චණ්ඩි ශ්‍යාමා ආයෙත් ඇවිත්

ශ්‍යාමා ආනන්ද

කොණ්ඩය මුදු මුදු වගෙයි. මැණික් කැට දෙකක් වගේ ඇස්. මේ නම් හැබෑම හැඩකාරියක් බව දෝතට ගත් මුල්ම දිනයේම අම්මටයි තාත්තටයි තේරුණා. කිරිකැටි දෝණිගේ සිනමාවට කියාපු රූපය කැමරාවට අසු කර ගැනීමට මාස හයකට වඩා පමා වෙන්න පියාට හිත දුන්නේම නැහැ.

මවගේ කිරි බී නැළවෙමින් සිටි බිලිඳිය ‘සුවිනීත ලාලනී’ සිනමාපටයේ රංගනයට යොදා ගත්තේ වයස මාස හයේදීයි.

මේ පියා අපේ රටේ අති විශිෂ්ට කැමරා ශිල්පී සහ අධ්‍යක්ෂ එම්. එස්. ආනන්දයි. මව චිත්‍රපට නිෂ්පාදිකා වයලට් ආනන්දයි. ඔවුන්ගෙන් හෙළ සිනමාවට දායාද වුණු ආනන්දනීය දියණිය ශ්‍යාමා ආනන්දයි.

ශ්‍යාමාට ඒ නම ලැබුණේ මව හින්දි සිනමාවේ ශ්‍යාමාගේ රසිකාවක් වූ නිසයි. ශ්‍යාමා පනහ දශකයේ ජනප්‍රියම නිළියක්.

හයක් හතරක් නොතේරෙන වයසේදී ‘සුහද දිවි පිදුම’, ‘වෙන ස්වර්ගයක් කුමට ද’ වැනි සිනමාපටවලට පුංචි ශා්‍යමාගේ සිඟිති රංගනයන් ඇතුළත් වුණා.

‘සිලෝන් තියටර්ස් ගියේ පාසල් යනවා වගේ. කැමරාව සෙල්ලම් බඩුවකට දෙවෙනි වුණේ නැහැ. මේ නිසා ශ්‍යාමාට රඟපෑමත් සෙල්ලමකට, දඟකාරකමකට සමාන වුණා.

සත පනහ, ප්‍රවේශම් වෙන්න, සිනමාපටවලින් අපූරු ළමා නිළියක් බිහි වුණේ ඒ නිසයි.

‘ප්‍රවේශම් වෙන්න’ (1970) ශ්‍යාමාට ලැබුණු අපූරු චරිතයක්. ඒ එක් චරිතයක් නොවෙයි. ද්විත්ව චරිතයක්. හොඳ දුව හා නරක දුව ලෙස ඇය කෙතරම් සාර්ථක ලෙස රඟපෑවා ද කිවහොත් විශිෂ්ටයන් අතර පුංචි විශිෂ්ටයකු වීමට ශ්‍යාමාටත් හැකි වුණා. ඒ දීපශිඛා සම්මාන උළෙලේදීයි.

‘එදා වැස්ස දවසක්. උත්සවය පැවැත්වුණේ සුගතදාස ක්‍රීඩාංගනයේ. තාත්තා කුඩෙත් ඉහළගෙන මාව වඩාගෙන වේදිකාවට නැග්ගා. ඒ වෙන කොට සම්මානයක අගය දැනෙන වයසක හිටියා. ප්‍රවේශම් වෙන්න රඟපාද්දී වයස අවුරුදු හයක්, හතක් වුණත් සම්මානය ලැබුණේ වයස අවුරුදු එකොළහක් විතර වෙද්දී.

විසි පස් වසරක සිංහල සිනමාවට සේවය කළ අග්‍රගණ්‍ය නළු නිළියන්ට මෙහිදී සම්මාන පිරිනැමුණා. ගාමිණී, රුක්මණී වගේ . . . මේ අතර සිටි ළමා නිළිය මායි.

ශ්‍යාමාට අදටත් ඒ අවස්ථාව මිහිරි මතකයකි. සිංහල සිනමාවේ මුල්වරට ද්විත්ව චරිතයක් ළමා නිළියක ලෙසින් රඟපා අත්දැකීම් ලබා සිටි ශ්‍යාමා නව යෞවනියක ලෙස ඒ දස්කම පෙන්නුවේ ‘චණ්ඩි ශ්‍යාමා’ සිනමාපටයෙන්.

චණ්ඩි ශ්‍යාමා (1978) ට ප්‍රේක්ෂකයන් කොතරම් ආදරය කළා ද කිවහොත් එය ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වුණා. ඒ වාගේම ශ්‍යාමාට සිනමා ජීවිතයේදීම අමතක කිරීමට බැරි චරිතයක් ලැබුණේ මේ කාලයේදීමයි. ඒ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘ගැහැනු ළමයි’ සිනමා පටයේ පද්මිණී.

‘චණ්ඩි ශ්‍යාමා’ බලලා ශ්‍යාමාට ආදරය කළ ප්‍රේක්ෂකයෝ ‘ගැහැනු ළමයි’ පද්මිණී බලන්න යන්නත් අමතක කළේ නැහැ. ගැහැනු ළමයි රඟපාද්දී ශ්‍යාමාගේ වයස අවුරුදු දහතුනයි.

චණ්ඩි ශ්‍යාමා අපේ සිනමාවට පළමු ක්‍රියාදාම වීරවරිය බිහි කළ සිනමාපටයයි.

චණ්ඩි ශ්‍යාමා

තමන්ගේම නමින් සිනමා රැල්ගක් ඇරැඹීමට අධ්‍යක්ෂණයෙන් උදව් වුණේ ශ්‍යාමාගේ පියා එම්. එස්. ආනන්දමයි.

මගේ නංගී ශ්‍යාමා (1975), චණ්ඩි ශ්‍යාමා (1978), හලෝ ශ්‍යාමා (1982), මම බය නෑ ශ්‍යාමා (1995) ඒ සිනමා නාමාවලියයි.

‘මුළු ළමා කාලයම සිනමා නිළියක් ලෙසින් ගෙවුණත් පාසලේදී නම් ශ්‍යාමා හිටියේ නිළියක් නොවෙයි වගේ. ඒත් ශ්‍යාමා අකුරු කළ ශාන්ත බ්‍රිජට් පාසලේ විදුහල්පතිනිය, ගුරුවරු කලා කටයුතුවලදී ශ්‍යාමාව අනිවාර්යයෙන්ම එක් කර ගන්න අමතක කළේ නැහැ.

‘රඟපාන්නෙ ළමයකු නිසා දර්ශන තලයේදී අපූරු දේවල් සිදු නොවුණාම නොවෙයි. සමහර වැඩිහිටි නළුවන් කරන කෙළිකවටකම්වලින් ශ්‍යාමා කෙතරම් කෝපයට පත් වුණත් ඒ නළුවන්ගේ දියණිය ලෙස කැමරාව ඉදිරියට එද්දී ආදරණීය, සුරතල් දියණියක ලෙස රඟපෑවේ හරි අපූරුවටයි. ජීවරාණි සහ මාලිනී ශ්‍යාමාගේ සිත්ගත් නිළියන්. නළුවන්ගෙන් ඇයට ගාමිණී මහතා විශේෂයි.

“චණ්ඩි ශ්‍යාමා” රූගත කළේ ගාමිණී මහතාගේ නිවෙස පිහිටි රත්මලාන අවටයි. ෂූටිං නැති වෙලාවට ඔහුගේ දූ දරුවන් එක්ක සෙල්ලම් කළා.

රෝයි - සුමනා සමඟ රඟපෑමත් හරිම විනෝදබර අත්දැකීමක්’ ශ්‍යාමා පවසන්නීය. මාපියන් ද හොඳ හින්දි සිනමා රසිකයන් නිසාදෝ ශ්‍යාමත් හොඳ හින්දි රසිකාවක්. පාසල් ශිෂ්‍යාවක් ලෙසින් ඇය රාජේශ් ඛන්නා සහ අමිතාබ් බච්චන් හමුවන්නට යාම එකල මෙරට පුවත්පත්වල මුල් පිටුවල පළ වුණා.

‘ඒ අය හරිම හොඳයි. මං රාජේශ් ඛන්නා බලන්න යද්දී ට්වින්කල් අත දරුවෙක්. ඩිම්පල්වත් දැක්කා.’

අදටත් හින්දි සිනමා පටයක වින්දනය ලබන්නට ශ්‍යාමා අමතක නොකරන්නීය.

ශ්‍යාමා චිත්‍රපට මාලාවෙන් නව යෞවනියක ලෙස තිරයට ආ ශ්‍යාමා අවසන් වරට රඟපෑවේ ‘හලෝ ශ්‍යාමා’ සිනමාපටයේ. ඒ වන විට ශ්‍යාමාගේ වයස අවුරුදු 18 ක්. ඇය සමඟ රඟපෑ සාලිය පෙරේරා ඇයගේ සැබෑ ජීවිතයේ පෙම්වතා වුණා. ඔහු සමඟ අතිනත ගැනීමත් සමඟ ශ්‍යාමා සිනමා ජීවිතයෙන් දුරස් වුණේ, මවු බිමෙන් ද දුරස් වෙමින්.

දැන් ඇය වසරක් පාසා ලංකාවට එනවා. අනාගතයේ නැවත මවුබිමේ ස්ථිර පදිංචියට පැමිණෙන සුබ ප්‍රාර්ථනය ද ඇයගේ හිතේ කොනක තිබෙනවා. ඒ කලා උපාධිය හදාරමින් සිටින පුතු ද අපේ සිනමා කලාවට දායාද කිරීමේ ආදරණීය ප්‍රාර්ථනය ද සමඟින්.

කෙතරම් සුන්දර යෞවනියක වුණත් ශ්‍යාමාට ලැබුණේ තිරයේ දඟකාරිය, සටන්කාරිය හෝ අහිංසකාව වීමට පමණයි. ඇයගේ යොවුන් සිතෙහි පෙම්වතියක වීමේ සිහිනය නොතිබුණා නොවෙයි. එහෙත් පියාගෙන් ශ්‍යාමාට ඊට නම් අවසරයක් ලැබී නැත.

පෙම්වතියක නොවී ජනතාව අතර මෙතරම් ජනප්‍රිය වුණු එකම ප්‍රධාන නිළිය ද තමන් වීම ගැන නම් ශ්‍යාමාට බෙහෙවින් ආඩම්බර වීමට පුළුවන. ඒ එසේ විය හැක්කේ සැබෑම රංගන හැකියාවක් ඇති අයකුට පමණක් නිසාමය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව