංගල අවශ්‍යතා සඳහා වැදගත් සේවාවක් ඉටුකරදීම අපේ බලාපොරොත්තුවයි.