FEEDBACK

මතකයේ රැඳුණේ මෙපමණයි

චිත්‍රපට දහ අටක් තිරගත වූ 2011 වසරේ යමක් කර ඇති හෝ කතා කළ හැකි චිත්‍රපට ලෙස ඇත්තේ සිංහාවලෝකනය, මහින්දාගමනය, ගාමනී, ධීවරී සහ සෙල්වම් යන චිත්‍රපට පමණි. අනෙක් චිත්‍රපට මේ වන විටත් අපගේ මතකයෙන් බැහැර වෙමින් පැවතීම සිංහල සිනමාවේ සුබ ලකුණක් නොවේ. ලැබුවා වූ 2012 වසර තුළදීවත් සිනමාවේ ඉදිරිය සුබ වේවා යැයි පතමි.

තල්පේ ගිනිගල - ඉන්ද්‍රනාත් පී. ගමගේ


පූජා ඔබේ හඬ අපූරුයි

පූජා ඔබ මුලින් ලාංකේය සිනමාව වර්ණවත් කිරීමට පැමිණි මුල් කාලය තුළ නදීශා හේමමාලි විසින් ඔබේ රුවට ඇගේ හඬ මුසු කරමින් ඔබට නව ප්‍රාණයක් දුන් වග අප දනිමු.

අද වන විට කුස පබා තුළින් අපට ඔබේම මධුර හඬ අසන්නට හැකි වීම කෙතරම් අපූරුද? පූජා සිනමාව උදෙසා ඔබ කරන කැපවීම විශිෂ්ටයි.

රුක්මණී දේවියගේ වේගවත් ඉක්මන් උච්ඡාරණය මට ඔබේ හඬින් නැවත නැවත සිහියට නැඟේ.

කමලා සෙනෙවිරත්න

හෝකන්දර දකුණ.


චිත්‍රාගාර ශිල්පීන් එක් කරමු

එදා සිංහල සිනමාව වෙනුවෙන් මහත් ශ්‍රමයක් කැපවීමත් එක්කර ලංකා චිත්‍රගාරය හා අනෙක් චිත්‍රාගාරවල සේවය කළ දැනට ජීවතුන් අතර සිටින කාර්මික ශිල්පීන් එක් රැස් කර ආධාර, උපකාර කරමු.

කපුගොඩ, මාළිඳ - සරසවි නිවසේ - සරත් රණසිංහ


අමරපුරය මතුවටත් ගැලපෙන්නකි

රූපවාහිනී නිර්මාණකරණයේ ප්‍රවීණයකු වූ රුපියල් ශත, දඩබිම ඇතුළු හරවත් ටෙලි නාට්‍ය රැසක් අප වෙත ගෙන ආ බර්ට්‍රම් නිහාල් නම් වූ කුසලතා පූර්ණ අධ්‍යක්ෂවරයා අතින් නිම වූ අමරපුරය අදටත්, මතුවටත් ගැලපෙන දේශපාලනයේ යථාර්ථය උසස් පැලැන්තියේ පවුල්වල නොමඟ ගිය දුවා දරුවන්ගේ කෙරුවාවල් කදිමට පෙන්නුම් කරන බුද්ධ ධර්මය ගැන ද ගැඹුරින් විග්‍රහ කෙරන ආදර්ශවත් ටෙලි වෘතාන්තයකි.

දූනගහ බටහිර අධිකාරිමුල්ලේ

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු


සැබෑ ජනප්‍රිය නළුවා ඔබයි

චන්දික නානායක්කාර වෙතට,

මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ඔබෙන් ගිලිහුණ ද සදාකාලිකවම අපේ ජනප්‍රිය නළුවා ඔබයි. ප්‍රවීණයන් මොනවා කිව්වත් කුමන කටකතා ඔබ පිළිබඳ පැතිර වූවත් ඔබගේ සිත ශක්තිමත් කරන්න නිබඳව අපි ඔබත් සමඟ සිටින්නෙමු. දැන් ඔබට ඇත්තේ හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට පමණි.

දයානන්ද ප්‍රේමසිරි - නාච්චිදූව.


ජෝති රාත්‍රිය ජීවමානයි

ගීත ලෝකයේ සදා නොමියෙන අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල අමතක නොකර මෙතුවක් ජෝති රාත්‍රිය නමින් හැමදාම පැයක් වෙන් කර ඔහු අප අතර සදා ජීවමාන කිරීමට වෙහෙස ගන්නා ලක්හඬ ගුවන් විදුලියේ මේනකා වසුන්දරාට සහ එම ආයතනයට මාගේ ප්‍රණාමය.

මත්තේගොඩ, පොල්ගස්ඕවිට - අජිත් ජෝතිය කරසිංහ


ඔබය රංගන මහිමය

ඔබ ඉතාමත් රූමත් නිළියක්. අපි ඔබ රඟපාන ටෙලි ඩ්‍රාමා නරඹන්නේ ඉතාමත් කැමැත්තෙන්. තවත් හොඳ නිර්මාණ මඟින් අප හමුවට එන මෙන් ඉල්ලා සිටිනවා. ඔබයි පුංචි තිරයේ රංගන මහිමය.

කාවින්ද රශ්මික - මැල්ලහේව.


ශෙරිල් ගේ රඟපෑම අගය කළ යුතුයි

දිනපතා රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන අමා ටෙලි සිතුවමේ අමා ලෙස රඟපාන ශෙරිල් රොමේන්ගේ රඟපෑම අගය කළ යුතුයි.

ජාඇළ, කලඑළිය

පාතිමා මාවතේ, සරත් සේනාධීර


තරු නළුවෝ

අප පළමු චිත්‍රපටය කඩවුණු පොරොන්දුවය. පළමුව තරු සංකල්පය ඇති කළේ සුජාතා චිත්‍රපටයෙහි ප්‍රේම් ජයන්ත්ය. එහෙත් වානිජ සම්භව්‍ය සිනමා නිර්මාණ තුළින් එක සේ දක්ෂ, ජනප්‍රියත්වය අඛණ්ඩව රැක ගනිමින් මහ නළුවන් බවට එදත් අදත් හෙටත් පත්ව ඇත්තේ නළුවන් පස් දෙනෙකි. ඒ් නම් ගාමිණී, ජෝ, ටෝනි, රවීන්ද්‍ර හා සනත් ගුණතිලකයි. සනත්ගෙන් පසුව එවන් තත්ත්වයේ නළුවකු නැති බවයි මගේ හැඟීම.

මඩකලපුවේ සින්න ඌරනි හි දයානි, තාරුකා, හිරුනිකා, සඳරුවන්, ශෂි, සවිඳු


ප්‍රිය කසුන් කල්හාරට,

ගායන ලොවේ මධුර හඬක් හිමි තාරුණ්‍යයේ ගායකයාණෙනි, ඔබගේ අලුත් ගීත තව තවත් අපට අසන්නට සලස්වන්න.

පන්නිපිටියේ,

මනෝජ් වින්දන.

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනයට ඔබේ තැපැල් සහ සටහන් පත් එවිය හැකිය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව