වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




තමුසෙ අද තමයි නියම චරිත හමුව කළේ

තමුසෙ අද තමයි නියම චරිත හමුව කළේ

නිස්සාර සිතුවිල්ලේ ප්‍රධාන නළුවා මුදිත කාරියකරවන

ටයිම්ස් ආයතනයේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතුª කරමින් සිටි මට 1976 දී මුල්වරට ලේක්හවුස් පැමිණියේ වයස අවුරුදු විසි හතරේදීය. මාගේ මුල්ම පත්වීම වූයේ මිහිර පත්තරයටය. එයින් හදිසි මාරුවීමක් ලැබුණේ තරුණී පුවත්පතටය. ඒ එවක එහි කර්තෘ අනුල ද සිල්වා පාලන අධිකාරියෙන් කළ ඉල්ලීමක් පරිදිය. තරුණී හා සරසවිය පත්තර තිබුණේ සමීපයේය.

තරුණී හා සරසවිය අතර දැඩි බැඳීමක් තිබිණ. 1980 පෙබරවාරියේදී සරසවිය මුල් පුටුව හිස් විය. එවකට සරසවිය කර්තෘ ධුරය දරමින් සිටි ධර්මදාස බොතේජු මහතාගෙන් හිස් වූ පුටුවට පැමිණීමට බොහෝ දෙනා උත්සාහ දැරූහ. විවිධ අයගේ නම් පටබැඳෙමින් හිස් වූ කර්තෘ ධූරයට නම් යෝජනා පැතිර ගියේය. දිනක් මා වෙත සභාපතිතුමන්ගේ කාර්ය සහායක පැමිණ පැවසුවේ සභාපතිතුමා කතා කරනවා කියාය. මාද හනික සභාපතිතුමන්ගේ කාමරයට ගියේ සිතේ දෙගිඩියාවකිනි. එවක සභාපතිතුමන් වූයේ රණපාල බෝධිනාගොඩ මහතාය. මේ යුගයේ මගේ පියා ඩී. එෆ්. කාරියකරවන මහතා ජනතා පත්‍රයේ කර්තෘවරයාය.

මුදිත තමුසෙ සරසවියට යන්න ඕනේ යැයි සභාපතිතුමා අණ කළේය. මේ ගැන අනුල ද සිල්වා මා හා උරණ වූයේ මා ගිය විට ඇයට වන පාඩුව ගැන සිතමිනි. සරසවියට ඒ වන විට නව කතුවරයකු පත්කර තිබිණ. ඔහු ග්‍රැන්විල් සිල්වාය. ඔහු සරසවියට පැමිණි විගස තමන්ගේ කාර්්‍යය පහසුකර ගැනීම සඳහා සභාපතිතුමන්ට පවසා මා සරසවියට අනුයුක්ත කොට ගෙන තිබුණි. 1980 පෙබරවාරි දහ අට වැනිදා මම මුල්වරට සරසවියට පැමිණියෙමි.

එතැන් පටන් මම වසර හතරක් සරසවියේ සාමාජිකයෙක් වුණෙමි. ග්‍රැන්විල් සිල්වා හැරුණු විට ඒ. ඩී. රංජිත් කුමාර, සුසිල් ගුණරත්න, සුනිල් හොරේෂස්, කැමිලස් පෙරේරා, දීප්ති කුරේ, ප්‍රිමෝදි පරිපාලනමය ලිපි කටයුතු බාරවත්, තිලකසිරි කාර්ය සහායක ලෙසත් කටයුතු කරනු ලැබිණි. මා වැඩි වශයෙන් ලිපි ලියනවාට වඩා කරනු ලැබුවේ ලිපි සංස්කරණය හා ඡායාරූප ගැනීමය. මිහිර, තරුණී මෙන්ම සරසවියේ ද මා වැඩි වශයෙන් කරනු ලැබුවේ ඡායාරූප ගැනීමය.

සරසවිය සඳහා මා මුල්ම විශේෂාංගය කරනු ලැබුවේ 80’ පෙබරවාරි 28 වැනිදාය. ඒ මරදාානේ පදිංචිව සිටි ගායක මොහිදින් බෙග් ගැන විශේෂාංගයක් රචනා කිරීමය. එදා සරසවියට කළ ඒ මුල්ම සාකච්ඡාව මට අද වගේ මතකය.

මස්කට් පිඟානක් බිම තබාගෙන පැදුරක් මත හිඳ ගන්නා බෙග් මාස්ටර් මස්කට් කමින් සාකච්ඡාව කළේ හරිම විනෝදබරවය. බෙග් මාස්ටර්ගේ ඒ ලිපිය සඳහා පින්තූර ගනු ලැබුවේ ද මාය. සාකච්ඡාව අවසානයේ බෙග් මාස්ටර්ගෙන් මට බුරියානි සංග්‍රහයක් ද ලැබුණි.

ග්‍රැන්විල් මහතා සරසවිය භාරගත්ත මුල් සති කිහිපය තුළ පුවත්පත සකසනු ලැබුවේ ඒ වන විට බොතේජු මහතා එක් කර තිබූ විශේෂාංගත් සමඟය. එය වෙනස් කරමින් ග්‍රැන්විල් සිල්වාගේම පත්තරයක් ලෙස සරසවිය මුල්වරට පාඨකයන් අතට පත් කරනු ලැබුවේ මාර්තු හත් වෙනිදාය. එවක සරසවිය නිකුත් වූයේ සිකුරාදා දිනකය.

බොහෝ සේ ලිපිවලින් පින්තූරවලින් අලංකාර වූ ග්‍රැන්විල් මහතාගේ කර්තෘත්වය යටතේ නිකුත් වූ ඔහුගේම සරසවිය පුවත්පත අලෙවිය අතින් ද වාර්තා තබමින් නිකුත් වන්නට විය. ඔහුගේම පුවත්පතක් ලෙස සරසවිය නිකුත්වීම නිමිති කොට ග්‍රැන්විල් මහතා වෙත ගලා ආවේ සුබපැතුම් රාශියකි. ඒ නිමිති කොට ග්‍රැන්විල් මහතා සරසවිය කර්තෘ මණ්ඩලයට සංග්‍රහයක්ද කරනු ලැබුවේ මඟුල් ගෙදරක ස්වරූපයෙනි.

ග්‍රැන්විල් මහතා ඉතා හොඳින් අඳින පළඳින කෙනෙකි. මේ නිසි ලෙස ඇඳුම් ඇඳීම සම්බන්ධව එකල රස කතාවක්ද විය. ඒ එවක ලේක්හවුස් ආයතනයේ චිත්‍රකතා පුවත්පත වූ මධුර පුවත්පතට නව කතුවරයකු සොයමින් සිටි යුගයේ ග්‍රැන්විල් සිල්වා මහතාගේ නම ද යෝජනා වී තිබිණ. ඒ ඔහු හොඳින් අඳින කෙනෙකු නිසාය. කෙසේ හෝ ග්‍රැන්විල් සිල්වා ආරම්භයේ පටන් කලක් මධුර පුවත්පතේ කතුවරයා ලෙස ද කටයුතුª කළේය. එහෙත් ඔහු චිත්‍ර ඇන්දේ නැත.

මා වැඩි වශයෙන් සරසවියේ විශේෂාංග සඳහා ගියේ රංජිත් කුමාර මහතා සමඟය. රංජිත් ලියන ලිපියට ඡායාරූප ගනු ලැබුවේ මා විසිනි. චරිත හමුව, තිරයේ අලුත් පෙම්වත්තු, සැප දුක් ගැන කතා කරමු ආදී විශේෂාංග බොහොමයක් සඳහා පින්තූර ගත්තේ මා විසිනි.

මමත් රංජිත් කුමාරත් අමුතුම ආකාරයේ විශේෂාංගයක් සරසවියට කළෙමි. ප්‍රධාන ධාරාවේ නළු නිළියන් එකතු කරගෙන අපි තවත් නළුවෙක්, නිළිියකගේ ගෙදර ගොස් ඔවුන් අතර ඇතිවන පෞද්ගලික කතාබහ ඇසුරෙන් විශේෂාංගයක් රචනා කළෙමි.

එඩ්වින් ආරියදාස මහතා වරක් රංජිත් හා මා රැගෙන ආ චරිත හමුව විශේෂංාගයක් පිළිබඳ කදිම අදහසක් කියාපෑවේය. අප එදා චරිත හමුවට ගෙන ආවේ චරිත රත්වත්තේ මහතා සමඟ කළ විශේෂාංග රචනයකි. අයිසේ අද තමයි තමුසෙලා දෙන්නා නියම චරිත හමුව කරල තියෙන්නේ කියමිනි.

සරසවියට පෙබරවාරි මාසයේ එක් වුණු මම අප්‍රේල් විසිපස් වෙනිදා වනවිට විවාහ වූවෙමි. ඒ සඳහා කිසිදු කලාකරුවෙකුට කලාකාරියකට ආරාධනා නොකෙරුවෙමි. මේ සඳහා පැමිණි හා ආරාධනා කළ එකම කලාකරුවා වූයේ හෙන්රි ජයසේනයන් පමණි. එයට ද හේතුවක් වූයේ ඔහු මගේ අසල්වැසියා වීමය. මගේ විවාහ මංගල්‍ය පිළිබඳ පසුව දැනගත් බොහෝ කලාකරුවන් මට දොස් කිව්වේ එයට ආරාධනා නොකිරීම ගැනය.

මරදානේ සේයා ශිල්ප නිකේතනයේදී මා ලාල් හෑගොඩයන්ගේ ඡායාරූප පාඨමාලාව හැදෑරීම නිසාම මට ඡායාරූප කලාවේ බොහෝ දුරක් යාමට පහසුවිණි. විටෙක තාත්තා ජර්මනියට ගිය මොහොතක එවක ලොව නම්දරා තිබූ රොලිෆොක්ස් 35 වර්ගයේ ඉස්තරම් කැමරාවක් මට ගෙනවිත් දුන්නේය. එවැන්නක් පුවත්පත් සඳහා එකළ භාවිතයට නෙගැනිණි. මෙවැන්නක් මා සතුවීම එක්තරා අන්දමක ආඩම්බරයකට ද කරුණක් විය.

කොහොමටත් ලියනවාට වඩා මා වඩාත් තෘප්තියක් ලැබුවේ ඡායාරූප ගැනීමෙන්ය. 81 ජනවාරි 21 වැනිදා අපේ සරසවිය කර්තෘ මණ්ඩලයට තවත් කාන්තාවක් සම්බන්ධ විය. ඇය නෙළුම් විමලරත්න නම් විය.

වරක් රංජිත් සහ මම කේමදාස මාස්ටර්ගේ නිවසට ගියෙමි. මාස්ටර් කතාබහට මුල පුරන්නේ කෑම බීමෙන් සංතර්පණය වෙමිනි. අප ද මෙහිදී සප්පායම් වන අතරේ මාස්ටර් කතාබහ කරගෙන යන්නේ අතපය ද විසිකර දමමිනි. මාස්ටර්ගේ ගෙදර ගිහින් කන කෑමක් ද ජීවිතයටම මතක හිටින තරම්ය. ඒ තරම් රසවත්ය. මාස්ටර්ට කෑම පිසින ලද්දේ මොයිසක්කා නම් කාන්තාවකි. ඇයට හරිම රසවත්ව කෑම සෑදිය හැකිය. ඇය හදන කටගැස්ම තරම් රස කටගැස්මක් මා මෙතෙක් කලක් සුපිරි හෝටලයකින්වත් ගෙන නැත.

එවක ජාඇල ඒකල පදිංචිව සිටි ලේඛකයකු හා දක්ෂ කිමිදුම් කැමරා ශිල්පියෙකු වූ රොඩ්නි ජොන්ක්ලාස් හමුවීමට ගියදා ඔහු මටත් රංජිත්ටත් කියූ රසකතා අදත් මතක් වෙන විට බඩ අල්ලාගෙන සිනාසිය හැකිය. රන්මුතු දූව චිත්‍රපටය හදන විට සිදු වූ රසවත් සිදුවීම් ඔහු අපට කියා සිටියේ චිත්‍රපටයක් විලාසයෙනි.

චිත්‍රපට රූපගත කිරීම් කරන ලොකේෂන්වලට යාම ද එවක අපි කළ දෙයක් විය. එසේ ගිය ගමනක අමතක නොවන දිනයක් ද ඇත. සසර චේතනා චිත්‍රපටය රූපගත කරන අවස්ථාවේ එහි එක් දර්ශනයක් රූපගත කරනු ලැබුවේ මුන්දලදීය. ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක් ද ගෙනවිත් තිබුණි.

එහි ලණුවක එල්ලී සනත් ගුණතිලක හෙලිකොප්ටරයේ යන දර්ශනයක් රූපගත කරමින් තිබුණි. කීප විටක්ම එහි රූපගත කිරීම් සිදු වූ අතර හෙලිකොප්ටරය අහසට ක්‍රමයෙන් නැගීමත් සමග ලණුවේ එල්ලී සිටින සනත් ගුණතිලක වෙනුවට ඒ සඳහා ආදේශක නළුවෙක් යෙදවිණි. මේ අතරවාරයේ මාවත් රංජිත් කුමාරවත් යානය පැද වූ නියමුවන් දෙදෙනා හෙලිකොප්ටරයට ගොඩ කර ගත්තේය. මා ජීවිතයේ මුල්වරට හෙලිකොප්ටරයක නැගී අහසේ රවුමක් ගිය මුල් අවස්ථාව එය විය.

සරසවියේ අපි කා අතරත් තිබූ දැඩි සුහදත්වය නිසාම එකිනෙකාගේ නිවෙස්වලද සුහද හමුවන් පැවැතියේය. වරක් සරසවියේ එවැනි සුහද හමුවක් පැවතියේ 81’ ජූලි 25 වැනිදා නෙළුම් විමලරත්නයන්ගේ නිවසේ. ඒ සුහද හමුව කා බී විනෝදවීම පමණකටම සීමා නොවිණි. සරසවියේ පත්තර පිටු එකිනෙක තබා හදන විසිතුරු නිර්මාණයන්ගෙන් ගෙදර හැඩ වැඩ වී තිබුණි. එදා පැවැත් වූ ඒ සාදය සරසවිය මතකයෙන් අමතක කළ නොහැකිය. මෙදින මේ සාදයේ පසුවන විට අපට ආරංචියක් ලැබුණේය. එඩී ජයමාන්නයන් මියගිය බවකි. මෙම සාදයේ සියලු පින්තූර ගනු ලැබුවේ ලේක්හවුස් ආයතනයේ ප්‍රේමදාස විජේසේකර ඡායාරූප ශිල්පියාය.

සරසවිය කියන්නේ රසගුලාවකි. ඒ රස ගුලාවේ මතකයන් ද හරිම මිහිරිය. සමහරක් දේ මෙවැන්නකින් පැවසීමටත් බැරිය. ඒ රස වෑහෙන අතීතයේ මතකයන් අතර බෝතලය නැති තැනක් ද නැත.

සරසවිය හා බැඳුණු සරසවිය චිත්‍රපට සම්මාන උළෙල හතරකට මම සරසවියේ සිටි කාලයේදී සහභාගි වුණෙමි. මා සරසවියට විත් වැඩි කලක් යන්නට මත්තෙන් මා සහභාගි වූ මුල්ම සරසවිය සම්මාන උළෙල පැවැත් වූයේ 80’ මාර්තු 29 වැනිදා නව රඟහලේදීය. ඒ් වෙනුවෙන් මාර්තු 21 වැනිදා පටන් කොළඹ රීගල් සිනමා ශාලාවේ චිත්‍රපට සතිය පැවැත්විණි.

මෙවැනි උළෙලකට මා මුලින්ම ශ්‍රමයෙන් දායක වූයේ ආරාධනා පත්‍ර බෙදා හැරීමටය. මේ සඳහා මට අනගි සහායක් එක්කරනු ලැබුවේ සුනිල් හොරේෂස් මහතාය. සුනිල් නළු නිළියන් හොඳට හඳුනන ඔවුන් සිටින තැන් හොඳ හැටි දන්නා පුද්ගලයා විය. මා කරනුයේ ඔවුන් පදිංචිව සිටින ප්‍රදේශ අනුව ආරාධනා පත්‍ර වර්ග කොට ඒ අනුව යාමට මාර්ග සිතියම නිර්මාණය කොට රියදුරාට අණ කරමින් ඔවුන්ගේ නිවෙස් සොයා යාමය. සමහර සම්මාන උළෙලවලදී හෙට කියා ආරාධනා පත්‍ර දුන් අවස්ථා ද නැතුවා නොවේ.

නව රඟහලේ පැවති සම්මාන උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ගාමිණී දිසානායක අමාත්‍යවරයාය. මා ද මේ සම්මාන උළෙලේ අපූරු වැඩක් කළෙමි. ගාමිණී දිසානායක මහතාට බොහෝ සේ සමීප මුහුණුවරකින් පසූ වූ මා එතුමන් අඳින පළඳින ආකාරයේම ඇඳුමක් මසාගෙන මේ උළෙලට ඇන්දෙමි. එතුමන් යන විලාසයට මා හිතාමතාම එදින ගමන් කළේ අන් අය තුල වික්ෂිප්තභාවයක් ඇති කිරීමේ අදහසිනි. මා සිතූ පරිදිම බොහෝ අය මා ගාමිණී දිසානායක කියා රැවටුණු අවස්ථා ද තිබිණි. සමහරු එදා කියන්නට වූයේ ගාමිණී දිසානායක අද සම්මාන දෙන්න කලින්ම ඇවිල්ලා කියාය. 81 සහ 82 වසරවලදී පැවති සරසවිය සම්මාන උළෙල පැවතියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. ඒ හැම සම්මාන උළෙලක් වෙනුවෙන් ද මා දායක වූයේ ආරාධනා පත්‍ර භාරව කටයුතු කිරීමටය. සරසවිය සම්මාන උළෙලේ කොමිටියේ සාමාජිකයෙක් ලෙසින් ද මා හට කටයුතු කරන්නට ලැබුණේ මගේ පියාණන් එවක ජනතා පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා වීම නිසාය. සරසවිය සම්මාන උළෙලක් කියන්නේ ඒ දවස් පුරාවට සරසවියට රජ මගුල්ය.

අලුත් අත්හදා බැලීම්වලට මම වඩාත් ප්‍රිය කළෙමි. සරසවියේ සිටි සුනිල් හොරේෂස් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. එය නම් කොට තිබුණේ නිස්සාර සිතුවිල්ලක් නමිනි. මෙහි කොල්ලා ලෙස රඟපෑවේ මේ මම මුදිත කාරියකරවනය.

කෙල්ල ලෙස රඟපෑවේ සබීතා පෙරේරාය. ජයනාත් ගුණවර්ධන කැමරාවෙන් ද, දයාරත්න රටගෙදර සහාය අධ්‍යක්ෂණය ද, සම්පත් තෙන්නකෝන් වේශ නිරූපණ ශිල්පියා ද, දයා දහනායක සම්බන්ධීකරණ ශිල්පියා ද, ඇන්ටන් ජෝ නිශ්චල ඡායාරූප ශිල්පියා ලෙසින් ද එහි කටයුතු කරනු ලැබිණි. චිත්‍රපටයේ නිෂ්පාදනයේ ඇති වූ මූල්‍ය ගැටලු නිසාම එහි වැඩ අවසන් කර ගැනීමට නොහැකි වූයෙන් එය අතරමග නතර කර දමන්නට සිදු වූයේ චිත්‍රපටයේ නම සේම නිස්සාර උත්සාහයක් ලෙසිනි.

1983 දී මා ලේක්හවවුස් ආයතනයෙනුත් සරසවිය කර්තෘ මණ්ඩලයෙනුත් සමුගත්තේ වෙනත් රැකියාවක් සඳහා යාමටය. එම වසරේ නොවැම්බර් මස තිස් එක් වැනිදා මම සරසවියෙන් සමු ගතිමි. සහෘද සගයන් බොහෝ දෙනෙකු මා ගත් තීරණය ගැන කණගාටු වූ අතර එය වෙනස් කර ඔවුන් සමඟ රැඳෙන ලෙස ද මට ඉල්ලීම් ඉදිරිපත් කෙරුණි. අවසානයේදී මාගේ තීරණයෙන් වෙනසක් නොවූ තැන සරසවිය මිතුරු කැල මා වෙනුවෙන් සාදයක් ලෑස්ති කරනු ලැබුවේ මගේ වෙන් වී යාම නිමිත්තෙනි.

මගේ මාධ්‍ය ජීවිතයේ විටෙක සොඳුරු මතකයන් රැසක් එක් කළ කාලයක් වූයේ සරසවියේ දිවි ගෙවූ වකවානුවයි. එවන් වූ සොඳුරු අතීත මතකයන් මගේ ජීවිතයට එක් කළ සරසවිය චිරාත් කාලයක් මිණි පහනක් ලෙස දැල්වේවා!