වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය ස්වර්ණ ජයන්ති අභිමානය

සරසවිය ස්වර්ණ ජයන්ති අභිමානය

නිදහස්, නිවහල් සිරිලක් දෙරණට තවත් වසන්තයක අසිරිය උදා වූයේ සුපුරුදු පරිද්දෙනි. සැම සිත් සතුටෙන්, සොම්නසින් පිනා යන බක්මහේ අසිරිය අවුරුද්ද ලබන්නටත් පෙර අප සිත්හි මෝදු වූවා සේය. ඒ සොම්නසට හේතු වූයේ ‘සරසවිය’ පුවත්පත මෑත ඉතිහාසයේ වැදගත්ම දිනයට පා එස වූ නිසාය. මින් පනස් වසකට පෙරාතුව එක් අප්‍රේල් 10 වැනිදාවක පත්තර මහගෙදර ජන්ම ලාබය ලත් ‘සරසවිය’ දූ කුමරිය හෙළ කලා පුවත්පත් ලෝකයේ අග රැජන වී අද සිය පනස් වැනි උපන් දිනය සමරන්නේ මහත් අභිමානයෙනි.

‘සරසවිය’ට අද අවුරුදු පනහයි’ ඒ එදින උදෑසන පටන් රාත්‍රිය දක්වා පත්තර මහගෙදර ලොකුª කුඩා කාගේත් මුවඟ රැව් දුන් වදන් පෙළයි. ‘සරසවිය’ රැජනගේ උපන් දිනය නිසාවෙන් එදින පත්තර මහගෙදර විශේෂයෙන් ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයේ සහ බෙදා හැරීමේ අංශයේ සහෘද හිතවතුන්ගේ ගමන බිමන හැසිරීම් රටා වෙනදාටත් වඩා කලබලකාරී ස්වරූපයක් ඉසිලීය.

සරස්වතියගේ ආශිර්වාදය ලත් පිංබර දියණියගේ උපන් දිනය දා රටට, දැයට, පත්තර මහගෙදරට එහි සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට හා සියලුම සේවක, සේවිකාවන්ට සෙත් පතා පරිත්‍රාන ධර්ම දේශනයක් පැවැත්විණ. ඒ උදෑසන 10.00 ට පමණය. මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර හිමිපාණන් විසින් ඒ ධර්ම දේශනාව පවත්වනු ලැබූහ. උන්වහන්සේ එහි වැඩම කර සිටියේ ලේක්හවුසියේ තවත් සහෝදර පුවත්පතක් වන ‘බුදුසරණ’ පත්‍රයේ කර්තෘ සීසර් සුදුසිංහ මහතාගේ ආරාධනාව පරිදිය.

එකී කාර්ය නිමා කොට කර්තෘ මණ්ඩලයේ සියල්ලෝ සූදානම් වූයේ සමූහ ඡායාරූපයකට පෙනී සිටීම සඳහාය. කවදත් එවැනි කාර්යයන්හි මුල් තැන ගන්නා නියෝජ්‍ය කර්තෘවරයකු වන චන්දන දයාසිරිවර්ධනට ‘අපේ කට්ටිය’ එකට එකතු කර ගැනීම තරමක අසීරු අභියෝගයක් විය.

‘යකෝ මුං ටික එකට එකතු කර ගන්නවා කියන්නේ ලාහෙට ගෙම්බෝ එකතු කරනවාටත් වඩා අමාරු වැඩක්නේ’

චන්දන මවා ගත් බොරු කෝපයකින් යුතුව කඩියකු මෙන් කඩිසරව කට්ටිය එකට එකතුªකර ගන්නට වෑයම් කරයි. මොහොතකින් පිරිස එකම තැනකය. ‘හරි එහෙනං පහලට යමු’ නැවතත් චන්දනගේ හඬය. ඒත් තවත් පරහකි. බැලින්නම් කර්තෘ අරුණ ගුණරත්න එහි නැත.

මේ දැන් මෙතැන හිටියා නේ. . .

ප්‍රියන්ත හතර අතේ බෙල්ල කරකවමින් අරුණ අයියා සොයයි. ඒ අස්සේ ටෙනීත් මාලනුත් කුමක්දෝ වාදයක පැටලී කටින් ගහ ගනිති. චතුර ගේ දෙඇස් මාරුවෙන් මාරුවට ඔවුන් වෙත ඇදී යන්නේ බඹර චක්‍රයක් කැරකෙනවාටත් වඩා වේගයෙනි. ගාමිණී අයියා, ගුණදාස කපුගේ මෙන් එදෙස දෑස් දල්වා බලා හිඳියි.

කෙසේ හෝ අවසානයේ කර්තෘවරයා පිරිවරා ගත් අපේ නඩය ටෙනීගේ කැමරාවට විවිධ අයුරින් මුහුණ දුන්නේය.

ආ . . . දැන් ඔයත් එන්න.

ටෙනීට ඒ ආරාධනය තිස්ස ධම්මිකගෙනි. ටෙනීගේ රුවත් සමඟ ඒ සේයාරුව කැමරා කාචයට හසුකර ගත්තේ ශාන් රූපස්සරයි.

පනස් වසරක ‘සරසවිය’ උපන් දිනය දා එහි කර්තෘ මණ්ඩලය නියෝජනය කිරීමේ වාසනාව ලත් අප එම ඡායාරූපවලට පෙනී සිටියේ කිසියම් අභිමානයකින් හා සියුම් ආඩම්බරයකින් ද යුතුවය.

කාලය ගෙවී යන්නේ වෙනදාටත් වඩා වේගයෙනි. සවස් වරුවේ එළඹෙන ආනන්දජනක හෝරා කිහිපයට අවැසි වටපිටාව දැන් සකස් වෙමින් පවතියි. ‘සරසවිය’ කර්තෘ මණ්ඩලය හා අත්වැල් බැඳ ගනිමින් එකී කාර්ය සාර්ථක කරගැනීමට වෙහෙසෙන පත්‍ර බෙදාහැරීමේ කලමණාකරු සුනිල් සෙන්දනායක හා නියෝජ්‍ය කලමණාකරු අශෝක විජේසේකර එහෙ, මෙහේ දුව පනිමින් සෙස්සන්ට උපදෙස් දෙමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරති.

වේලාව සවස 6.00 කනිසමට ආසන්න වෙමින් පවතියි. එතෙක් හැඳ සිටි කමිසය උනා දමා වෛර්ණ අලුත් කමිසයකින් සැරසුණ අපේ චන්දු සරසවිය ඡායාරූපාගාරයේ සිට කොණ්ඩය සකසමින් එලියට එන්නේ හොර බළලෙකු මෙනි. ප්‍රසාද් අලුත් ඇඳුමකින් සැරසී එන්නට කලියෙන්ම නිවස වෙත ගොසිනි. අරුණ ගුණරත්න, චතුර ගීතනාත් මෙන්ම සංජීව සම්පත් ද කාගේත් ඇස් වසා හීන්සීරුවේ අලුත් කමිසවලින් සැරසී සිටිති. එහෙත් යටකෑල්ල එලෙසමය.

‘ෂඞ අපරාදේ මමත් වෙන ෂර්ට් එකක් නොගෙනාවේ. මේ සුකුරුත්තං දුටු මට එසේ සිතිණ. වැරැද්ද මගේමය. මට අවශ්‍ය වූයේ බිරිය අවුරුද්දට ගෙනත් දුන් කමිසය උදේට මෙන්ම හවසට ද ඇඳගෙන එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකුම අල්ලා ගැනීමටය. එහෙත් ඒ ඉලක්කය වැරදුණානේදෝයි කියා මට සිතුණේ කිසියම් පසුතැවිල්ලක්ද සමඟිනි.

සංගීතවේදී සුනිල් ධර්මසේන සිය වාද්‍ය වෘන්දයත් සමඟ පැමිණ වෑන් රියෙන් බසිද්දී චන්දු වහා දිව ගොස් ඔවුන් පිළිගත්තේය. එහි සම්බන්ධීකරණ කටයුතු කළේ චන්දුය.

දැන් වේලාව සවස 5.45 ය. සරසවියේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන පුංචි තේපැන් සාදයට හා සංගීත සැඳෑවට අප කලාකරුවන් වෙත ආරාධනා කොට ඇත්තේ සවස 6.00 සිටය. එහෙත් ඊට විනාඩි 15 කට මත්තෙන් හරියටම සවස 5.45 ට සිංහල සිනමාවේ ප්‍රතාපවත් රංගවේදියකු පත්තර මහගෙදර මෙම ප්‍රියසාද මණ්ඩපයට ගොඩ වැදුණි.

බ්ලොක් එකට අහුවෙයි කියලා මම ටිකක් කලින් ආවා . . .

කවදත් වෙලාවට, කලාවට වැඩ කරනා මේ සුන්දර මිනිසා එසේ පවසන්නේ සිනහපිරි මුවෙනි. ඔහු රොබින් ප්‍රනාන්දුය.

‘වාසනාවන්ත මනුස්සයෙක් මුලින්ම ආවේ. අපේ වැඩේ සාර්ථක වෙයි’

අරුණ අයියා මගේ කනට කර එසේ පවසයි. මම ද හිස වනා එය අනුමත කරමි. ඊළඟට එහි පැමිණියේ කලා ලොවේ තවත් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියකු වන සඳුන් විජේසිරිය. හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා කවදත් සුපුරුදු ළෙන්ගතු සිනහවෙන් මුව සරසාගෙන ඊළඟ ඇසිල්ලේ අප ඉදිරියේය.

‘මං මේ පාර්ලිමේන්තුවේ ඉඳලා ආවේ.’

පාර්ලිමේන්තුවේ නොව රජ ගෙදර සිටියත් මාලිනිය ‘සරසවිය’ අමතක නොකරනා වග අප දනිමු. ඒ ඇගේ නිහතමානීකමේ මෙන්ම කළගුණ සැළකීමේ උතුම් පිළිවෙතයි.

එහෙත් ‘සරසවිය’ නිසා නළු වරම් ලද අයෙකු මේ සාදයට ඇරැයුම් කරන්නට දුරකතනයෙන් සම්බන්ධ කරගත් විට මට පැවසුවේ ‘ප්ලීස් අසංක කරදර කරන්න එපා’ යනුවෙනි. ඔහු මා සමඟ පෞද්ගලික අමනාපයක් නැත. ‘සරසවිය’ මැද පිටුවට මා ඔහු පිළිබඳ ලිපි කිහිපයක්ම ලියා තිබේ. කා සමඟ අමනාප වුව ද ‘සරසවිය’ සමඟ අමනාප වීම ‘මුහුණත් එක්ක තරහ වී නහය කපා ගන්නවා’ වැනි වැඩක් බව එකී නළුවා තේරුම් නොගැනීම පුදුමයට කරුණකි.

‘ආං . . . රවි අයියත් එහා පැත්තෙන් ඇවිත්’

ටෙනී කොහෙදෝ සිට දුවවිත් පවසයි. මම මාලිනී අක්කා කැටුව පහල රැස්වීම් ශාලාව වෙත පිය නැගුවෙමි. රවි අයියා සිනහ මුවින් පැමිණ අතට අත දෙමින් සුහදතාවය පළ කරයි. අමාත්‍ය ජීවන් කුමාරතුංග ද පාර්ලිමේන්තුවේ සිට නිවසට ගොස් අනතුරුව පැමිණියේ සරසවිය උපන් දින සාදයටයි.

ඔන්න අපිත් ආවා . . .

ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත් එසේ පවසමින් මා වැළඳ ගත්තේ සැබෑ සෙනෙහසින් යැයි මට සිතේ. ඔවුනට මොහොතක් සමු දී නැවත දැන්වීම් අංශය වෙත පිය නගන මොහොතේ (සාදය පැවැත්වෙන්නේ එතැනය) ඈතින් ඇදෙන නදීකා ගුණසේකර, සේමිණි ඉද්දමල්ගොඩ හා මනීෂා නාමල්ගමගේ රුව මගේ නෙත ගැටිණ. සේමිණිගේ දෑත මත රැඳුණ ලොකු පෙට්ටියකි.

මේ මොනවද මේ . . .?

කේක් එකක්. අද ඔයාලගේ උපන් දිනයනේ.

කවදත් නොපැකිළව සිය යුතුකම් ඉටු කරනා සේමිණි එසේ පවසන්නේ සොඳුරු හසරැල්ලක් මුවමතට නඟා ගනිමිනි. පැමිණෙන කලාකරුවන් රැස්වීම් ශාලාව වෙත ගෙන යෑමේ කාර්යය ප්‍රසාද්ට බාර දුන් මම කෙලින්ම පිය නැගුවේ මුලින් කී තැනටය.

‘අසංක හරියටම 6.45 ට වැඩේ පටන්ගමු. ඔයා ගිහින් ආර්ටිස්ලව ඒ වෙලාවට මෙතැනට එක් කරගෙන එන්න’ අරුණ අයියා යළිත් මා අමතයි.

‘රයිට් ඕ කේ’

එසේ පවසමින් මා හාත්පස විමසුම් නෙත් හෙළමි. කර්තෘ මණ්ඩලයේ සොයුරියන් වන යතේජාත්, නදීෂාත් පැමිණෙන කලාකරුවන් පිළිගනිමින් සිටිති. තිස්ස ධම්මික, චන්දන දයා, ප්‍රියන්ත, චක්සු මේ හැමෝම මොන මොනවා හරි කතාබහකය. රූබර, යොවුන් නිළියන් දැන් දැන් ලේක්හවුස් පරිශ්‍රයට පිවිසෙන්නේ මිහිබට සුරලියන් මෙනි.

ඊළඟට මා යොමු විය යුත්තේ පැමිණි කලාකරුවන් සංගීත සාදය වෙත කැඳවා ගෙන ඒමේ කාර්යයටය. නිළි රැජන මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රමුඛ සියලු කලාකරුවන් පිරිවරා මම අදාල තැනට ගියෙමි.

සාම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමේ කාර්ය සමඟින් මේ පුංචි සාදයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණ. තමන්ගේ ඇඟපතට වඩා වැඩි බරක් ඇති සංජීවගේ ගැඹුරු හඬ සුපුරුදු ලෙසින් අප දෙසවන් අමතයි.

මේ පුංචි සාදය සංවිධානය වූයේ දින තුන හතරකට වඩා අඩු කාලයකිනි. සැබැවින්ම කියතොත් අපේ උපන් දින කේක් ගෙඩිය පිළිබඳ අදහස අප කිසිවකුගේ ඔළුවට ආවේ නැත. සේමිණි ගෙනා කේක් ගෙඩියට පින් සිදුවන්නට දැන් ඒ කාර්යයත් නොපිරිහෙලා ඉටු කළ හැකිය.

අරුණ අයියාගේ ආරාධනාවෙන් මාලිනී, ගීතා ඇතුළු තරු කැළ උපන්දින කේක් ගෙඩිය කපද්දී අවටින් නැගුණේ සැබෑ ළෙන්ගතුකමේ අත්පොළසන් නාදයයි. මාලිනිය මුල්ම කේක් කැබැල්ල විමලසිරි පෙරේරා සුරීන්ගේ ප්‍රිය බිරියගේ මුවට ළං කළේ තම ප්‍රතිරූපය හදන්නට වඩන්නට එදවස එතුමන් කළ මෙහෙවරට කෘතගුණ සලකන්නට මෙනි. රවී, මාලිනී, රොබින්, ගීතා, සේමිණී ඇතුළු කර්තෘ මණ්ඩලයේ සාමාජික, සාමාජිකාවන් ද අරුණ අයියා කැවූ කේක් කෑල්ලක රස බැලුවේ සතුටු සිතින් යුතුවය..

අද ගීතා කුමාරසිංහ වෙනදාටත් වඩා ලස්සනය. සැබැවින්ම ඇය මෙහි පැමිණ සිටියේ අතිශය කාර්ය බහුලත්වය ද මැඩගෙනය. හැමෝම ගීතා වට කරගෙන මොන මොනවාදෝ විමසනු පෙනේ. ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, දමිතා අබේරත්න, ටෙනිසන් කුරේ, සබීතා පෙරේරා, උපාලි ජයසිංහ, පද්මසිරි කොඩිකාර, විශ්ව කොඩිකාර, මොහාන් හෙට්ටිආරච්චි, බුද්ධදාස විතානාච්චි, සනත් අබේසේකර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, එරංග සේනාරත්න, ඩොනල්ඩ් ජයන්ත, රොහාන් වැලිවිට, අංජලී ලියනගේ, බුද්ධික ලොකුකැටිය, සුගත් අප්පුහාමි ආදී කලාකරුවන් එකිනෙකා හා සතුටු සාමීචියේ යෙදී සිටින්නේ උතුරා යන සතුටින්ය. කලක් සරසවිය බැබළ වූ දීප්තී ෆොන්සේකා, හේමාලි විජේරත්න, මනෝලි සුබසිංහ ද මේ සොඳුරු මොහොතට එක්ව සිටියහ.

කේක් ගෙඩිය කැපීමෙන් අනතුරුව එළඹියේ ‘සරසවිය’ ආදි කර්තෘ විමලසිරි පෙරේරා ශූරීන් සමරා එතුමන්ගේ බිරිය වෙත සම්මාන සමරු පලකයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවය. කාගේත් නෙතට සංවේදී කඳුළක් නංවමින් ඒ මාතාව එකී සම්මානය ලබා ගත්තේ ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක මහතා අතිනි.
 

ජගන් මෝහිණී, මධුර භාෂිණී

චාරු දේහිනී, කමලවාසිනී

සරස්වතී දේවී වන්දේ

සරස්වතී දේවී . . .

1964 වසරේ පැවැති ප්‍රථම ‘සරසවිය’ සම්මාන උළෙලට නිර්මාණය වූ එම ගීතය රචනා කරන ලද්දේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. සංගීතවත් කොට ගායනා කරන ලද්දේ විශාරද අමරදේවයන්ය. අද බොහෝ සංස්කෘතික හා කලා උළෙලවලදී සරස්වතී අභිනන්දන ගීතය සේ මෙය ගැයුන ද, වාදනය වුව ද එම උත්කෘෂ්ට ගීතය බිහි වූයේ ‘සරසවිය’ නිසා බව මේ මොහොතේ මතක් කර දිය යුතුව ඇත. එම ගීතයේ අනු වාදනය සත්සරට මුසුවෙද්දී සැවොම ඊට දැහැන්ගතව සිටියේ මහත් භක්තිමත් හැඟීමකිනි.

අනතුරුව අප කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා විසින් සරසවියේ අභිමානය පිළිබඳ පුංචි කතාවක් කළේ සැමගේ සිත් ඇදී යන විලසටය. ඉන් පසු ඔහු අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය වෙත මයික්‍රෆෝනය බාර දෙමින් ඔහුට සභාවේ ඉදිරි කටයුතු කරගෙන යාමට ආරාධනා කළේය. වෘත්තීය නිවේදකයකුටත් වඩා ශූර ලෙස නිවේදන කටයුතුª කළ හැකි රවීන්ද්‍ර රන්දෙණිය ඒ ඉල්ලීම බාර ගත්තේ නොපැකිලවය.

සියල්ල මෙසේ සිදුවෙද්දී ලේක්හවුස් ආයතනයේ සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා සිටියේ විදෙස්ගතවය. එතුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා ආශිර්වාදය මේ කාර්යයන් සපල කරගැනීමට මහඟුª ශක්තිියක් වූ බව ද මෙහිලා සඳහන් කළ යුතුය. ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතාත්, ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මියත් සියල්ල සොයා බලමින් අපට සහාය දැක්වූහ.

‘දමිතා ඔයා මුලින්ම සිංග් කරන්න හොඳේ’

ඇය මගේ ඇරැයුම පිළිගත්තේ හිස් මුදුනිනි.

බෑන්ඩ් එකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෑ අයියා. . .

දමිතා එසේ පවසන්නේ සංගීත කණ්ඩායම දෙසට නෙත් යොමු කරමිනි. මගේ වම්පස දමිතාය. අනෙක් පසෙන් සිටින්නේ සේමිණිය. ඔවුන් අතර පරතරය අඩි දෙක තුනකට වඩා නැත. ටෙනීගෙත්, මාලන්ගෙත් කැමරා ක්‍රියාත්මක වන්නේ විදුලියට ද වඩා වැඩි වේගයෙනි.

අපි සරසවියෙන්ම වැඩේ පටන් ගනිමු. අසංක දේවමිත්‍රට මම ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න කියලා. එන්න අසංක . . .

මා පියවි ලොවට ආවේ රවි අයියාගේ ආමන්ත්‍රණයෙනි. හරියටම කිව්වොත් මා කරකවා අතෑරියා සේය. කෙමෙන්, කෙමෙන් අත්පොළසන් හඬ නැග එයි. ඉල්ලීම අහක දමන්නට කිසිසේත්ම නොහැකි වග දැන් මම පසක් කරගෙන සිටිමි.

මයික්‍රෆෝනය අතට ගනිමින් සභාව ඇමතූ මම ‘රෑ පැල් රැකලා’ ගීතය ගැයුවෙමි. දහස් ගණන් ජනයා ඉදිරියේ, දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් රැසක් සමඟ ගී ගයා ඇති මා ඒ විනාඩි තුන හතර ගෙවා ගත්තේ මහත් අසීරුවෙනි. රවි අයියා සිය දකුණතේ ඇඟිලි පෙන්වමින් ගීත පහක් ගායනා කරන්නට මට අණ කරයි. ‘මොන පහක්ද . . . මේකත් කියන්නේ අමාරුවෙන්’ ඔහු දෙස බලමින් මම හිතෙන් හිතුවෙමි.

‘මචං උඹ නියමෙට සිංදුව කිව්වා. ඔයාගෙන්ම වැඩේ ආරම්භ කරපු එක අපටත් ලොකුª ගෞරවයක්’

කාගේ හෝ හොඳක්, නරකක් දුටු විට එය එළිපිටම කියන මාලන් මා වැළඳ ගනිමින් එසේ පවසද්දී කිසියම් සහනයක් සිතට දැනිණ. චතුර ද මා අගයමින් ‘ලකුණක්’ දමා දුන්නේය.

අනතුරුව ගී ගායනයට එක් වූයේ දමිතාය. ඇගේ මියුරු ස්වරය ළයාන්විතව ගලා ගියේ සැම සිත් ප්‍රමෝදයට පත් කරමිනි. අනතුරුව සඳුන් විජේසිරිය. දොන්ගයි, කීර්ති රංජිත් පීරිස් හා එක්ව ඉදිරිපත් කළ විකට රසාංගය සැමගේ මුවට එක් කළේ සිනහ රැල්ලකි. අමාත්‍ය මර්වින් සිල්වාගේ රුවට සමාන ගයිගේ රුවට ඇතැමුන් රැවටුනා නම් එය පුදුමයක් නොවේ.

සබීතා පෙරේරාගේ දයාබර සැමියා වූ ‘සරසවිය’ට කවදත් හිතවත් උපාලි ජයසිංහ ද ගීතයක් ගැයීමට පැමිණ ගීත දෙකක්ම ගායනා කළේ සිය ගායන කුසලතාවන් මොනවට ප්‍රදර්ශනය කරමිනි.

‘අරුණ මට ‘සරසවිය’ වෙනුවෙන් වචනයක් කතා කරන්න දෙන්න . . .’

ඒ සුරූපී සබීතාගෙන් අප කර්තෘතුමන් වෙත ලැබුණු දයාබර ඉල්ලීමකි. අරුණ අයියා වහා සංජීව සම්පත් හට ඒ බව දන්වා සබීතාගේ පිවිතුරු ප්‍රාර්ථනය මොහොතින් ඉටු කර දුන්නේය. සරසවියෙන් සිය රංගන දිවියට ලද මහගු ආලෝකය පිළිබ්ඳ සිහිපත් කරද්දී සබීතාගේ දෑසින් කෘතවේදිත්වයේ කඳුළු බිඳක් ගළා හැලෙනු මම දුටුවෙමි. තව මොහොතකින් ඈ සිය සැමියා හා පුතණුවන් සමගින් ලන්ඩන් නුවර බලා යා යුතුව තිබේ. එවැනි කලබලකාරී වටපිටාවක් මැද වුව ද සබීතාට ‘සරසවිය’ අමතක නොවීම කාටත් මහඟු ආදර්ශයක් නොවන්නේද?

ප්‍රවීණ රංගවේදී බුද්ධදාස විතානආරච්චි ද ‘සරසවිය’ වෙනුවෙන් වචන කිහිපයක් කතා කළේය. එය ද මහත් අරුත්බර කතාවකි. ඔය අතරේ තවත් සුපිරි තරුවක් නව පරපුරේ තාරකාවක් සමඟ මේ සොඳුරු අවස්ථාවට පැමිණෙනු මගේ නෙත ගැටිණ. ඒ විශිෂ්ට රංගන ශිල්පී කමල් අද්දරආරච්චිය. නවක නිළිය සුබුද්ධි ලක්මාලිය.

කමල් සිංදුවක් කියමු?

රයිට් කියමු. ඊට පස්සේ සුබුද්ධිට චාන්ස් එක දෙමුද? මොකද අපි එකටමනේ ආවේ . . .

සුවඳ දැනී දැනී දැනෙනවා . . .

කමල් ගීතය ගයන්නේ සුපුරුදු හැගුම්බර විලාශයෙනි. සැවොම ඊට සවන් දෙන්නේ මීයට පිම්බාක් මෙන්ය. අනතුරුව සුබුද්ධි, කමල් හා එක්ව මියුරු ගීතයකට මුල පිරුවාය.

ඊළඟ වාරය ඕෂධී හේවාමද්දුමගේය. මෑතකදී උතුම් මව් පදවියෙන් පුද ලද ඕෂධී මේ සොඳුරු මොහොත ඇගේ සුමියුරු ගායනයෙන් රසවත් කළාය.

තරුෂි පෙරේරා අපේ හැම වැඩකදීම අප සමඟ අතවැල් බැඳ ගන්නා සුරූපිනියයි. මෙවර ‘දැයට කිරුළ’ වෙනුවෙන් ඈ අප සමඟ අම්පාරට ගියේ සිය දහසකුත් එකක් රාජකාරි අතරතුරදීය. නිළිකමට මෙන්ම ගායනයට ද එකසේ උපන් හපන්කම් දක්වන තරුෂිගේ ගායනය ඒ මොහොතේ සැමට ගෙන ආවේ අපූර්ව මිහිරකි.

‘බිළිඳුනේ . . දරුවනේ

පැළෙත් රජ මැදුරේ . . .’

ග්‍රේෂන් ආනන්ද ගී හඬ යළි සිහිපත් කරමින් පුතු මාරියෝ ආනන්ද එසේ ගැයුවේ කාගේත් නෙතට කඳුළක් එක් කරලමිනි..

ෂඞ හරි ලස්සනට කියනවා . . .

සබීතා ඒ ගායනයට සිය ප්‍රසාදය පළ කරන්නේ ඒ අයුරිනි. කවදත්, කොතැනත් ගීතයෙන් වැඩ පෙන්වන අපේ චන්දු ද ‘මල් ලෝකේ මහා භෘංග රාජයා’ ගීතය ගයමින් නරඹන්නන් ප්‍රාණවත් කළේ සුපුරුදු අයුරිනි. වත්මන් පරපුරේ ආදරණීය රංගන ශිල්පියකු, නිවේදකයකු හා ගායන ශිල්පියකු වන සාරංග දිසාසේකර ප්‍රියසාද් පවුලේ බඩපිස්සිය වූ ශනුද්‍රි ප්‍රියසාද් සමඟින් ගැයූ ආදර ගීතය නිමා වූයේ කන් බිහිරි කරවන තරමේ අත්පොලසන් නදක් සමඟිනි. ශනුද්‍රි මෙන්ම දිනක්ෂි හා ශේෂාද්‍රි ද හැලප කන්නට උපන් ශූරියන් බව තේ මේසයේදී එදා අප දැන ගතිමු.

මනීෂා නාමල්ගම, කීර්ති රන්ජිත් පීරිස්, උපාලි කීර්තිසේන, සරත් දික්කුඹුර ආදීන් ද ගීයෙන් අප කුල්මත් කළහ. ඉතා හොඳ ගායන හැකියාවකින් හෙබි අප මිත්‍රයා උද්දික ප්‍රේමරත්නට නම් එදා අපල දවසකි. ඔහු සිටියේ උගුරත් බැරැන්ඩි වී හොඳ හැටි අසනීපවය. ගී ගයන්නට නොහැකි වුණත් අසනීපයෙන් පෙළෙමින් ඔහු මෙම අවස්ථාවට පැමිණීම කාට කාටත් ආදර්ශයකි. අපට ගෞරවයකි. මේ සාදයට ඇරැයුම් කරන්නට නොහැකි වූ කලාකරුවන්හට කනගාටුව පුද කිරීම අපේ යුතුකමකි. ඊට හේතු වූයේ මේ කටයුත්ත සඳහා ලැබී තිබූ සීමිත කාලයයි.

පානදුර සිට පැමිණි අපේ මේ සුරූපිනිය පිළිබඳ නොකියාම බැරිය. ඒ දුලානි අනුරාධාය. ඇගේ සොඳුරු රූ සපුව එදා කාගේත් නෙතට ‘රසඳුනක්’ වූ බව නම් නිසැකය.

සතුට, සොම්නස, ළෙන්ගතුකම පිරී ඉතිරී යන මේ සොඳුරු සැඳෑව කෙමෙන්, කෙමෙන් ගෙවී යන්නේ රාත්‍රී අඳුරට ඉඩ හරිමිනි. මේ රස ගුලාව හැර යන්නට කිසිවකුගේත් කැමැත්තක් නැති ගානය. එහෙත් අකැමැත්තෙන් හෝ තව මොහොතකින් අප සියල්ලෝම එකිනෙකාගෙන් සමුගත යුතුව තිබේ . කැවුම්, කොකිස්, මුං අලුවා මෙන්ම කට්ලට්, පැටිස්, සැන්විච් පිරි කෑම මේසය ද එකී නොකී සියලු දෙනාට විවෘතය. වැඩි දෙනාගේ කැමැත්ත උණු කහට කෝප්පයකට හා කිතුල් හකුරු කෑල්ලකට බව පෙනේ. ඒ උණුහුම් තේ කෝප්පයේ මිහිර විඳ ගනිමින් සියල්ලෝම එකිනෙකාගෙන් සමුගත්තේ අපමණ සොම්නසිනි.