ඔබේ නෙත් අඟින් හමු වුණේ මා පැතූ සේ ආදරේ

හය වසරක පෙම් ගීතයේ කතාව

සෙන්ටිග්‍රේඩ්ස් උදය අද යුග දිවි මඟට

මේ ආදරේ හීන සිත්තම් කළා
ඒ හීන සිත් අහසෙ ගෙත්තම් කළා

මෙහෙම ගයන්නේ උදය ශ්‍රී වික්‍රමසිංහ.

එහෙමත් නැතිනම් සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ සුපැහැදිලි ආදරණීය ගී වරුණය.

ඒ ස්වරය හරිම ළෙංගතුයි. ඉන් ජීවය දුන් ස්නේහවන්ත පදමාලා ද බොහොමයි. උදයගේ සැබෑ ජීවිතයේ ද ආදර හීන සිත්තම් වෙන්න පටන් අරන්. වසර හයක් තිස්සේ වර්ණ ගැන් වුණ ඒ ප්‍රේමණීය සිහින මාලිගාවට උදය අද ගොඩ වදිනවා. ඒ තනියම නම් නෙවෙයි, සහකාරියක් ද කැටුව.

උදය ඉතින් . . .?

ම් ම් ම් . . . සන්තෝසයි. ඇත්තටම අපි අවුරුදු හයක්ම ආදරය කළා. දෙන්නා එන්න එන්න ළං වුණා මිසක, කවදාවත් ආදරේ අඩු වුණේ නම් නැහැ. ඉතින් අද අපේ විවාහය සිද්ධ වෙනවා කිරිබත්ගොඩ හොටෙල් ක්ලැරියොන් හිදී. මෙය කලාන්තරයක් තිස්සේ මැවූ හීනයක් කිව්වොත් වැරැදි නැහැ. අද ඉඳන් අපි දෙන්නා එක වහළයක් යටට එනවා. මං සංගීත ජීවිතයේ සෑහෙන්න දුර ආව කෙනෙක්. මං කෙදිනකවත් සිතුවේ නැහැ මගේ සංගීත ගමන මෙතරම් දුරට එන්න පාර කැපේවි කියලා. මට ඇයව හමු වුණේ මං ජනප්‍රිය වෙන්නත් කලින්. සැබැවින්ම මට ඇය සම්පතක් වුණා මගේ සංගීත ජීවිතයටත්.

ඇය කවුද?

වින්ද්‍යා විතාරණ. දැනට ඇය පෞද්ගලිත ආයතනයක විධායක කළනාකාරිණියක්. වින්ද්‍යා අතුරුගිරිය මගේ ගමේම කෙනෙක්. කාලාන්තරයක් අප නෙතින් නෙත හමු වුණා. මුලින්ම ඇති වුණේ ළෙංගතු මිත්‍රත්වයක්. ඒත් දෙන්නගෙම හිත්වල ඊට එහා ගිය බැඳීමක් නිතැතින්ම තිබුණා. මට ඇයව හමුවෙද්දී මං ගයන්න පටන් ගත්තා විතරයි. ඇයත් වැඩිදුර අධ්‍යාපනය හදාරනවා.

මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?

ලේඩීස් ෆස්ට් කියලා ප්‍රකට කියමනක් තිබුණ ද ආදරයට ඒක වලංගු නැහැනේ. ආදරයේදී 99.9% ක් ඉස්සර වෙන්නේ පිරිමි කෙනා. මේ ආදරයත් ඒ සම්ප්‍රදායටම වැටුණා. දිනය හරියටම 2005 අගෝස්තු 26. වෙලාව උදේ 11. මං වින්ද්‍යාට ආදරෙයි කිව්වා. ඇයත් බලාගෙන ඉඳලා තියෙන්නේ මං ආදරය ප්‍රකාශ කරනකම්.

පසුකාලීනව ඔබ ජනප්‍රිය චරිතයක් වනවා?

ඇය තමයි මං නිර්මාණය කරන හෝ ගයන ගීයක පළමු රසිකාව. ඇය ලබා දෙන ගුණදොස් නිසා මං සමහරක් ගීත වෙනස් කරපු අවස්ථා ද තිබුණා. ගායන ශිල්පියෙක්, සංගීතඥයකු විදිහට ස්ථාවර වෙද්දී රසික රසිකාවන් වැඩි වුණා. විශේෂයෙන් තරුණ ගැහැනු ළමයි. ඇය මේ වගේ දේවල් ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. මගේ ජංගම දුරකතනයට පවා මං කාර්යබහුල මොහොතක ඇයයි පිළිතුරු ලබා දෙන්නේ. මගේ රසික රසිකාවියෝ ඉන්නවා මටත් වඩා ඇයට හිතවත්.

විවාහයෙන් පසුව වින්ද්‍යා ඔබේ සංගීත කටයුතු සීමා කරයිද?

මං හිතන්නේ නැහැ එහෙම තීරණයකට ඇය එළඹේවි කියලා. මන්ද යත් සංගීතය මගේ ජීවිතය කර ගන්නට මුල් කාලයේදී ඇය මට ලබා දුන්නේ අමිල සහයක්. මං ඉතාමත් මහන්සි වෙලා නිර්මාණය කළ වගේම දැඩි විශ්වාසයකින් හැදූ ගීත එක්තරා අවස්ථාවන්වලදී රසිකයෝ පිළිගත්තේ නැහැ. එවැනි මොහොතවල්වලදී මං මානසිකව බොහෝ සෙයින් ඇද වැටුණා. සංගීතයෙන් පවා ඉවත් වෙන්න උත්සාහ කළා. ඇයයි මගේ මානසිකත්වය හැදුවේ. ඉතින් එහෙම සිටිය කෙනා විවාහයෙන් පසුව මගේ සංගීත ජීවිතය නවත්ව ගන්න හදයි කියන එක අවිශ්වාසවන්ත කරුණක්.

අදින් පසුව දෙදෙනාගේ පදිංචිය?

තවම ඒක ගැන හිතුවේ නැහැ. අපි දෙන්නම එක ගමේ හින්දා එයාගෙ ගෙදර තතර වුණත් එකයි. මගේ ගෙදර හිටියත් එකයි. ඒත් අපි දෙන්නා හිතාගෙන ඉන්නේ අලුත් නිවසක් හදන්න.

සංගීත දිවියේ අලුත් විස්තර?

මං මගේම ශබ්දාගාරයක් ආරම්භ කළා මගේ නිවෙසේ. සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩයමේ ශබ්දාගාරය තිියෙන්නේ නුගේගොඩ. එහිදීත් යම් යම් සංගීත පටිගත කිරීම්වලට සහභාගි වනවා. ඊට අමතරවයි මගේ ශබ්දාගාරයේ වැඩ කටයුතු සිදු වන්නේ. මම නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකත්, වෙළඳ දැන්වීම්වලත් තේමා ගීත අතලොස්සක් නිර්මාණය කළා.

උදය තනි ගමනක් යන්න ද දැන් හදන්නේ?

උදය ශ්‍රී කියන නාමය හැදුණේ සෙන්ටිග්‍රේඩ්ස් හරහා. ඉන් ගැල වී යන්නට කොහෙත්ම අදහසක් නැහැ. නුගේගොඩ ශබ්දාගාරයේදී වුණත් මං යම් යම් අවස්ථාවන්වලදී තනිවම නිර්මාණයන්හි යෙදුණා. ‘රූ සිරි’ ඇල්බම් එකෙත් මගේ තනි සිංදු දෙක තුනක් තියනවා. සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ අපි එකතු වුණේ පාසල් අවධියේමයි. ඒ හින්දා නොසිතූ අන්දමින් ගැටළුකාරී තත්ත්වයන් ආවත් ඒවා නිරාකරණය කරගෙන වසර කිහිපයක් අඛණ්ඩව අපි ඉදිරියට ආවේ ඒ දැඩි අවබෝධාත්මක මිත්‍රකම හින්දයි.

උදය – වින්ද්‍යාගේ ඉදිරි බලාපොරොත්තු?

දෙන්නගෙ සුපුරුදු ජීවිත ගමන ඉදිරියට ගමන් කරාවි. ඊට අමතරව පුංචි ව්‍යාපාරයක් අරඹන්නට හිතුවා. ඒ ගැනත් මේ වගේම ඉස් ඉස්සෙල්ලාම සරසවියට කියන්නම්.

නොලද සෙනෙහස ජීවිතේ
ඔබේ නෙත් අගින් හමු වුණේ
මා පැතූ සේ ආදරේ
හදේ නිධන් වෙලා
විඳින්න ඉඩ දෙන්න ආදරේ . . .

කපිල තිලකසිරිගේ පද නිමැවුමට සංගීතය සපයමින් උදය ගයන ‘මා පැතූ ආදරේ’ ගීයේ ඔහු කැමැතිම වචන පේළි කිහිපයයි ඒ. එය නොඅනුමානවම උදය මේ දිනවල ගත කරන ජීවිතය පිළිබිඹු වන කැඩපතක් බඳු යැයි මට සිතුණා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව