අද සිට ‘කුස පබා’ ඊ. ඒ. පී. සිනමා ශාලාවල

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුස පබා සිනමාපටය මෙම මස 26 වැනිදා එනම් අද සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹෙනු ඇත.

ජැක්සන් ඇන්තනී සහ පූජා උමාශංකර් ප්‍රධාන චරිත මවන මෙහි රවින්ද්‍ර රන්දෙණිය, පාලිත සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රණවන, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුසුම් රේණු ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති.

කුස පබා ශ්‍රී ලංකා සිනමා සංසදය වෙනුවෙන් සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, උදයකාන්ත වර්ණසූරිය, ධම්මික සිරිවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි, සුනිල් ටී. ප්‍රනාන්දු, ආරියදාස පීරිස්, තිස්ස නාගොඩවිතාන, ජනිත මාරසිංහ, රසික ජිනසේන, චන්න දේශප්‍රිය යන අය නිෂ්පාදනය කරති.


සිරිසේන විමලවීරයන් අගයයි

දයා, ජීවන් කුමාරතුංග මහතා අතින් සමරු තිළිණය ලබාගනිමින් පසෙකින් සභාපති අශෝක සේරසිංහ මහතා වෙති.
කුමාරි, රෝයි ද සිල්වාගෙන් සමරු තිළිණය ලබාගනිමින්

සිංහල සිනමාවට දේශීයත්වයෙන් යුතු සිනමාපට බිහි කිරීමෙහිලා පුරෝගාමියකු වූ සිරිසේන විමලවීරයන් ඇගයීමේ විශේෂ උත්සවයක් ඉකුත් ඉරු දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර, උපසේනට සමරු තිළිණය පිරිනමමින්.

චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ, අමාත්‍ය ජීවන් කුමාරණතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් සහ විමලවීරයන්ගේ සිනමාපට හා සබැඳි දැනට ජීවතුන් අතර සිටින කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම මොහාතේදී විමලවීර රුවට පුෂ්පෝපහාරයක් සිදු කෙරිණ.

එයට අමතරව විමලවීරයන්ගේ පුතුන් දෙදෙන දයා විමලවීර, උපසේන විමලවීර සහ ලේලිය කුමාරි මානෙල් යන අයට විශේෂ සමරු තිළිණ එදින පිරිනමන ලදී.

විමලවීරයන් නිර්මාණය කළ දැනට විනාශ නොවී ඇති චිත්‍රපට ත්‍රිත්ව වන පිටිසර කෙල්ල, අසෝකා සහ මා ආලය කළ තරුණිය ප්‍රදර්ශනය ද දවස පුරා සිදු විණ.


චිත්‍රපට සංස්ථාවට වසර 40 යි සේවකයන්ට උපහාර

අප සිනමාවට වසර හැටපහක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පසුගිය සිකුරාදා චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණ.

ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ එවක අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රුවට පුෂ්පෝපහාරයක් දැක්වීම ද, සංස්ථාවේ පළමු සභාපති ඩී. බී. නිහාල්සිංහ මහත්මයාට උපහාර තිළිණ පිදීමද සිදු කෙරිණ.

ඊට අමතරව ජාතික චිත්‍රපට සංස්ථාවේ සේවය කොට විශ්‍රාම ලත් සේවක සේවිකාවන්ට සමරු සිහිවටන ද එදින පිරිනැමිණ. මේ එම උත්සවයේ අවස්ථා කිහිපයකි.


ප්‍රතිරූ චිත්‍රපටයේ විශේෂ දර්ශනය දා

දර්ශනයෙන් අනතුරුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, අධ්‍යක්ෂ කපිල සූරියආරච්චි සහ ප්‍රතිරූහී ප්‍රධාන චරිතය මවන ජගත් බෙනරගම සමඟ කතාබහක.

වෛද්‍ය කපිල සූරියආරච්චි කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ ප්‍රතිරූ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ.

ළඟදීම තිරගතවීමට නියමිත ප්‍රතිරූ සඳහා ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, වෛද්‍ය කපිල සූරියආරච්චි, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, දමයන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර, කෞශල්‍යා සමරසිංහ, දිමුතු චින්තක, විහඟ නිමේෂක ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති.

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය වෛද්‍ය කපිල සූරියආරච්චිගෙනි.

 


තාරුණ්‍යයේ සිනමා අස්වැන්න පුංචි තියටර්හිදී

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2011 යෞවන කෙටි චිත්‍රපට උළෙල මේ මස 27 සිට 30 දක්වා ප. ව. 6.00 ට බොරැල්ලේ පුංචි තියටර් හිදී පැවැත්වේ. මහි ජයග්‍රාහී තරුණ සිනමාකරුවන්ට ත්‍යාග හා සම්මාන ප්‍රදානය 31 වනදා සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ගරු නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මැතිතුමා, ප්‍රවීණ සිනමාවේදීන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.


ඊ. ඒ. පී. අලුත් තරුවක් සොයයි

ඊ. ඒ. පී. සමාගමේ 27 වැනි සිනමා නිර්මාණය ඔස්සේ නවක රංගන ශිල්පියකු රිදී තිරයට හඳුන්වා දීමට එම සමාගම බලාපොරොත්තුවේ.වයස අවුරුදු 18 – 25 ත් අතර රංගනයට කැමැත්තක් සහ සුදුසුකම් ඇති යෞවනයන් අයැදුම්පතක් සමඟ එළඹෙන පෙබරවාරි මස 05 වැනිදා ඉරිදා 114, වෝඩ් පෙදෙස, බොරැල්ල යන ස්ථානයට පැමිණීමෙන් මේ සඳහා සහභාගි විය හැකිය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව