අර්ජුන් ගෙන් පැන විසඳුම්

මීගමුව කට්ටුව අජිත් ලක්මාල්

ඉන්දීය සිනමා සඟරාවල ලංකාවේ කලාකරුවන්ගේ ඡායාරූප මුල් පිටුවේ පළ වී තිබෙනවාද?

1959 වසරේ දී ෆිල්ම්ෆෙයාර් සඟරාවේ කවරයක් රුක්මණී දේවියගේ රුවින් සැරසුනාලු.

කෑගල්ලේ රණවීර ලියනගේ

ශ්‍රීමතී තිලකරත්න ගයන හිරු ගෙනැවිල්ලා පුතුළඟ තනියට තියලා ගීතයේ මතුපිටන් බැලුවොත් පුතුට වනුයේ ඉතාම භයානක අනතුරක් නේද?

මතු පිටින් බැලුවොත් එහෙම උනත් එය කාව්‍යොක්තියක් ලෙස සැලකූ විට ඉතාම ලස්සනයි.ගීත අර්ථ මතු පිටින් අත ගාපු කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යතුමෙක් නිරෝෂා විරාජිනීගේ සීගිරි ගීයක් ඔබේ හදවතේ ගීතය ගැන කියන්න ගිහින් ඉතා ලස්සනට ඇන ගත්තා.ඉතින් රණවීර මහත්තයත් මහාචාර්යතුමෙක්ගේ තත්වයට වැටෙන්න හොඳ නැහැ නොවැ.

ගඬලාදෙනියේ යූ.ජී.පාලිත කුමාරසිංහ

ප්‍රවීණ නළු මර්වින් ජයතුංග අප අතරින් වෙන් වූ වර්ෂය කුමක්ද?ඔහු අවසන් වරට රඟපෑ චිත්‍රපටය කුමක්ද?

ඔහු මිය ගියේ 1993 වසරේ.ඔහු රඟ පෑ අවසන් චිත්‍රපටය ප්‍රේමවන්තයෝ යි.

මීටියාගොඩ මරදානවත්තේ එච්.එල්.තිලකසිරි ද සිල්වා

කලක් අතිශය ජනප්‍රිය නිළියක ව සිටි කාන්ති ගුණතුංග මුලින්ම රඟ පෑ චිත්‍රපටය කුමක්ද?

සුරංගනී

වෙන්නප්පුව වියානි ගණවර්ධන,ශීලා වැන්ඩර්ලන්,සුජීව ප්‍රනාන්දු

ද්‍රවිඩ සිනමාවේ ජනප්‍රිය ගායක ගායිකා යුවළක් වන පී.සුසිලා සහ සෞන්දර්රාජන් ගැන ආරංචියක් නැද්ද?

සුසිලා ට දැන් වයස 77යි. ඇය උපන්නේ 1935 අවුරුද්දේ. ඇය ඇගේ සැමියා දරුවන් සහ මිණිපිරියන් සමග හොඳීන් ජීවත් වනවා.

සෞන්දර්රාජන් ට දැන් වයස 87 ක් වනවා. ඔහු 1923 අවුරුද්දේ ඉපැදුන කෙනෙක්.ඔහුත් තවම හොදින් ගී ගයමින් ජීවත් වනවා. වෙන ආරංචියක් ලැබුනොත් කියන්නම්.

නිට්ටඹුව රන්පොකුණගම ආනන්ද ප්‍රනාන්දු

දෙබස් කැවූ සිංහල චිත්‍රපට ගැන විස්තරයක් පළ කළ නොහැකිද?

පුළුවන්.ඒ බලාපොරොත්තුව ඉෂ්ටවේවි.

හැඳල පාලක සමන් පෙරේරා

සරසවිය පුවත්පතේ පළවන උපන් දින තීරුවේ සමහර නළු නිළියන්ගේ උපන්දින සමඟ දුරකතන අංක පළ නොකරන්නේ ඇයි?

අපේ නම් අකමැත්තක් නැහැ.හැබැයි එහෙම පළ නොවන්නේ ඒ ඒ අදාල කලාකරුවන් එසේ දුරකතන අංකය පළ කිරීමෙන් තම පෞද්ගලිකත්වයට බාධාවන බව පවසා අංකය පළ නොකරන්නැයි ඉල්ලා සිටින නිසා.

රුවන්වැල්ල මලිත්ත විතානගේ

හොලිවුඩ් හි පිහිටි විශාලම චිත්‍රාගාරය ගැන විස්තරයක් කරන්න

වර්තමාන චිත්‍රපට නිෂ්පාදන ප්‍රමාණය අනුව නම් කරන්නේ නම් එය වෝනර් බ්‍රදර්ස් චිත්‍රාගාරය ලෙස නම් කළ හැකියි.

එය වර්තමානයේ හොලිවුඩ් හි ප්‍රධානම නිෂ්පාදන සමාගම ලෙස කටයුතු කරනවා.එය මගින් නිපදවන චිත්‍රපට ප්‍රමාණය වෙළඳ පොළ අගයෙන් ගත් කළ සියයට දහ අටක්.කොහොම වුවත් හොලිවුඩ් භූමි ප්‍රමාණයෙන් විශාලම චිත්‍රාගාරය ලෙස හැඳීන්වනුයේ යුනිවර්සල් චිත්‍රාගාරයයි.

දොඩන්ගොඩ ගංඉම එච්.ඩී.පුන්‍යසේන

එච්.ආර්.ජෝතිපාලයන් සමග වැඩිම යුග ගී ගායනා කළේ ලතා වල්පොල ද ඇන්ජලින් ගුණතිලක ද?

ලතා වල්පොල

මාබෝලේ එච්.වී.කේ.පියදාස

වීර විජය චිත්‍රපටය ගැන හැඳීන්වීමක් කරන්න

පසුකලක ඉන්දීය සිනමාවේ විශිෂට ගණයේ සිනමාකරුවකු බවට පත්වූ කේ.එස්.සේතුමාධවන් මුල්වරට අධ්‍යක්ෂනය කළ මේ චිත්‍රපටය සිනමාස් සමාගම ඉන්දියාවේ රූ ගැන්වූ අවසාන චිත්‍රපටයයි.

1960 වසරේ දෙසැම්බර් 09 වන දා තිරගත වූ එහි හර්බි සෙනෙවිරත්න,ජීවරාණී කුරුකුලසූරිය,ආනන්ද ජයරත්න,ක්ලැරිස් ද සිල්වා,ලැඩී රණසිංහ,විජිත මල්ලිකා,ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා,ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න,ඇන්තනී සී.පෙරේරා,නෙල්සන් කරුණාගම,වින්සන්ට් වාස්,බන්දු ගුණසේකර ඇතුළු නළුනිළියන් රැසක් චරිත මැව්වා.එයට පාදක වූයේ වීර විජයන් නම් දෙමළ චිත්‍රපටයයි.

මාතලේ ධර්මා සමරනායක

අනුර චන්ද්‍රසිරි සහ ගාමිණී වේරගම යන විචාරකයන් පිළිබඳ ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි.

අනුර චන්ද්‍රසිරි නම් සිනමා විචාරකයකු පිළිබඳ මා දන්නේ නැහැ.

ගාමිණී වේරගම මෑත භාගයේ මෙරට සිනමා විචාරකයන් අතර වඩාත් ක්‍රියාත්මක විචාරකයා ලෙස නම් කරනන්ට මා කැමැතියි.

විශේෂයෙන් අනූව දශකයේ මුල මෙරට සිනමා විචාරය නැත්තටම නැති ව ගිය සමයක සිනමා විචාරය යන තේමාව තරුණ පරම්පරාවක් වෙත ගෙන යාමේ දී ගාමිණී කළ මෙහෙය අවතක්සේරු කරන්නට බැහැ.

වර්තමානයේ දී ගාමිණී වේරගමගේ සිනමා මතවාද මෙරට සිනමාව කෙරෙහි දැඩි බලපෑම් එක් කරනවා.

තල්පෙ ගිනිගල ඉන්ද්‍රනාත් පී.ගමගේ

හැට හැත්තෑව දශක වල ජනප්‍රිය නළුවන්ව සිටි ජිම් බ්‍රවුන්,ජිම් කෙලී,ෆ්‍රෙඩ් විලියම්සන්,සිඩ්නි පොයිටියර් පිළිබඳ විස්තරයක් කරන්න

හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය කළු ජාතික නළුවන් අතරින් නළුවකු ලෙස වැදගත් වනුයේ සිඩ්නි පොයිටියර් විතරයි.

අද ශ්‍රීමත් පොයිටියර් ලෙස හැඳීන්වෙන ඔහු ඇකඩමි සම්මානය දිනා ගත් මුල්ම කළු ජාතික නළුවා වෙනවා.

1923 වසරේ උපන් ඔහු මෑතක චිත්‍රපටයක් රඟපෑවේ නැතත් සිනමා නළුවකු ලෙස සහ අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු කළ මෙහෙය ඉස්තරම් එකක්. සෙසු තිදෙනා අතරින් බ්‍රවුන් සහ විලියම්සන් සුපිරි පාපන්දු ක්‍රීඩකයන්.කෙලී සටන් ශිල්පියෙක්. මේ අතරින් මෑතක චිත්‍රපටයක රඟපෑවේ විලියම්සන් විතරයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව