අරාබි දුරකතනයක රන් සමනළ ජෝඩුව සිංදුව ඇහිලා

ජීවිතය ලස්සනයි දර්ශන තලයට ගිහින් එමු

හප්පේ හරිම කම්මැලියි . . .

ආනන්ද වික්‍රමගේ ගේ මුවින් ඒ වදන් වැල ගිලිහුණේ දිගු ඈනුමක් ද සමඟිනි. විවේකී ඉරිදාවක වූ එදින ආනන්දට ද විශේෂ වැඩක් නොවූයෙන් ඔහු නිවසේ සිටියේ දැඩි උදාසීනත්වයෙනි.

පත්තරේ මොනවද දන්නෑ තියෙන්නේ.

තමාගෙන්ම පැනයක් විමසාලමින් ඔහු ආලින්දයේ ස්ටූලය මත වූ පුවත්පත අතට ගත්තේ ඈලිමැලි ගතිය මඳකට හෝ එළවා දමන්නටය. ඔහු සැටියට බර දෙමින් පුවත්පතට දෑස යොමු කළා පමණි.

ගෙදර්, රක, වුදර් . . .?

දෙදෙනෙකු නිවසේ දොරට තඩිබාන්නට පටන් ගත්තේය.

කුතුහලය සහිතව ආනන්ද ඉස්තෝප්පුවට පැමිණියේ ‘කවුද?’ අසාගෙනය. ආගන්තුකයින් දෙදෙනා හැඳ සිටියේ සුදු පැහැ ලෝගුය. හිසෙහි බැඳි තලප්පා යුගළින් ඔවුන් අරාබි ජාතිකයන් බව පැහැදිලිය.

වී අරාබීස්, අරාබීස්.

අමුතුම කට හඬකින් අමතමින් දෙදෙනාම ඔවුන් අරාබිවරුන් බව කියති.

මේ අයගෙන් එක් අයකු සුදුය, උස මහතය. අනිත් කෙනා මිටිය. මුහුණ වසා ගත් දිගු රැවුලකි. දෙදෙනා අරාබි යැයි පැවසූවද ඇත්තේ සිංහල පෙනුමකි.

ආනන්ද වික්‍රමගේ මුහුණින් දෙදෙනාව හඳුනන බවක් පෙනෙන්නට නැත.

කවුද තාත්ති මේ . . .? සීත හිමිදිරියේ නොඉඳුල් හිරු කිරණින් ඔප මට්ටම්ව සුපිපුණු වතු සුද්ද මලක් බඳු යුවතිියක් මඳක් විවර වූ දොරපළු අතරින් එබිණ.

මං දන්නේ නැහැ දුවේ, අරාබියෙන් කියන්නේ මේ අය ඇවිත් ඉන්නේ. මං දන්න කවුරුවත් අරාබියෙ නැහැනේ. ආනන්ද සිය නිකට දකුණතේ දබර ඇඟිල්ලෙනුත් මාපට ඇඟිල්ලෙනුත් පිරිමදිමින් කල්පනා බරිත විය.

ආනන්ද ගැටලුවකට පිළිතුරු හොයද්දී මම ද ප්‍රශ්න පත්‍රයකට මැදිවීමි.

ආනන්දට සිටින්නේ පුතුන් දෙදෙනකු බව රටම දනී. එහෙත් ඔහු පියා වූ මේ තරුණිය කවුද?

මොකද කට්ටිය එළියට වෙලා. කවුද මේ භූතයෝ දෙන්නා. කාවද දන්නෑ හොයන්නේ?

එසේ කියාගෙන තවත් තරුණියක් එතැනට ආවාය. ඇගේ හඬින් තවත් යෞවනියන් දෙදෙනකුම පැමිණියහ. මේ අනුව ආනන්දගේ පවුලේ දියණියන් සිව් දෙනෙකි. ඒ සතර දූවරු කවුද? එමෙන්ම අරාබිවරුන් ලෙස හැඳ පැළැඳ සිටින ඔවුන් ඇත්තටම අරාබි ජාතිකයින්ද? මම ඒවාට පිළිතුරු සෙවීමට උත්සාහ කළා පමණි. එක් අරාබිවරයකුගේ ජංගම දුරකනය නාද වන්නට පටන් ගත්තේ මේ ගීතයෙනි.

රන් සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල් පාරේ

ඒ ගීතය සවනට වැදුනද මගේ මතකයට ආවේ ඔහුය. මාගේ තීරණය නිවරැදිය. උස මහත සුදු අරාබියා රන්ජන් රාමනායකය. එවලේම අනිත් අරාබිකරුවාට කිවිසුමක් ගියේ සැබෑ හඬ මතු වෙමිනි. මම ඔහු ද හඳුනා ගත්තෙමි. ඒ අනිකකු නොව විකට රජු ටෙනිසන් කුෙර්ය. රන්ජන්, ටෙනී අරාබිකරුවන් කළේ, ආනන්දට දියණියන් සිවු දෙනකු ලබා දුන්නේ සුදේශ් වසන්ත පීරිස්ය. ඒ ඔහුගේ නවතම සිනමා පටය වන ජීවිතේ ලස්සනයි වෙනුවෙනි.

රත්තරං මිනිහෙක් වැඩ බැරි ටාසන්, පිංපොං, පිස්සු පූසෝ රිදී තිරයට ගෙනා අධ්‍යක්ෂවරයා ඔහුය. ජීවිතේ ලස්සනයි ඔහුගේ 12 වැනි සිනමාපටය සේම සුනිල් ටී. ප්‍රනාන්දුගේ 53 වැනි නිෂ්පාදනය වේ. මේ ජීවිතේ ලස්සනයි හී කොට්ටාවේ දර්ශන භූමියයි.

හොඳ වෙලාවට සීන් එක ඉවර වෙද්දිම ෆෝන් එක රිං වුණේ.

සුදේශ්, රන්ජන් දෙස බැලුවේය.

අරාබිකාරයෝ කොහොම ඉන්නවද මන්දා මේ බාච්චු ඇඳගෙන (ලද විවේකයෙන් රන්ජන් තමාටම කියා ගනිමින්) අරාබි ඇඳුම ඉවත් කොට ශ්‍රීී ලාංකිකයකු වූවේය.

රන්ජන් අයියේ, දැන් කපුකම් එහෙමත් කරනවා කියලා ආරංචි වුණා?

ඒකනේ මල්ලි, චිත්‍රපටයක වුණත් කපුවෙක් වෙන එක මාර ජොලි.

අපෝ මෙයා කපුවෙක් නෙවෙයි, කපුටෙක්.

ඇයි ටෙනී අයියේ එහෙම කියන්නේ?

රන්ජන්ට කාගෙ හරි වැලමිටක් පෙන්න බැහැනේ. ඇඟිලි දෙක නවලා එකට ගහනවනේ. හරියට කපුටෙක් කොටනවා වගේ.

ටෙනී තමන්ගේ සුපුරුදු වාග් ශෛලියෙන් කියවාගෙන යයි.

මා ඊළඟට සෙවීමට උනන්දු වූයේ ආනන්දගේ දියණියන් සිවු දෙනාගේ චරිත මවන සිනමාවට ආගන්තුක ඔවුන්වය. රුවන්ගි රත්නායක, මහේෂි මධුසංඛි, මේනකා මදුවන්ති සහ නෙතු ප්‍රියංගිකා ජීවිතේ ලස්සනයි ආකර්ෂණය කරමින් සිනමා නිම්නයේ සැරිසැරීමට සූදානම් වන රන් සමනළියන් සිවු දෙනාය.

ආනන්ද අයියේ කොහොමද දියණියන් හතර දෙනා?

අම්මෝ . . . ඒ ගැන නම් කියන්න වචන නැහැ. වෙලාවකට කොච්චි කරල් හතරක් වගේ. තවත් වෙලාවක චැනල් අහුවෙන්නේ නැති වැර්ලස් එකක් වගේ. එහෙම විහිලුවට මං කිව්වට හොඳ අනාගතයක් ඇති තරුණියන් සිවු දෙනෙකු බව මට නොබියව කියන්න පුළුවනි.

දැන්, සුදේශ් තවත් දර්ශනයක් කැමරාවට නතු කර ගැනීමට ලැහැස්ති වෙයි. එය මහත් අපූරු එකක් යැයි මම පවසමි. ඒ මන්ද යත් රන්ජන් හා ටෙනී මංගල්ලයක් කතා කිරීමට ගොස් එය වැරැදී පිරිසකගෙන් ගුටි කෑමට සිදුවන බැවිනි. පිරිස ඔවුනට පහර දෙන්නේ ඒ දෙදෙනා ගසක එල්ලලාය.

නිෂ්පාදන කණ්ඩායමේ වූවෝ රන්ජන්ව සහ ටෙනීව ඉතාම සවි ශක්තියෙන් හෙබි ගසක අත්තක හිස පහතට සිටින සේ ආරක්ෂා සහිතව ගැට ගැසීය. දැන් දෙදෙනා වවුල්ලු මෙනි.

එක පාරටම දර්ශන තලයට පැමිණියේ ඇන්ටන් ජූඩ්ය.

මගේ අප්පේ . . . මේ මොකද මේ . . .

අපේ ඊළඟ සීන් එකට මෙහෙම කළේ?

ඒ සහය අධ්‍යක්ෂවරයාය.

එක අතතකින් සීන් එකකට මෙහෙම එල්ලුවාට කමක් නෑ. එතකොටවත් මොලේ ආයෙත් ඔළුවටම එන්නේ නැතෑ. ඔහුගේ ඒ කතාවට රන්ජනුත්, ටෙනීත් එකිනෙකාගේ මුහුණවල් බලා ගත්තේ එම කතාව සනාථ කරන්නටදැයි කාටත් සැකයක් පහළ විණි.

සෙසු නළු නිළියන්:

රොබින් ප්‍රනාන්දු, විල්සන් ගුණරත්න, සහන් විජේසිංහ, චතුර පෙරේරා, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, ටිරෝන් මද්දුමගේ, වසන්ත කුමාරවිල, කුසුම් පෙරේරා, ප්‍රේමදාස විතානගේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව