නර්තන රැජන රසිකයන් හමුවට ආ දවසේ

නේ ක තරු පන්ති, අපූර්ව රටා මැවූ රාත්‍රිය පහන් වුණා. උදෑසන සීතල පිනිබිඳු ප්‍රමෝදයට පත් කරමින් නැඟුණු සූර්යාලෝකය මෙදින සරසවිය අපට මෙන්ම පාඨක ඔබට ද නැවුම් දිනයක අසිරිය ගෙන ආවේ සිත් සතුටු කරමිනි.

ඒ සරසවිය පාඨක ඔබ වෙත තිළිණ කරන ‘තරු මිහිර’ක උදාව සමඟින්. පසුගිය බදාදා දින සරසවියට පැමිණි අපේ පාඨක මිතුරන් වන,

රුවන්වැල්ල උදයන්ත සිරිසේන,

මට්ටක්කුලිය ෆ්‍රෑන්ක් කුරුකුලසූරිය,

අම්බලන්ගොඩ චන්ද්‍රසිරි මානවඩු,

කළුතර උපුලි ප්‍රියදර්ශනි හා

පන්නිපිටිය කුමුදුනි කරුණාරත්න

යන අය මග බලා සිටියේ ඒ සොඳුරු නිමේෂය උදාවන තුරුයි. තරු මිහිර සඳහා තෑගි බෝග ලබා දෙන ලක් සළුසල ආයතනයේ නියෝජිත පිරිස ද තව මොහොතකින් ළඟා වනු ඇත. අපේ මිතුරන්ට මේ මොහොත උදාවන තුරු ඉවසිල්ලක් ඇත්තේම නැත.

මේ හිතවතුන් සරසවිය ඡායාරූපගාරයට වී ඔවුනොවුන්ගේ ආගිය තොරතුරු විමසමින් සිටින අතරතුරදී අපේ ආදරණීය අමුත්තිය ‘තරු මිහිරට’ සැබෑම මිහිරියාවක් එක් කරමින් ආවාය.

ඒ අන් කවුරුවත් නොව මෙවර තරු මිහිර සාද තෙපුල්වලින් පුරවන්නට එක්වන කලා තාරකාවයි. ඒ නර්තන රැජන ලෙස කිරුළ පළන් අනූෂා දමයන්තිය.

ඇගේ පැමිණීමෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් අපේ පාඨකයන් ඈ වටා රොද බැඳ ගත්තේ අසීමිත සෙනෙහසකිනි. දැන් ආගිය තොරතුරු විමසීමට අවස්ථාවයි.

‘අනූෂා ඔයාගේ පළමු චිත්‍රපටය මොකක්ද?’ ඒ කුමුදුනීය.

රෝයි ද සිල්වා මහත්මයා අධ්‍යක්ෂණය කළ ‘චෙරියෝ ඩාලින්’.

ඔයා නර්තනයට අපූරු හැකියාවක් දක්වනවා. කුඩා කල ඉඳලම නර්තනයේ යෙදෙනවාද?

උදයන්තගෙන් පැනයක්.

‘මගේ සීයා නාට්‍යකරුවෙක්. එයා ජී. එච්. රාජකරුණා. ඒ ආභාෂය ලබලා මගේ අම්මා කුසුම් කුමාරි නර්තනය, රංගනය ප්‍රගුණ කළා. මේ දෙදෙනාගේම ආභාෂය මා මවු කුස පිළිසිඳ ගත් දා සිටම තියෙනවා. ඇත්තටම මගේ ලේ වලම රැඟුම පිහිටලා තියෙනවා.’

ඔයාගේ නම මොකක්ද? පෙරළා අනූෂාගෙන් පැනයක්.

සියල්ලට පෙර නැඟී සිටි කුමුදිනි සැවොම අනූෂා වෙත හඳුන්වා දුන්නා.

මොකද මේ උපුලියි, චන්ද්‍රසිරියි ශබ්ද නැත්තේ? ඒ අනූෂායි.

මම කොහොමත් නිහඬයි. නමුත් කලාවට බොහොම ලැදිය. ඒ උපුලියි.

‘මොකක්ද මේ පොත?’ චන්ද්‍රසිරි අතේ ඇති පොත පෙන්වමින් අනූෂා ඇසුවාය.

‘මේ මම මෙතෙක් සරසවියට යොමු කළ ලිපි, කවි, සුබපැතුම් එකතු කළ පොත.’

අනූෂා නාරිලතා මල දැකලා තියෙනවද? ඒ චන්ද්‍රසිරි මානවඩුය.

මේ ෆොටෝ එකේ තියෙන්නේ නාරිලතා මල, මට හිමාලයට ගිය මිතුරෙක් දුන්නේ.

‘අනේ හරිම ලස්සනයි! ඇත්තටම නාරිලතා මල සොබා සෞන්දර්යයේ අපූරු නිමැවුමකි. මුළු මල පුරාම විහිද ඇත්තේ ස්ත්‍රී නාරි ලාලිත්‍යයයි.

පැත්තකට වී නිහඬව සිටි උදයන්ත නැවතත් ප්‍රශ්නයක් අසයි.

ඔයා නර්තන ප්‍රසංගයක් කරන්නේ නැතිද?

‘මෙහෙමයි, මගේ අදහසක් තියෙනවා අමුතුම මාදිලියේ ප්‍රසංගයක් කරන්න. ඒක ආවට ගියාට කරන්න බැහැ. හොඳට ප්ලෑන් කරලා කරන්න ඕනේ.’

අනුෂා, ඔබට යම් චරිතයකට හිස බූ ගාන්න කියලා විශාල මුදලක් ගෙව්වොත් ඔබ හිස බූ ගානවද? ඒ චන්ද්‍රසිරි මානවඩුයි.

‘මට මුදල්වලට වඩා මගේ කොණ්ඩය වටිනවා. නමුත් යමක් කළ හැකි ගැඹුරු චරිතයක් නම් තීරණය ගැන දෙපාරක් හිතනවා.

‘උදයන්ත ඔයාට නටන්න පුළුවන්නේ. අපි ෆ‍්‍රෑන්ක්ට සිංදුවක් කියන්න ඉඩ දීලා ඔයයි මායි නටමු.

ෆ‍්‍රෑන්ක් එච්. ආර්. ජෝතිපාලයන්ගේ ‘සිරියාමේ සාරා’ ගීය ගයයි. උදයන්ත හා අනූෂා ඒ අනුව නටයි. අනෙක් පිරිස තාලයට අත්පොලසන් දෙයි. මේ පිරිස සරසවිය ඡායාරූපාගාරයේ ඉතාමත් සතුටිල් ඉපිල යමින් සිටින විටදි අපේ ත්‍යාග අනුග්‍රාහකයා වන ‘ලක් සළුසල’ ආයතනය නියෝජනය කරමින් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලක් සළුසල ආයතනයේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරිනී නව පරපුරේ නිළි රෝමා රෝෂි පැමිණියාය.

අනූෂා හා රෝමා උණුුසම් අන්දමින් පිළිගත් පාඨක පිරිස අල්ලාප සල්ලපායෙහි යෙදුණේ දෙදෙනාම සෙනෙහසින් තුරුළු කර ගනිමිනි. එකිනෙකා අතර සමරු සටහන්, තෑගි භෝග හුවමාරු වුයේ සදා නොමැකෙන මොහොතක් කැමරා කාචවල සටහන් කරමිනි.

ලක් සළුසල ආයතනයෙන් ලබා දෙන තෑගි ද ලබා ගනිමින් පාඨකයන් සතුටින් පිනා යමින් ගෙවූ සුන්දර මොහොත ක්‍රමයෙන් ගෙවී ගියේ සරසවිය පිටු අතර තවත් සුන්දරම මොහොතක් එක් කරමින්.

අවසන් මොහොතේ ඔවුනොවුන් උණුසුම්ව සුබපතා ගනිමින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමු ගන්නා මොහොත කාගෙත් නෙතට කඳුලක් මෙන්ම සතුටක් ද එක් කළේය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව