Q & A

ස්වර්ණලතා රණසිංහට,

“කෝරළේ මහත්තයා” හී සෙලෙස්තිනා ලෙස හරි අපූරුවට රඟපෑවා. එමෙන්ම වසුදා හී චරිතයත් ඉතාමත් හොඳයි. මේ චරිත දෙකෙන් ඔබ වඩාත් ඇළුම් කරන චරිතය කුමක්ද? එමෙන්ම ඔබ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණයට කැමැති නැද්ද?

වාසුලදත්තා - කිරිල්ලවල.

මම මේ චරිත දෙකටම එක ලෙසම ළැදියි. ඊට හේතුව මේ චරිත දෙක තියෙන්නේ අන්ත දෙකක. රූපණ ශිල්පිනියක් විදියට මම රඟපෑ හැම චරිතයකටම එක ලෙස කැමැතියි.

අලුත් ටෙලි නාට්‍යයක් සඳහා මේ දිනවල මා අතින් පිටපතක් නිර්මාණය වෙනවා. ඉදිරියේදී මෙහි හොඳ නරක පැවැසීමත් ඔබටම භාරයි.


ශ්‍රීමතී තිලකරත්න,

ආදර සුභා, ආත්ම ගණනක, විඩා නිවිලා, රත්තරං මැණික්, ආදර ගඟුලේ වැනි රසාලිප්ත ගී ගායනා කළ ඔබ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න අදහසක් නැතිද? දුරකතන අංකය ලබා දෙන්න.

ජයන්ත අමරතුංග - චන්දන පොකුණ, පොළොන්නරුව.

ඒ පිළිබඳ දිනයක් තවම තීරණය කර නැහැ. නමුත් නුදුරු අනාගතයේදී ප්‍රසංගයක් පවත්වන්න අදහස් කරනවා. ආවාට ගියාට ප්‍රසංග පවත්වන්නත් බැහැ. ඒ සඳහා මනා සැලසුමක් ඇතිව කටයුතු කළ යුතුයි. මේ ගැන විමසුවාට මෙන්ම සුභාවිත ගීත රසය ගැන දන්න ඔබ වැනි රසිකයින් සිටීම ජාතියේ පිනක් බවයි මගේ හැඟීම. දුරකතන අංකය 0112732973.


දමිතා අබේරත්නට,

මෙම වසරේ ලෝක විනාශයට පෙර ඔබේ විවාහය සිදු වේවිද?

චන්ද්‍රසිරි මානවඩු - අම්බලන්ගොඩ.

චන්ද්‍රසිරි,

ලෝක විනාශය කෙසේ වෙතත් මගේ විවාහය නම් ඉක්මනට සිදුවේවි. ඇත්තටම මා ගැන හා මගේ ජීවිතය ගැන අවධානයෙන් සිටින ඔබ වැනි රසිකයින් මට විශාල ශක්තියක්. මගේ විවාහයේ තොරතුරු ළඟදීම සරසවියෙන් මම කියන්නම්.


මහේෂ් ජයසිංහට,

ඔබ දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම, ගායකයෙක්. නමුත් මෑත කාලයේදී ඔබ කරළියෙහි දකින්නට නැත්තේ ඇයි?

සිනමාව හෝ වෙනයම් මාධ්‍යයක් ගැන කලකිරිලද?

ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව.

ආනන්ද,

මේ කිසිම කලාවක් ගැන මා කලකිරුනේ නැහැ. සුපුරුදු පරිදි කලාවේ නියැළෙනවා. ඉදියේදී මා රඟපෑ නිර්මාණ කිහිපයක්ම තිරගතවීමට නියමිතයි. එමෙන්ම මේ දිනවල රූපවාහිනී සංගීත වැඩසටහනක් සඳහා කලාකරුවන් සම්බන්ධීකරණ කටයුතුවල නියැලෙනවා. මේ හැම කලා කටයුත්තක් අතරේම මගේ ව්‍යාපාර කටයුතුවලත් නියැලෙනවා.


මොහාන් හෙට්ටිආරච්චි,

ඔබේ රඟපෑම මෙන්ම චිත්‍ර කලාවත් අපි අගය කරන්නෙමු. නමුත් දීර්ඝ කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටි ඔබ තවම ජනපි‍්‍රය තරුවක් නොවෙයි නේද? මේ වසරේදීවත් ඔබ ජනපි‍්‍රය තරුවක් වේවිද?

චන්දන වන්නිආරච්චි - දෙහිඅත්තකණ්ඩිය.

චන්දන,

මට ජනපි‍්‍රයත්වය පස්සේ යෑමේ වුවමනාවක් නැහැ. හොඳ කලා කෘතියක හොඳ රඟපෑමක් කරන්න ලැබෙනවා නම් ඒක තමා මගේ සතුට, එමෙන්ම මා රඟ පෑ බොහෝ චරිත ගැන විවිධ මත මගේ රසික රසිකාවන්ගෙන් මග තොටේදී මට ලැබෙනවා. ඉදිරියේදී ඇද්දා ලණුව දැම්මා කොඩිය, සංගිලි, විසුරුණු මල් හා ඩබල් ට්‍රිබල් චිත්‍රපට තිරගතවීමට නියමිතයි. ඒ ගැන ඔබේ අදහස් සරසවිය මඟින්ම මට දන්වන්නකෝ.


කිංස්ලි රත්නායකට,

“කිරුළ” එෆ්.එම්. නමැති ගුවන් විදුලි නාලිකාව ඔබේ නාලිකාවක්ද? ඒ ගැන යමක් කියන්න.

හර්ෂනාථ බණ්ඩාර – නිකවැරටිය.

හර්ෂ,

කැපිටල් මහාරාජා ආයතනයේ කළමනාකාරීත්වය යටතේ ‘කිරුළ එෆ්.එම්. ගුවන් ගතවෙනවා. ‘හිස් නැති හිස්වලට’ යන තේමා පාඨය ඔස්සේ නැවුම් රස වින්දනයක් ලබා ගැනීමට එෆ්.එම්. 93.6 අපව අහන්න, රසවිඳින්න පුළුවන්.


නිශානි ගමගේට,

ඔබ “නිදි යහන කැළැඹෙයි” චිත්‍රපටයේ මෙන්ම “ද සැලුන්” හී සමන්මලී ලෙස සිනමාව, මෙන්ම පුංචි තිරයේද දස්කම් දැක්වූවා. ඔබ වේදිකා නාට්‍යවල රඟපා තිබේද?

සරත් රූපසිංහ – ගම්පහ.

සරත් ,

ජයසේකර අපොන්සු නිර්මාණය කළ තටු, කිරා හා භාෂා යන නාට්‍ය ත්‍රිත්වයේම ප්‍රධාන චරිතය (ගැහැනු) නිරූපණය කළේ මම, එමෙන්ම ඉදිරියේදී රොහානී වීරසිංහගේ “දියතක සෙනෙහස” ටෙලි නාට්‍යයෙන් මෙන්ම නයනා කුමාරිගේ ටෙලි නාට්‍යයකින් ඔබ හමුවට එනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව