වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




 ලතා මංගේෂ්කාර්ගේ රහස් පෙම් කතාවක්

ලතා මංගේෂ්කාර්ගේ රහස් පෙම් කතාවක්

යුගයෙන් යුගයට, පෙම්වතියන්ට එතරම් මන මෝහනීය, ආදරණීය හඬක් එක් කරන්නට කිසිදා පෙම්වතකු නොසිටියා නම් ලතා මංගේෂ්කාර්ට හැකි වන්නේ කෙසේද? මේ මෙතෙක් බොලිවුඩයට නොවිසඳුණු ගැටලුවකි. එහෙත් දැන් ඒ ගැටලුව ළිහෙමින් පවතී. ඒ කෝකිල හඬේ හිමිකාරියට පෙම් බැඳි සංගීතවත් හදවතක් මිහිපිට විය. ඔහු සුප්‍රකට ගායක භූපන් හසාරිකාය.

ආචාර්ය භූපන් හසාරිකා මිය ගොස් නොවැම්බර් 5 වැනිදාට වසරක් සපිරුණි. ගායකයෙක් පමණක් නොව සංගීතඥයකු, ගීත රචකයකු, චිත්‍රපට නිපදවන්නකු ලෙස ඔහු ඇසෑම් ප්‍රාන්තයේ අතිශය ජනාදරයට පාත්‍ර වූවෙකි. වයස අසූ පහේදී ඔහු මිය යන විට ඉන්දියානු රජයෙන් කලාකරුවකුට පිරිනමන සියලුම සම්මානවලින් පිදුම් ලබා තිබුණි. හසාරිකාට ප්‍රියම්වදා පටේල් මුණ ගැසුණේ කොලම්බියා සරසවියට ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට ගොස් සිටින විටයි. ඔහු ඇය 1950 දී සිය බිරිය කර ගත්තේය. පසුව දෙදෙනා දික්කසාද වූහ.

ජීවිතයේ සැඳෑ වියේදී හසාරිකාගේ ජීවන සෙවණැල්ල වූයේ කල්පනා ලජ්මිය. ප්‍රියම්වදා සහ කල්පනා ලජ්මි අතරට පැමිණි අනෙක් කාන්තාව මෙතෙක් ලොවට අබිරහසක් වී තිබුණි. ඒ රහස භූ®පන්ගේ පළමු සංවත්සරයේදී ප්‍රියම්වදා හෙළි කළේ කිසිදු පැකිළීමකින් තොරවය. ඇසෑමයේ විද්‍යුත් නාලිකාවකට ඇය කී දේවල් දැන් ලැව් ගින්නක් සේ පැතිර ගොස් අවසානය.

ඇය පවසන අන්දමට ලතාගේ මිතුරියක හා රසිකාවක වූ චිත්‍රපට අධ්‍යක්ෂ කල්පනා ලජ්මි භූපන්ගේ ද හොඳ මිතුරියකි. හසාරිකා සහ තමන් අතර පැවැති දහතුන් වසරක විවාහ බන්ධනය බිඳ දැමුවේ ලතා මංගේෂ්කාර් බව ඇය කියා සිටින්නීය. ‘ලතා කොල්කටාවට පැමිණෙන සෑම අවස්ථාවකදීම අපේ නිවෙසට එනවා. අපේ ප්‍රධාන නිදන කාමර තුනින් එකක සැමියාත් ඇයත් රාත්‍රිය ගත කරනවා. ලතා සැමියා ගැන උමතුවෙන් සිටියා.

වරක් කල්‍යාන්ජී – ආනන්ද්ජී අපේ එක කාමරයක නැවතී සිටියා. එදා සැමියා කාමරයට පැමිණෙන තුරු බලා සිටිය මට, ගුජරාට් බසින් කල්‍යාන්ජී කිව්වා නැගණිය ඔයා නින්දට යන්න. ඔහු අද එන්නේ නැහැ කියලා’ අමිහිරි අතීතය ප්‍රියම්වදා ලොවට පැවසුවේ සිත් වේදනාවෙනි. භූපන් සිය ස්වයං චරිතාපදානයේ ද ලතාගේ නම අනවර්ථ ලෙස සඳහන්කර තිබුණි.

වරක් ලතා තමන් භූපන්ට ඔහුගේ මාපියන්ට සහ ප්‍රියම්වදාටත් වඩා ආදරය කරන බව ප්‍රකාශ කර තිබේ. ඉන් පසු තමන් වේදනාවෙන් ඔහුගෙන් සමුගත් බව ප්‍රියම්වදා පවසන්නීය.

මේ තහනම් ප්‍රේමය ගැන ක්ෂේත්‍රයේ වැඩි දෙනෙක් දැන සිටියත් ලතාගේ කීර්ති නාමයට ඉන් හානි වේ යැයි සිතා මුනිවත රැක්කහ. එහෙත් කාලය පැරැණි තුවාල අලුත් කිරීමට පටන් ගෙන ඇත.


විද්‍යා බාලන්ගේ විවාහය දෙසැම්බරයේ

තමන් සිවුවැනි ඛාන් යැයි සිතා දිනෙන් දින රංගනයට ඉහළ මිලක් අය කරන විද්‍යා බාලන්ගේ ගණන් ඉදිරියේදී තවත් ඉහළ යනු ඇත. ඒ දෙසැම්බර් මාසයේදී සිදුවන ඇයගේ විවාහයත් සමඟයි. විවාහයෙන් පසු දූ දරුවන් ලබා රංගනයට පිවිසෙන තාරකාවන්ට දැන් බොලිවුඩයේ ඇත්තේ හොඳ කල දසාවකි.

විද්‍යා චිත්‍රපට නිෂ්පාදක, මෝෂන් පික්චර්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සිද්ධාර්ත් රෝයි කපූර් සමඟ සීතල උඳුවප් මාසයේ එක්තැන් වන්නට පෙරුම් පුරන්නීය. මේ ආදර සම්බන්ධතාවට මුල පිරුණේ නෝ වන් කිල්ඩ් ජෙසිකා රූගත කරන කාලයේදිය. දෙහදක ආදරයට තිබූ එකම බාධාව වූයේ සිද්ධාර්ත්ගේ කලින් විවාහයයි. දැන් ඔහුට පළමු බිරියගේ දික්කසාදය ලැබී තිබේ. ඒ නිසා සියල්ල නිරවුල්ය.

මැයි මාසයේදී ඇය තමන් සිද්ධාර්ත් සමඟ සබඳතාවක් පවත්වන බව ලොවට හෙළි කළේ බොහෝ තාරකාවන් හැංගි හොරා සබඳතා පවත්වද්දීය.

දෙදෙනා විවාහ වීමට සිටියේ පෙබරවාරි මාසයේදී වුවත් දෙදෙනාගේම කාර්යය බහුලකම ඒ සොඳුරු ප්‍රාර්ථනය කල් දැමීමට හේතු විය. දෙසැම්බරයේදී සිද්ධාර්ත් සති හතරක නිවාඩුවක් දමා ඇති අතර, විද්‍යා රාජ් කුමාර් ගුප්තාගේ ‘සන්චක්කර්’ සිනමාපටයෙන් කෙටි රූගත කිරීමේ නිවාඩුවක් ලබා ඇත.

දෙදෙනා මධුසමය ගත කිරීමට යාමට බලාපොරොත්තු වෙන්නේ කැරීබියානු දූපත්වලටයි. විවාහයෙන් පසු විද්‍යාට, ජූහූවල ඇති සිද්ධාර්ත් ඇය වෙනුවෙන්ම මිල දී ගත් ‘විද්‍යා’ නිවහනේ රැජන වීමට ලැබෙනු ඇත. නිවහනේ අලංකරණය විද්‍යාගේ දෑතින්ම සිදු වූ බව ද පැවසේ.