කැන්දන් යන්න ආවලූ අහසේ හිරු කුමාරයා

උරේෂා යුගදිවි ගමන අරඹයි

උදාවුණු 2012 නව වසරේ කලා ලොවට මංගල සීනු හැඬවෙන වසරක් වේවිද? අපට මෙහෙම හිතුණේ වසරේ ආරම්භක මාසයේම මංගල ගමනට යන්න සූදානම් වුණු තවත් යුවතියක් ඇස ගැටුණු නිසයි.

‘උරේෂා රවිහාරි’

‘උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ
පුංචි ඒ කතන්දරේ – අක්කේ දැන් අහන්නකෝ . . .’

උරේෂාගේ නම කියන කොටම අපගේ මතකයට නැඟෙන්නේ මල්සර දෝණි චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ සමඟ ඈ රඟමින් ගයන මේ සුන්දර ගීතයයි. මේ ගීතය නිසාම රටක් දන්න පුංචි දෝණි හෙට දිනයේ කුල කුමරියක් වී කුල ගෙයට පා නඟනවා. ඒ බොහොම සතුටින්.

‘උරේෂා විවාහ වෙන්නේ කවදාද?’

නිතරම ඇගෙන් මේ ප්‍රශ්නය අහන ඇගේ ආදරණීය රසිකයන්ට මේ පණිවුඩය නම් සුබම සුබ ආරංචියක් වේවි නේද?

සුන්දර මනාලියක් ලෙසින් පති කුලයට පා නඟන්නට සිටිනා ඒ සොඳුරු යුවතියගෙන් අප විමසුවා.

‘ඒක නම් ඇත්තම කතාවක්. මට ආදරය කරන මගේ රසික රසිකාවන්ට වගේම ඒ සුබ ආරංචිය නිසා සතුටුවන තවත් පිරිසක් මගේ වටේ ඉන්නවා.’

‘කවුද ඒ?’

අපි ඇහුවේ ඈට අමතක නොවුණු ඔවුන් පිළිබඳත් යමක් කියන්න ඉඩ දෙමින්.

‘ඇයි අමතක වුණාද, මගේ අවට ඉන්න දයාබර කලා ශිල්පිනියන් වගේම ශිල්පීන්. මම නියෝජනය කරන්නේ ගායන ක්ෂේත්‍රය වුණාට, රංගන ක්ෂේත්‍රය ඇතුළු කලාවට සම්බන්ධ අනිකුත් සෑම ක්ෂේත්‍රයකම අය මට ගොඩක් ආදරෙයි. ඔවුන් මගේ දියුණුව වගේම යුවතියක් විදියට විවාහය පිළිබඳත් මට මතක් කර දුන්නා. ඒ හැමෝටමත් මේ ආරංචිය සුබ වෙන්නේ ඒ නිසාමයි.’මේ හැම කෙනකුගේම සුබපැතුම් වගේම ආදරය ඔයාට ලැබුණ එක් සාධකයක් වුණේ ඔයාගේ තාත්තා ධර්ම ශ්‍රී වික්‍රමසිංහ නිසා කියලා කිව්වොත් ඒක ඇත්තක්ද?

‘ඇත්තටම මේ හැම දේම ලැබෙන්න මූලික අඩිතා

ලම වැටුණේ මගේ ආදරණීය තාත්තා නිසා තමයි. ඒ්ක මම කියන්නේ බොහොම ආඩම්බරයෙන්. ඔහු පෙන් වූ මාර්ගය දිගේ මම දුර ගමනක් ආවා. ඒ ගමනට තාත්තා වගේම මගේ අම්මාත් මා ළඟම සිටියා. ඈවත් ආදරයෙන් මතක් කරන්නම ඕනෑ. මගේ දක්ෂතා දැන හැඳිනගෙන මම කැමැති ක්ෂේත්‍රයට යොමුවීමට මට උදව් කළ ඔවුන්ට මා සදා ණය ගැතියි.’

සුපුරුදු අවිහිංසක සිනාවෙන් උවන හැඩවුණු ඇගේ ස්වරයට කාගේ වුව ද සිත් බැඳේ. අම්මා, තාත්තා, සිය සොහොයුරාට අමතරව උරේෂාට ආදරය කරන්නට තවත් කෙනෙක් ඇගේ හදවතට එබිලා.

කවුද මේ තරම්ම උරේෂාගේ හිත ගත්ත අත ගන්නා මනමාලයා?

‘එයාගේ නම රුචිර නදීර. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වුණු රුචිරගේ පදිංචිය කඩවත ප්‍රදේශයේ. එයා අම්මාගේත්, තාත්තාගේත් ලොකු පුතා. සහෝදරියන් දෙන්නෙකුගේ වගේම සහෝදරයන් දෙන්නෙකුගේ ලොකු අයියා. බොහොම වගකීම් බර චරිතයක්. බොහොම සරල, සැහැල්ලු, බොරු අහංකාරකම් නැති සාමාන්‍ය විදියට ජීවත් වෙන්න කැමැති කෙනෙක්. මුලින්ම රුචිර මගේ හොඳ රසිකයෙක්, යාළුවෙක්. මගේ ගීතවලට බොහොම ආදරය කළ කෙනෙක්. ඔහු ඉඳලා හිටලා මට කතා කරන්නත් අමතක කළේ නැහැ.

යාළුකම නිසා බැඳි හාදය දුර දිග ගියා. හැබැයි ඒ හාදකමට වැඩි කාලයක් නෑ. හරියට අද ඊයේ වගේ.

‘රුචිරගේ පශ්චාත් උපාධිය ගන්න අධ්‍යාපන කටයුතුවලට හදිසියේම කොළඹට එන්න සිදු වුණා. මෙන්න මේ අතරෙදි තමයි ඔහු මාව මුණ ගැහෙන්න එන්න ද කියලා අහන්නේ. අම්මාගෙන්, තාත්තාගෙන් අවසර අරගෙන ඔහු මාව බලන්න එන්නේ යාළුවෙක් විදියටයි. එදා ඇවිත් ගිය ගමනින් පස්සේ රුචිරගේ කතාව වැඩි වුණා. අපේ අම්මාත් තාත්තාත් සමඟ ඔහු බොහොම හිතවත් වුණා. මේ අතරෙදි තමයි ඔහුගේ පවුලෙන් අපේ පවුලට විවාහ යෝජනාවක් ගේන්නේ. ඔහුත් සමඟ කළ කතාබහෙන් මා සොයන පුද්ගලයා ඔහු බව මට වැඩි දවසක් යන්නට මත්තෙන් දැනුණා. ඒ නිසා මම රුචිර ගෙනා යෝජනාවට කැමැති වුණේ බොහොම සතුටින්. මේ විවාහ වෙන්න හොඳම කාලේ කියලා දැනුණේ ඔහු නිසාමයි. රුචිරගේ නිවෙසින් ගෙනාව යෝජනාවට අම්මාත්, තාත්තත් කැමැති වුණේ බොහොම ඉහළින්. ඔවුන් හැමෝගේම ආශිර්වාදය මැද්දේ හෙට දවසේ ගාලු මුවදොර හෝටලයේදී මම රුචිරගේ අත ගන්නේ එළැඹෙන සුබ මොහොතින්.’

බොහොම චාම් විදියට කෙරෙන මංගල උළෙලට නෑදෑ හිතවතුන්ට වගේම හදවතට ගොඩක් සමීප අයටත් ආරාධනා කිරීමට සැරැසෙන උරේෂා රවිහාරිට රුචිරගේ හිත ගියා.

‘විශේෂ හේතුවක් තියෙනවාද?’

‘ක්ෂේත්‍රයේ ඉන්න විදියට, ක්ෂේත්‍රයේ හැමෝම සමඟ ගනුදෙනු කරන විදියට මගේ ගති ගුණ වගේම මම සාමාන්‍ය කෙනෙක් කියන හැඟීම ඔහුට දැනෙනවා. ඒ නිසා ඔහු මට කැමැති වුණා. ඒ පැහැදීම නිසා ඇති වුණු අපේ ආදරය මල්ඵල ගැනෙන දවසට මාව හැඩ ගන්වන්නේ මරීනා පෙරේරා. මනාලයන්ගේ ඇඳුම් කඳානේ රොෂාන් ප්‍රදීප්, මගේ මංගල ඇඳුම නිර්මාණය කළේ දෙෂානා. ආභරණ දිමාල් ගොයින වේ ඇඳුම නිර්මාණය කළේ චරිත් විජේසේකර. මල් සැකසුම දිලුම්. කේක් එක නිර්මාණය කළේ හසිතයි. මගේ යෙහෙළියන් විදියට සඳුනිත්, ශානිකාත් වගේම යහළුවන් විදිියට සෙනිත්, කැලුම් කියන යහළු යෙහෙළියන් පෙනී සිටිනවා. මල් කුමාරයා දම්සරයි. මල් කුමාරි දැහැමියි. අපි පෙනී සිටින මේ සුන්දර දර්ශන කැමරා ගත කරන්නේ ජෙහාන් විජේරත්නයි.

හෙට දවසේ මනාලියක් ලෙස සැරැසෙන සුන්දර උරේෂාට අපූරු මංගල තෑග්ගක්. ඒ සිනමාවේ හැට පස් වසර සිහි කරමින් දොරට වඩින කුස - පබා චිත්‍රපටයයි. පබාගේ චරිතයට පණ පෙවූ පූජාට ඈ ගී ගයනවා.

‘මේ තරම් සුවිශේෂී වූ චිත්‍රපටයකට පසුබිම් ගීතයෙන් සම්බන්ධවීමට ලැබීමත්, එහි මංගල දර්ශනය මගේ මංගල්‍යය දවසකට පෙරදා තිරගත වීමත් අහම්බයක්. මේ ගැන කියන්නත් බොහෝ දෙනෙක් මට කතා කළා. ඔවුන් කියන්නේ මේක නම් බොහොම සුවිශේෂී සිද්ධියක් කියලයි. ඒ වගේම රෝහණ වීරසිංහයන් වගේ ප්‍රවීණයකුගේ සංගීතයට ගී ගැයීමට ලැබීමත්, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයකට ගී ගැයීමට මා තෝරා ගැනීමත් මගේ ජීවිතයේ සුන්දර මතකයන්. ඒ වගේම මේ සිදුවීම මට ගොඩක් විශේෂයි.’

ජල දාරාවේ – කිංකිණි රාවේ
හඬ මිහිරියි - මිහිරියි මිහිරිය
රළ මාලාවේ – වේලාවේ

ඈ පබාට ගැයූ ගීතය ගයන්නේ මිහිරි හඬින්. ඉදිරියටත් ඒ ගී හඬින් රසික හදවත සොරා ගන්නට උරේෂාට හැකියාව ලැබේවි. ඒ කුස - පබා ඔස්සේ. ඒ විතරක් නෙමෙයි රුචිරගේ හිත හොරා ගත්ත උරේෂාගේ හෙට උදා වෙන සුන්දර දිවියට අප සුබපැතුම් ගෙනෙන්නේ හදවතින්මයි. උරේෂා - රුචිර ඔබ දෙපළට සරසවියෙන් සුබ මංගලම්!

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව