අපේ අම්මා පෝදා පුන් සඳ වගේ

කුමාරි මුණසිංහ තම ආදරණීය මෑණියන් පිළිබඳ සිහිපත් කරයි

රාත්‍රිය ගෙවී හිරු නැෙඟන්නට ඇත්තේ හෝරා කිහිපයකි. ඒ ඇසිල්ලේ අපි කඩවත ප්‍රදේශයෙන් හැරී සැතපුම් කිහිපයක් ඈතින් ගනේමුල්ලෙ හි පිහිටි කුමාරිහාමි ගුරුතුමියගේ නිවෙස සොයා ගමන් කරමින් සිටියෙමු.

ඒ මේ භවයේදී අප ඈ මුණ ගැහෙනා අන්තිම මොහොත දැක ගන්නටය. සුදු ඔසරියකින් සැරැසුණු ඕ උඩුකුරුව, නිහඬව, නිසලව වැතිරී සිටින්නීය. ඒ අසලම සිටින්නේ අප හඳුනන ඇයයි.

‘කුමාරි මුණසිංහ’ නොහොත් අප හැමටම ඇය දයාබර කුමාරි අක්කාය. ඈ කුමාරිහාමි ගුරුතුමියගේ ලොකු දෝණියන්දෑය. රටක් ආදරය කරන කලා ශිල්පිනියකි. රූරා වැටෙන කඳුළු අතරින් සිහින් ඉකිබිඳුමක් නැඟේ. ඒ ඉකිබිඳුම ඔස්සේ සිය ආවේගය මුදා හරින්නට කාලය දුන් අප හා කුමාරි අක්කා සිය මෑණියන්ගේ සමු ගැනීම පිළිබඳ මෙසේ පවසන්නීය.

‘එදිනත් මා කාර්යාලයට පිවිසියේ සුපුරුදු ලෙසටමය. ගත වූයේ හෝරා කිහිපයකි.

‘අක්කේ අම්මා කතා කරන්නේ නෑ ඉක්මනට එනවද?

දේවිකා නංගීගෙන් ලැබුණු දුරකතන ඇමතුම ඔස්සේ අප ගනේමුල්ලට ගියා නොව ඉගිල්ලිණ . ඒ වනවිටත් රෝහලට රැගෙන යෑමට කටයුතු සියල්ල සම්පාදනය කර තිබුණු නිසාම ඇයව ගම්පහ රෝහලට ඇතුළත් කිරීම විගසින් සිදු විය.

එහි සිටි කාර්ය මණ්ඩලය තම නිවෙසට පැමිණි රෝගියා බේරා ගැනීමට යුහුසුළු විය. ඒ ප්‍රතිකාර නිසාම අම්මා නැවත කතාබහ කළේ අපගේ සිත්හි තිබුණු බිය පහ කරමිනි. ඈ අසලටම වී දේවිකාත්, මංගලිකාත්, මමත් පසු වූයේ සතුටිනි.

ඒ සතුට ඇගේ සිතෙහි ද වන බව අපට පසක් වූයේ ඇගේ උවන දෙස විමසිල්ලෙන් බලද්දීය. සැදෑ අඳුර කෙමෙන් කෙමෙන් රෝහල වසා පැතිරිණ. රාත්‍රී 10.30 ට පමණ ඇගෙන් මා සමු ගත්තේ ඊට පසු දින හිමිදිරි පාන්දරම ඇයව බැලීමට පැමිණෙන බව සපථ කරමිනි.

ඇය මට යන්නට නොදී මගේ අත බදා වැළඳ ගත්තාය. මල්ලිකා නංගී ඈ අසල නවාතැන් ගත්තේ තමා අද එහි සිටිය යුතුම බව ද කියමින්ය. ජීවිතයක අරුමය කුමක්දැයි හඟවමින් මා ඊළඟ දිනයෙහි දුටුවේ දිගු කාලයක් මව් සෙනෙහසින් මා සැනසූ මගේ මවගේ සීතල සිරුර නොවේද?’

තමා හා ගෙවුණු අවසාන පැය කිහිපය සිහි කරන්නට මෙන් මල්ලිකා සිය මවගේ දෙණ දෙස බලා සිටින්නේ ඇසිපිය නොසොල්වමිනි. ඈ ඒ අවසාන හෝරාවන් තම මතකයෙන් ඇද අප ඉදිරියෙහි පෙළ ගැස් වූවාය.

‘මට නාගිත හාමුදුරුවන්ගෙන් පිරිත් අහන්න ඕන.’

අම්මා තමා හා කතා කළ අවසාන වචන පෙළ එය නොවේදැයි මතකයට නැෙඟනා මොහොතක් පාසා මගේ හදවතෙහි නැෙඟන්නේ සිහින් රිදුමකි. මධ්‍යම රාත්‍රියේදී කළ ඒ ඉල්ලීම කෙසේ නම් ඉටු කරන්න දැයි මම දහ අතේ කල්පනා කළෙමි.

ඒවේලෙහි මට දැනුණු අසරණ බව එතෙක් මට කිසිදු දිනක නොදැනිනි. අහම්බෙන් මෙන් මගේ නෙත ගැටුණේ පිරිත් පොත් කිහිපයකි. මම ඈ අසල හිඳිමින් තුන් සූත්‍රය සජ්ඣායනය කරන්නට පටන් ගත්තෙමි. ඒ අතර ඈ කළ බොහෝ හොඳ දේ ද මතකයට නැඟීමට මම අමතක නොකළෙමි.

ඈ මගේ අත අල්ලා ගත්තේ අතීතය සිහිවීම නිසා යන සිතුවිල්ල මට අරුමයක් නොවීය. මම නැවතත් පිරිත් කියන්නට පටන් ගත්තෙමි. ගෙවී ගිය හෝරා කිහිපයේ ඈ නොසොල්මන්ව පිරිත් අසා සිටිනා බව මට දැනුණි. එනමුදු පිරිත් අසා සිටියදීම ඔබ අප අතහැර ගිය බව මට නොදැනුණේ මන්දැයි මම තවම කල්පනා කරන්නෙමි.’

රටක් වටිනා දූ පුතුන් අට දෙනෙකු බිහි කළ යාපා මුදියන්සේලාගේ යාපා බණ්ඩාර වසන්ත තිලකා කුමාරිහාමි යාපා බණ්ඩාර සිය අවසාන නින්දෙහි සැතපී සිටින්නේ මහත් වූ ආඩම්බරයක් සිය හදවත රුවාගෙන නොවේද යන සිතුවිල්ල ඈ දෙස බලා සිටිනා මගේ සිතට පිවිසෙන්නේ ඉබේමය.

‘ලොකු මල්ලී මංගලත්, සුදු මල්ලී ශ්‍යාමත්, පොඩි නංගී ධම්මිකාත්, චූටි මල්ලි අනුරත්, කිරිමල්ලී සහන් හා කිරි නංගී ඥානසිකා ඔබගේ දෙණ වටා සිටින්නේ බොහෝ දුකෙනි. එමෙන්ම පුංචි ආඩම්බරයක්ද ඔවුන්ගේ සිත වෙළෙන බව මට හැඟේ.

මන්ද ඔබ වැනි ශ්‍රේෂ්ඨ මවකගේ දරුවන් ලෙස ඉපදීමට ලැබීමය. සිය සැමියා හා ඔබ විඳී දුක් අපමණය. දේශපාලන හේතූන් මත දුෂ්කර ප්‍රදේශවලට ඔබ දෙපළට මාරු කර යවද්දී ඔබ ඒ සියල්ල ඉවසූයේ මැදහත් සිතිනි.

ඒ සියලු දුක් විඳිමින් ඔබ අප හැදූවාය, වැඩුවාය. අප පමණක් නොව ගුරුවරියක් ලෙස තම පාසලෙහි දුවා දරුවන්ට අධ්‍යාපනය පමණක් ලබාදීමෙන් ඔබ සෑහීමකට පත් නොවූවාය. යහපත් ජීවිතයකට අවශ්‍ය වූ උපදෙස් පමණක් නොව ජීවිතය ජය ගැන්මටත් අත්වැලක් වූවාය.

සමහර දරුවනට ගුරුවරියක පමණක් නොව ඔබ මවක් වූයේ සියලු විය හියදම් දරමිනි. ඔවුන්ට තම නිවෙසටම රැගෙන විත් රැක බලා ගත්තේ තම කුසෙන් වැදූ දරුවෙකු ලෙසිනි. එසේ හැදූ වැඩූ දරුවෙකු ඔබගේ මළගම දැනගත් විගස විදේශගතව සිට පැමිණියේ ඔබට ගෞරව දක්වන්නටය.

නිමක් නොමැති ඔබගේ ගුණ කඳ මේ යයි කියා නිම කළ නොහැකිය. ඔබ හොඳ ලොවකට ගමන් කරනා බවට සැකයක් අප වෙත නොවේ. මේ පිළිබඳ විමසන විට මගේ සිතට පිවිසෙන්නේ පසුගිය දිනක ඔබට අසනීප වී රෝහල් ගත කළ එක් අවස්ථාවකදී ඔබ කියූ අපූරු කතාවකි. මෙම අවස්ථාවේදී ඔබට කොපමණ අසනීප වීද යත් ඔබගේ හදවත වැඩ කළේ යන්ත්‍රයක ආධාරයෙනි.

එක්වරම හදවත අක්‍රීය වූ ඔබ පියවි ලොවට යළි පැමිණියේ දෙවියන්ගේ හාස්කමකින් මෙන්ය. මෙවේලෙහි ඔබ මා කැඳවා කියූ ඒ අපූරු සිදුවීම මගේ සිතෙහි මියෙන තුරාවටම සටහන් වනු නොඅනුමානය.

‘පුතේ එක පාරටම මගේ ඇස් දෙක පිය වුණා. සුදු ඇඳගත් බොහොම සුන්දර දෙපිරිසක් මගේ ඇඳ දෙපැත්තේ හිටියේ පේළි දෙකක් විදියටයි. ඒක බොහොම සුන්දර දර්ශනයක්. හරියට දෙවියන් පේළි දෙකකට හිටියා වගේ. ඒත් එක්කම මම පියවි ලෝකයට ආවේ ඔයාලගේ හඬ ඇහුණ ගමන්.’

ඔබ කියූ ඒ කතාවට මගේ සිතේ ඇති වුණේ පුදුමයකි. ඔබ තම දරුවන්ට තරමටම සිය බෑණාවරුන්ට හා ලේලිවරුන්ට ද ආදරය කළ අයුරු මම දනිමි. ඔබ මිය යන මොහොතේ ජැක්සන් ලංකාවේ නොසිටිය ද ඔහුගේ මව නැති අඩුව පිරිමැසුණේ ඔබගෙනි.

ඔහුට ඔබ නැති අඩුව මහ මෙරක්සේ දැනෙනු නියතය. සියලු දේ මෙසේ සිදු වුව ද සැමදාම අපි එක් දෙයක් පතන්නෙමු. ඒ ඔබ යළි සසර සරනාතුරාවට අපගේ මව වී උපදින්නටය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව