වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අපි හැම පැත්තෙන්ම බැටකනවා

අපි හැම පැත්තෙන්ම බැටකනවා

චිත්‍රපට ශාලා හිමියන්ගේ විශේෂ හෙළිදරව්වක්

සිනමා ශාලාවල තත්ත්වය පිළිබඳව ඇතැම් මාධ්‍ය මඟින් කරන්නා වූ හෙළිදරව් වෙනුවෙන් කතා කරන්නට ඉඩක් ලබා දෙන ලෙස චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය හා ජාතික සිනමාහල් හිමියන්ගේ සංගමය මඟින් පසුගියදා සරසවියෙන් ඉල්ලීමක් කළා. මේ අනුව එම සංගමයන්ගේ නිලධාරීන් වූ විපුල සෙනරත්, මහින්ද මහගලගේ, අනුරාධ බී. රැකව සහ නිමල් කුලරත්න පැවැසූ අදහස් අනුව මේ ලිපිය සැකසිණි.

චිත්‍රපට ප්‍රදර්ශකයන් සම්බන්ධව විවිධ චෝදනා ගොනු වෙලා තිබෙන වෙලාවේ වර්තමානයේ ප්‍රදර්ශකයන්ගේ තිබෙන අර්බුද මොනවාද?

ප්‍රධාන වශයෙන් අපේ අරමුණ වෙන්නේ අපට තියෙන ඒ අපහසුතා පිළිබඳව හෙළිදරව්වක් කරන්න. ආරම්භ වශයෙන් කියනවා නම් ඇයි අපට මෙහෙම වුණේ. මේ ඛේදනීය ලැජ්ජා සහගත තත්ත්වයට පත්වීමේ හේතු මොනවාද? කියන එක හෙළිදරව්වක් කරන එක තමයි අපේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ.

ඛේදජනක තත්ත්වය විග්‍රහ කරන්නේ කොහොමද?

ප්‍රධාන වශයෙන්ම වෙලා තියෙන්නේ ශාලාවේ පැවැත්මට, ශාලාවේ තිරගත වන චිත්‍රපටයන්ගේ ගැටළුව. ශාලාව හොඳ තත්ත්වයේ තිබීම චිත්‍රපටයට පැහැදිලි සහයෝගයක් වෙනවා. නමුත් ශාලාවේ ඇති චිත්‍රපටය තමයි ශාලාවේ පැවැත්මේ තීරකයා. ඒ වගේම චිත්‍රපට ලැබීමේ ක්‍රමවේදය යටතේ අපට පිටතින් චිත්‍රපට ලබා ගන්නට බැහැ. ඒ් අනුව වර්තමානයේ චිත්‍රපට ලබා ගැනීමට ඉඩ දී තිබෙන ක්‍රමය අනුව අපි අසාර්ථකයින් බවට පත්කරලා තිබෙනවා.

වෙනත් වචනවලින් කියනවා නම් බහුතරයක් වන මේ සිනමා ශාලාවල පිරිහීමේ හේතුව මේ බෙදා හැරීමේ ක්‍රමවේදය තුළ ප්‍රදර්ශකයාට ලැබෙන චිත්‍රපට අසාර්ථක වීම සහ චිත්‍රපට නොලැබීම තුළ ඇති වන්නා වූ ප්‍රශ්න. එනම් තිරගතවීමට චිත්‍රපට නොමැති වීම.

ඒ නිසා අපට සිදු වෙනවා පරණ හෝ අසාර්ථක චිත්‍රපට පෙන්වීමට. එය ආර්ථික අහේනියට හේතු වෙනවා. හැබැයි අපි සූදානම් වෙන්නේ අඬන්න නම් නෙමෙයි. මෙය හෙළිදරව් කිරීම අපේ යුතුකමක්. අදාල පාර්ශවයන් දැනුවත් කිරීම තුළින් නැවතත් සිනමාව ගොඩ ගන්න එක තමයි අපේ එකම අභිප්‍රාය වෙන්නේ. අපි ඒ අධිෂ්ඨාන පූර්වකව තමයි මෙතනට පැමිණිලා තිබෙන්නේ.

චිත්‍රපට නොලැබෙනවා කියන්නේ කාගෙන්ද? තවමත් චිත්‍රපට බෙදා හැරීම පවතින්නේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනයක් තුළ, එතකොට ප්‍රදර්ශකයන්ට චිත්‍රපට ලැබෙන්නේ කාගෙන් ද නොලැබෙන්නේ කාගෙන් ද?

ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික කියන අංශ දෙකෙන්ම චිත්‍රපට ලැබෙන්නේ. එතකොට පසුගිය අවුරුද්දේ 2012 අවුරුද්දේ ගත්තම වර්ෂයටම චිත්‍රපට මුදාහැර තිබෙන්නේ සිංහල චිත්‍රපට 16 යි.

ශාලාවකට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය කියන්නේ අවුරුදු 30 කට වැඩි කාලයක් අපි මේ ප්‍රදර්ශකයන් වශයෙන් කටයුතු කරලා තිබෙන නිසා. අවුරුදු 30 ක් මේ ක්ෂේත්‍රයේ නියැලී සිටි නමුත්, දැන් ඒ අයිතියට වැඩිය ශාලාවට චිත්‍රපට ලැබෙන්නේ කිසියම් විදියක වරප්‍රසාදයක් තුළයි. අපේ රටේ වරප්‍රසාද ලැබෙන ප්‍රදර්ශකයන් කොටසක් ඉන්නවා. ඒ චිත්‍රපට ශාලාවලට පමණයි දිගින් දිගටම චිත්‍රපට ලැබෙන්නේ. හැබැයි එතැන ඉන්නේ සුළුතරයක් ශාලා හිමියන් පමණයි.

අපේ පැත්තෙන් ගත්තම බහුතරයක් වන අපට වෙලා තිබෙන්නේ චිත්‍රපට ලැබෙන්නේ නැති තත්ත්වයක්. නැත්නම් ලැබෙන චිත්‍රපට අසාර්ථකයි. චිත්‍රපට අසාර්ථකයි කියන්නේ නරඹන ප්‍රේක්ෂකයෝ අඩුයි. අපිත් චිත්‍රපට පෙන්වමින් ඉන්නවා. නමුත් දැන් තිබෙන විදිහට හරියට මේ අම්පයර්ලා නැති මැච් එකක් ගහනවා වගෙයි මං දකින්නේ.

වරප්‍රසාද ලැබෙන සිනමා ශාලා කියලා කොටසක් තියෙන බව ඔබලා කියනවා. ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළොත්?

ප්‍රධාන වශයෙන් චිත්‍රපට ලැබෙන මණ්ඩල තියෙන්නේ දෙකක් විතරයි. අනෙකුත් මණ්ඩලවලට හම්බ වෙන්නේ ඔවුන් ප්‍රතික්ෂේප කළ චිත්‍රපට. එහෙමත් නැත්නම් කරකියා ගන්න දෙයක් නැතිව ගිය චිත්‍රපට තමයි අපට ලැබෙන්නේ.

ඒ චිත්‍රපටවලින් තමයි අපිට දුවන්න වෙලා තියෙන්නේ. එතකොට ඒව ජනතාව අතරට යන්නේ නැහැනේ. ඒ වුණත් අපි කොහොම හරි සිනමා ශාලා පවත්වාගෙන යන්න ඕනෑනේ. අන්න එතැනදි තමයි අපිට මේ ගැටළුව පැන නැගිල තියෙන්නේ. හැම චිත්‍රපටයක්ම යන්නේ අර මණ්ඩලවලට. අපිත් දන්නවා මේ චිත්‍රපට ගත්තම අපේ ශාලාවල තත්ත්වය උදා වෙනවා කියලා. නමුත් අපි සිනමා ශාලා පවත්වාගෙන යන්න ඕනෑනේ.

සිනමා ශාලාවල ඇති අඩුපාඩුකම් නැතිනම් පහසුකම් අවම බව මේවට බලපා තිබෙනවාද?

අපිත් කැමැතියි අපේ සිනමා ශාලා හදන්න. ඒත් වියදම් කරපු මුදලවත් හොයා ගන්න පුලුවන් තත්ත්වයක් නැහැනේ. සිනමා ශාලාවක් අලුත්වැඩියා කරන්න ලක්ෂ 10 ක් විතර යනවා. ලක්ෂ දහය නැවත හොයා ගන්න බැහැ. මේක තමයි වෙලා තියෙන්නේ. චිත්‍රපට දුවන්නේ නැති වුණාම, චිත්‍රපටයේ ගුණාත්මකභාවයන් නැති වුණාම මිනිස්සු ඒ පලිය ගන්නේ සිනමා ශාලාවලින්. ඇවිත් බලන්නකෝ චිත්‍රපට ශාලාවල ටොයිලට් කඩල, පුටු ඉරල, මිනිස්සු පලිය ගන්නේ අපෙන්.

අනෙක් කාරණය ලංකාවේ හදන හැම චිත්‍රපටයක්ම තිරගත වෙනවනේ. ඒක දුවන්න පුලුවන් ද බැරි ද හොයන්නේ නැහැ.

මෙවැනි චිත්‍රපට ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් ඔබලාට නැද්ද?

නැහැ. අනිවාර්යයෙන්ම දුවන්න ඕනේ.

අනෙක් කාරණය තමයි 2001 වර්ෂය පමණ වෙනකම් චිත්‍රපට බෙදා හැරීම ජාතික චිත්‍රපට සංස්ථාව හරහා සිද්ධ වුණේ. මේකට විරුද්ධව සිනමා කර්මාන්තයේ බොහෝ දෙනා නැගී හිටිය. ඒ ක්‍රමවේදයට පසු ඇරඹුණු ක්‍රමයෙන් ඇති වෙච්ච නරක දේවල් මොනවාද?

දැන් අපි බලන්න ඕනේ පසුගිය වසර දොළහක පමණ කාලයක ප්‍රතිඵලය තමයි මිලියන 16.5 ක් වූ ප්‍රේක්ෂකයන්, වසර දොළහකට පසුව මිලියන 7.5 ක හෝ 7 කට ප්‍රේක්ෂකයන් අඩු වෙලා, චිත්‍රපට ශාලා සියයට 25 ක් වැහිලා. ඊට අමතරව සිංහල චිත්‍රපට කර්මාන්තය ආරම්භ වෙලා වසර 65 යි. 2012 දී චිත්‍රපට මුදා හැරෙන්නේ 16 යි. මෙන්න සමස්ථ ප්‍රතිඵලය.

අද කොළඹ ප්‍රධාන සිනමා ශාලාවක් වන ලිඩෝ සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වන චිත්‍රපටයේ කටවුට් එකක්වත් නැහැ. අද ශාලාවල තත්ත්වය ඕකයි. එසේ තිබියදී තමන්ගේ ලාබ ප්‍රයෝජන සඳහාම පමණක් ඇතිකර ගත්තා වූ කිසියම් ක්‍රමවේදයක් තුළ යම් සුළුතරයකට චිත්‍රපට ලැබෙනවා. ඒ සුළුතරය චිත්‍රපට සාර්ථකව පෙන්වනවා. බහුතරයක් චිත්‍රපට පෙන්වන්න අපේක්ෂාවෙන් සිටියත් චිත්‍රපට නැහැ. චිත්‍රපට 16 යි නිදහස් වෙලා තිබෙන්නේ. නරඹන පිරිස මිලියන ගණනින් අඩු වෙලා. පැහැදිලිව කියන්න තියෙන්නේ සමස්ථ චිත්‍රපට කර්මාන්තයම පසුබෑමකට ලක්වෙලා තිබෙන්නේ.

පසුගිය වකවානුවේ බොහෝ චිත්‍රපට ඉතා ඉහළ ආදායම් වාර්තා තබමින් තිරගත වෙලා. හොඳ සිනමා ශාලා ගොඩනැගිලා තිබෙනවා. අධ්‍යක්ෂකවරු කියනවා අපි චිත්‍රපට හදපු නිසා තමයි මේ සිනමා කර්මාන්තය පවතින්නේ කියලා. ආදායම් වාර්තා තබමින් තිරගත කරපු චිත්‍රපට සමස්ථ සිනමා ශාලාවලට ගියේ නැද්ද?

මම නැවතත් කියනවා අර කියන වරප්‍රසාදලාභී සිනමා ශාලාවලට පමණයි ලැබුණේ. ඕකයි ඇත්ත කතාව. චිත්‍රපට සංස්ථා මණ්ඩලය හැරුණු කොට කිසිම මණ්ඩලයකට සිනමා ශාලා 35 ක් වත් නැහැ. පිටපත් 50 ක් මුදා හැරීම තුළින් මේ කරන්නේ ඒකාබද්ධ කිරීමක්නේ. එතකොට මේ ඒකාබද්ධ කිරීම වැඩකට නැති වැඩක්.

මේ පැවත්ම තුළ මණ්ඩල පහක් ක්‍රියාත්මක විය යුතුයි. මණ්ඩල ඒකාබද්ධ කිරීම තුළින් ප්‍රධාන මණ්ඩලයක අනු මණ්ඩලයක් බවට පත් වෙනවා. දැන් ඒක අනු මණ්ඩලයක්, මණ්ඩලයක් නොවෙයි. එතකොට ඒ අනු මණ්ඩලය තුළත් තෝරා ගත් ශාලා කිහිපයකට චිත්‍රපට ලැබෙනවා. ඕක දිගටම සිද්ධ වෙනවා. අපිට චිත්‍රපට නැහැ. මණ්ඩලයක තිබෙන ශාලා පහකට චිත්‍රපට ලැබුණට ඒ මණ්ඩලයේ තවත් සිනමා ශාලා 15 කට චිත්‍රපට නැහැ. මෙන්න මේ තත්ත්වය තමයි දැන් තිබෙන්නේ.

මේ ප්‍රශ්නයට ඔබ චෝදනා කරන්නේ කාටද?

මණ්ඩලවලින් තමයි අපට චිත්‍රපට ලැබෙන්නේ. ඒක නිසා තමයි කිව්වේ අපිට මැච් එකක් නැහැ. ටොස් එකේදීම මැච් එක පැරදිලා ඉන්නේ කියලා. මේ ක්‍රමවේදය තුළ අපව නොසලකා හැරීමෙන් සමහරුන් ලාභදායී වෙලා තිබෙනවා. ප්‍රධාන දේ තමයි චිත්‍රපට සංස්ථාවත් එක්ක චිත්‍රපට කර්මාන්තයත් එක්ක එකට බද්ධ වෙච්ච පැහැදිලි නීති රීති, ක්‍රියා පිළිවෙලක් තියෙනවා. මෙතන වෙලා තියෙන්නේ ඕනකමින් ඒක මගහැරලා, අමතක කරලා තියෙනවා. පැත්තකට දාලා විනාශ කරලා.

අපි අහන්නේ ප්‍රදර්ශකයන් නැතිව, ඒ අයව අයින් කරල මේ කර්මාන්තය සංවර්ධනය කරන්න පුලුවන්ද? අපි අහන්නේ ඒකයි. අපි නැතිව මේක සංවර්ධනය කරන්න පුලුවන්ද? මෙවැනි බෙදා හැරීමේ ක්‍රමයක් තුළ, මේ ශාලා සංවර්ධනය කරන්න කවුද ඉදිරිපත් වෙන්නේ. කියන්න ඕනේ අර කිව්ව වරප්‍රසාද ලබන පිරිස ඉන්නවා.

චිත්‍රපට සංස්ථාව චිත්‍රපට ශාලා 13 ක් ප්‍රතිසංස්කරණය කරමින් යනවා. ප්‍රක්ෂේපන යන්ත්‍ර ගෙනල්ලා බෙදා හැරීමේ මූලික වැඩ පිළිවෙලක් සංස්ථාවේ මූලිකත්වයෙන් ආරම්භ වී තිබෙනවා. මම අහන්නේ මේ ශාලා අලුතින් ඉදිකරන ශාලා නොවෙයිනේ. තිබෙන ශාලා අලුත්වැඩියා කර විවෘත කිරීමක්නේ කරන්නේ.

මේ ක්‍රමය තුළ කරලා තියෙන්නේ වෘත්තීයේ නියැලෙන්නන්ට අනාරක්ෂිත භාවයක් ඇති කිරිමක්. රැකියාවේ අනාරක්ෂිත හැඟීමක් ඇති කරලා. ඊට අමතරව වෘත්තීය බියක් ඇති කරලා. මේ රැකියා බිය දුරු කරන්නේ නැතිව සිනම ශාලා නැවත විවෘත කළැයි කියන එක විහිළුවක්නේ.

චිත්‍රපට සංස්ථාවෙන් චිත්‍රපට බෙදාගෙන යන කොට නොයෙක් අර්බුද ඇති වුණා. අපි ස්ට්‍රයික් කළා. එදා වුණෙත් චිත්‍රපට නැතිකම. එදා සංස්ථාව කළෙත් පිරිසක් තෝරා ගෙන චිත්‍රපට දුන්න එකයි. ඒක නිසා තමයි මේ බෙදා හැරීම පෞද්ගලික අංශයටත් දුන්නේ. ඊට පස්සේ සංස්ථාව මණ්ඩලයක් හදා ගත්තා. චිත්‍රපට සංස්ථාවට කොළඹ සිනමා ශාලාවක්වත් නැහැ. නිෂ්පාදකයා බලන්නේ කොළඹ නගරයේ හෝල් කොහෙද තියෙන්නේ. පිට නගරවල හෝල් තියෙන්නේ මොනවද කියලා. ඡ් ඒ ර්‍ථ මණ්ඩලයට ලංකාව පුරාම ශාලා තිබෙනවා. බොහොමයක් නවීකරණය කරලා. ඒක නිසා හැමෝම ඒ මණ්ඩලයට යනවා.

අනෙක් මණ්ඩලවලටත් තිබුණු ශාලා තිබුණනන් ඒවටත් නිෂ්පාදකයෝ එනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ, සංස්ථාව කරන්නේ මොකක් හරි අර්බුදයකින් වැහෙන ශාලාවක් බලල ඒ අය ගන්නවා. ඒ අයගේ ගොඩ වැඩිකර ගන්නවා. ඒ වුණත් චිත්‍රපටයක් මුදා හැරීමට තනිවම බැහැ. අද වෙනකම් බැරිවෙලා තිබෙනවා. කොපි 50 ප්‍රශ්නයේදීත් වරදක් නැහැ. මොකද හෝල් 50 ක් ආවරණය වෙනවා. ඒ හැම දේකටම ක්‍රමවේදයක් තිබිය යුතුයි. බලධාරියා චිත්‍රපට සංස්ථාව නම් ඒ බලය නියම ලෙස පාවිච්චි කරල කොපි 50 ක් දෙනවා. පළමුව හෝල් 50 කට බෙදනවා. ඊළඟට එන චිත්‍රපටය තවත් හෝල් 50 කට දෙන්න නියෝග කරනවා. සංස්ථාව බලධරයා නම් මේව කළ යුතුයි යන්නයි මගේ හැඟීම.

මොන මණ්ඩලයේ වුණත් අන්තිම සවුත්තු චිත්‍රපට ශාලා තිබෙනවා. සමස්ථයක් ලෙස ගත්තොත් සියයට 60 ක් පමණ ශාලා හොඳ සිනමා ශාලා කියන ගණයට තබන්න බැහැ. තාක්ෂණයේ දියුණුවත් සමඟ නොයන මේ ශාලා නිසා මේ තරගකාරී ව්‍යපාරයට මුහුණ දෙන්න පුලුවන්ද?

සිනමා ශාලා නවීන තාක්ෂණය සමඟ මුසු වී දියුණු විය යුතුයි. ඒකේ තර්කයක් නැහැ. ප්‍රේක්ෂකයන්ට උපරිම පහසුකම් සැලසිය යුතුයි. අපි ඒක කරන්නටම ඕනේ. අද මේ ඇති වෙලා තිබෙන මේ තත්ත්වයෙන් මිදෙන්න අපි කිසියම් විදිහක බාධක හඳුනාගෙන කරුණු කාරණා තේරුම් ගෙන මේකෙන් ගොඩ එන්න හොඳ දැක්මක් තියෙන්න ඕනේ.

ඒ අනුව සකස් කළ ස්ථිරසාර හොඳ සැලැස්මක් තිබිය යුතුයි. එක එක අයට එක එක විදිහට හදපු සැලැස්මක් වෙන්න බැහැ. මෙන්න මෙතෙන්ට උත්තරයක් වශයෙන් රජය මැදිහත් වීම තුළ අතිගරු ජනාධිපතිතුමා හමු වුණු අවස්ථාවේදී අපට පැන නැගී ඇති කරුණු කාරණා පැහැදිලි කිරීමෙන් පසුව එතුමා අපට සුවිශෙෂී වූත් වඩා ආකර්ශණීය වූත් බදු සහන දුන්නා. අපට සියලු පහසුකම් දීල තිබෙන්නේ. ඒත් මේකෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙලා තිබෙනවා. සිනමාකරුවන්ට, ප්‍රදර්ශකයන්ට, ප්‍රේක්ෂකයන්ට මේ කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න බැරිවෙලා තිබෙනවා.

ජාතික චිත්‍රපට සංස්ථා පනත සංශෝධනයෙන් පසු ඇතිවන නව තත්ත්වයන් හා ඉදිරි ක්‍රියා මාර්ගය අධ්‍යනය කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා උපදේශන කමිටුවක් පත් කර තිබෙනවා. දැනටමත් මේ කමිටුව රැස්වීම් පවත්වනවා. මෙය අපි පිළිගන්නවා මෙය හරි මාර්ගයට අවතීර්න වීමේ ක්‍රියා මාර්ගයක් ලෙස. එමෙන්ම අපි බලාපොරොත්තු වෙනවා චිත්‍රපට බෙදා හැරීම ක්‍රමවත් සහ සෑම ප්‍රදර්ශකයාට පොදු වූ සමානාත්ම වූත් බෙදා හැරීමේ ක්‍රියාවලියකට ප්‍රවිශ්ඨ වේවි කියලා.

විශාල මුදලක් වියදම් නොකර වුණත් කළ හැකි ප්‍රේක්ෂකයාට දිය යුතු අවම පහසුකම්වත් සැලසීිමට ඔබ උත්සාහ නොගන්නා සිනමා ශාලා කොළඹ ආශ්‍රිතවත් තිබෙනවා යැයි අප චෝදනා කළහොත්?

චිත්‍රපට ශාලාවල අඩුපාඩු තිබෙනවා නම් ඒවා හදා ගන්න බැරිකමක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නේ අපි ෂෝරූම් එක හදාගත්ත කියන්නකෝ. විකුණන්න බඩු නැත්නම් මොකද කරන්නේ? එහෙම නැත්නම් විකුණන බඩු අලෙවි වෙන්නේ නැත්නම් මොකද කරන්නේ? අලෙවි වෙන්නේ නැති කොට ශාලාවට බනිනවා. අලෙවි වුණාම ඔන්න වාර්තා තිබ්බා කියල උදම් අනනවා. මේ දෙකම වෙන්නේ එකම ශාලාවේ නම්, ප්‍රශ්නෙ තියෙන්නේ නිර්මාණයේ බව තේරෙනවනේ.

ඔබට ලොකු චෝදනාවක් තිබුණා බොහොමයක් හෝල් හරක් මඩු වගේ කියලා. ඇත්තටම ප්‍රධාන නගර කිහිපයකම තිබෙන හෝල් මෙවැනි තත්ත්වයක පවතිනවා. උදාහරණයක් ලෙස කිව්වොත් මහරගම නගරයේ චිත්‍රපට ශාලාවක් තිබෙනවා චිත්‍රපට පෙන්වන්න සුදුසු නැති තත්ත්වයක. අපි මේ පිළිබඳව මණ්ඩලයෙන් විමසුවා. ඒ අයට දෙන්න උත්තරයක් නැහැ. මෙතෙන්ට වැඩියෙන්ම යන්නේ අලුත් පරම්පරාව. මේ තත්ත්වය පිළිබඳ ඔබලාගේ අදහස කුමක්ද?

හොල් හරක් මඩු වගේ කියලා අපහාස කරලා තිබුණා තමයි. අපි හිතන්නේ සමස්ථයක් ලෙස ගත්තොත් ලංකාවේ බොහොමයක් හෝල් දැන් හොඳයි. කවුරුත් ලැජ්ජයිනේ තමන්ගේ හෝල් එක මෙවැනි තත්ත්වයක පවතිනවට. මේ හරක්මඩු කතාව නිසා වැදිලා තියෙන්නේ අපිටනේ. සිනමා ශාලා හිමිකරුවෙක් හරි පාලකයෙක් හරි, කළමනාකරුවෙක් හරි, නළුවෙක් හරි, නිළියක් හරි මේ තත්ත්වයේ හිටපු අය අද පාර්ලිිමේන්තුව දක්වා ගිහින් තියෙනවා. එච්චර දීර්ඝ ගමනක් යන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි සිනමාව කියන්නේ. අපට තිබුණු මේ අභිමානය අද නැති වෙලා.

මේ පරිහානිය හරහා අපිව කුණු ගොඩට විසි වෙලා තිබෙන්නේ. ඔය කියන කතාවලට අභියෝගයක් කරන්න නොවෙයි අපි මෙතනට ආවේ. අපි අද මුහුණ පා ඇති ගැටලු හෙළිදරව් කරන්නයි අපේ සැබෑ වුවමනාව. මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ පාරම්පරික සිනමා ශාලා හිමියන්. එහෙම තත්ත්වයක් තුළ මේකට විසඳුමක් සොයා ගන්න ඕනෑනේ. මං හිතනවා ඔබතුමාලා පිළිගනීවි අපි නැතිව මේ කර්මාන්තය දියුණු කරන්න පුලුවන් ද කියලා.

නිෂ්පාදකවරයාටම තමන්ගේ චිත්‍රපටය තිරගත විය යුත්තේ මේ සිනමා ශාලා කියා තෝරා ගන්නා ක්‍රමවේදයක් ගැන ද අදහස් කරන්නේ?

නැහැ, එහෙම වුණෙත් වෙන්නේ නිෂ්පාදකයා සිනමාහල තෝර ගනී, ප්‍රදර්ශකයා චිත්‍රපටය තෝරා ගනී. ප්‍රේක්ෂකයා මේ දෙකම තෝර ගනී. දැනටමත් සිද්ධ කරලා තියෙන්නේ ඒකනේ. අපේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් කැමැති හොඳ හරයක් තියෙන විනෝදාස්වාදයක් ලබන්න පුලුවන් චිත්‍රපට නරඹන්නයි.

චිත්‍රපට හැදුවට මේ බෙදා හැරීමේ ක්‍රමවේදය තුළ අද සිනමා ශාලා හිමියන් බොහොමයක් අතරමං වෙලා කිව්වොත් මං හරිද?

ඇත්තටම ඒක තමයි සත්‍යය.

චිත්‍රපට නැති නිසා වැසී පවතින සිනමා ශාලා ගණන සංඛ්‍යාත්මකව පැවසිය හැකිද?

චිත්‍රපට නැතිකමත් බෙදා හැරීමේ ක්‍රමවේදයත් නිසා ප්‍රධාන නගරබදව පිහිටි බොහොමයක් ශාලා වැහිලා. හුඟාක් ඒවා රාත්‍රී 6.30 දුවා ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. චිත්‍රපටයක් ඇවිත් අනෙක් චිත්‍රපටය එනතුරු පොඩි කාල පරාසයක් තිබෙනවා. මේ කාලයේදී හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට පෙන්වනවා.

අද පෙන්වන්නවත් චිත්‍රපට නැහැ. මට මතකයි එක් වසරකදී ඉංග්‍රිසි චිත්‍රපට 70 ක් මෙරටට ගෙනවිත් තිබුණා. දැන් හතක්වත් පෙන්වන්නේ නැහැ. අනෙක් චිත්‍රපටත් එහෙමයි. පෙන්නුවත් වැඩි හරියක් පෙන්වන්නේ කොළඹ හෝල් දෙක තුනක විතරයි. මොකද කාටුන්, 3ච් චිත්‍රපට ගම්බදව දුවන්න පුලුවන් තත්ත්වයක් නැහැ.

ඒ කියන්නේ ප්‍රදර්ශකයෝ එවැනි චිත්‍රපට ඉල්ලන්නේ නැද්ද?

කාටුන්, 3ච් චිත්‍රපට අපේ ගම්වල පෙන්වන්න බැහැ. විදෙස් චිත්‍රපට බලන පිරිස නැතිව නෙමෙයි. හොඳ චිත්‍රපට පෙන්වන්න ඕනේ. දැන් වැඩි හරියක් පෙන්වන්නේ ඇනිමේෂන් චිත්‍රපට. ඒවට එච්චර ඉල්ලුමක් නැහැ. ටයිටැනික්, ජුරාසික්පාක් වැනි චිත්‍රපට ලංකාව පුරා හෝල්වල අති සාර්ථකව තිරගත වුණා. ඒ වගේම මෑත කාලයේ සිංහල චිත්‍රපට කිහිපයකුත් සාර්ථකව ප්‍රදර්ශනය වුණා. අද වැඩි හරියක් ඉල්ලුම තියෙන්නේ දේශීය චිත්‍රපටවලටයි. මේක තමයි විය යුත්තේ. ප්‍රශ්නෙ තියෙන්නේ මේ බෙදා හැරීමේ පවතින ක්‍රමවේදය තුළ අතලොස්සකගේ ජයග්‍රහනය සඳහා බහුතරයක් හැමදාම පරාජය වෙන්න වෙන එකයි. එහෙම වෙන්න ඕනෑද?

අද පවතින සිනමා ශාලා බොහෝමයක් වසර තිහ හතළිහකට එහා හදපු එවා. මේ ශාලා නව තාක්ෂණය එන මේ යුගයට මේ ශාලා ගැළපෙනවද කියන ප්‍රශ්නය ඔබලා දකින්නේ මොන ආකාරයටද?

මේ ක්‍රමවේදය ආවේ අවුරුදු 12 ක පමණ සිටනේ. මේ ශාලා බොහොමයක් ඊට පෙර හදපුවානේ. එක එක කාලෙට අවශ්‍ය විදිහට පෙරළි ඇති වෙනවානේ. නැත්තෙ නැහැනේ. එදා කියපු දේ අදට නොගැළපෙනවා විය හැකියි. එදා පාරවල්, පාලම් අදට ගැළපෙන්නේ නැහැනේ. එදා හදපු ඒවා අද මදි. ඒක අපි පිළිගන්නවා. ඒ වුණාට වෙලා තියෙන්නේ මොකද්ද? තිබිච්ච ටිකත් අඩු වෙලා. අලුතින් මේ කර්මාන්තයට එනවද, ආපු කෙනෙක් ඉන්නවා නම් ගිහින් අහල බලන්න. විමර්ශනයක් කරලා බලන්න සාර්ථක ද කියලා. මේකයි ඇත්ත තත්ත්වය.

නවීන පහසුකම් දෙන්න ඕනේ, නවීන තාක්ෂණය ගේන්න ඕනේ. නමුත් සිනමා සංකීර්ණවලින්ම මේ සිනමාව ගොඩ නැගිය හැකි ද? තිබෙන සිනමා ශාලා අමතක කරලා මේ දේ කරන්න පුලුවන්ද? ලේසිම ක්‍රමවේදය තමයි මේ තියෙන සිනමා ශාලා ආරක්ෂා වෙන විදිහේ ක්‍රමවේදයක් සැකසීම. මිනිස්සු ඒ ටික කර ගන්නවනේ, චිත්‍රපට ලැබෙන එකයි අවශ්‍යය. චිත්‍රපට ශාලාවල වෙන අතිරේක මොනවා තිබුණත් ප්‍රධාන දේ තමයි චිත්‍රපටය.

මේ රස්සාව ගැන කිසිදු විශ්වාසයක් තබාගන්න බැහැ. ඒක නිසා අලුතින් මේ ක්ෂේත්‍රයට කිසිවෙක් පිවිසෙන්නේ නැහැ. සිනමා ශාලාවකට සේවකයෙක් ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන්නේ. සිනමා ශාලා හිමිකරුවකුට එදා සමාජයෙන් තිබුණු තත්ත්වය අද නැහැ. කවුරුවත් ගණන් ගන්නේ නැහැ. කොටින්ම තව ටික කලකින් මේ ක්ෂේත්‍රයේ වෙනසක් නොවුණොත් ශාලා හිමියෙකුට ගැහැනියක් ගන්නවත් බැරි වෙනවා. ඒ තරමට මේ වෘත්තීය පිළිබඳ විශ්වාසයක් තබන්න බැරි තත්ත්වයක් ඇති වෙලා.

මොන දේ වුණත් අපේ රටේ මිනිස්සු තවමත් සිනමා ශාලාවලට ඇවිත් චිත්‍රපට බලන්න කැමැතියි. ඒක නැහැයි කියන්න බැහැ. පිරිස ගෙන්න ගන්න පුලුවන් චිත්‍රපට නැතිකමත්, තිබුණත් අපට නොලැබීම නිසාත් තමයි මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ.

අපිට වදින තවත් තැනක් තමයි විදුලි බිල හා විනෝද බද්ද. සියයට 7.5 ක්ව තිබුණු විනෝද බද්ද ගම්පහ දිස්ත්‍රික්කය තුළ සියයට 20 ක් දක්වා වැඩි කරලා.

කොළඹ දිස්ත්‍රික්කය තුළ සියයට 10 දක්වා වැඩි කරලා. හිටි හැටියේ වැඩි කරල ලියුමක් එවනවා. ගෙවා නැති හිඟ මුදල ඒ කියන්නේ වැඩි කරපු මුදල පසුගිය මාසවල සිට ගෙවන්න කියලා. මේවා කාටද කියන්නේ. 1940 දී පමණ මේ විනෝද බද්ද ගෙනාවේ සෑම කර්මාන්ත ශාලාවකටම ප්‍රාදේශීය සභාවෙන් හරි පළාත් සභාවෙන් හරි සේවකයෝ දෙන්නෙක් දෙනවා. එක් කෙනෙක් ගිනි නිවන්න.

අනෙක් කෙනා වැසිකිළි කැසිකිළි පිරිසුදු කරන්න. මෙන්න මේ දෙදෙනාට මුදල් ගෙවන්න තමයි මේ විනෝද බද්ද ඇති කළේ. ඒ අන්දමේ කිසි දෙයක් වෙන්නේ නැතිව විනෝද බද්දක් අය කරනවා. ප්‍රාදේශීය සභාවලින් සිනමා ශාලාවලට කිසිදු සේවාවක් සිදු වන්නේ නැහැ.

මීට අමතරව සිනමා ශාලාවක් පවත්වාගෙන යන්න අවසර පත්‍රයක් ගත යුතුයි. පොදු ප්‍රදර්ශන බලපත්‍රයක්. වරිපනම් බදු, වාර්ෂිකව තවත් බලපත්‍රයක් ගන්න ඕනේ. විදුලි බිල්, කැන්ටිම පවත්වනවාට වෙනම, බාර් එකක් තිබුණොත් ඒකට වෙනම. කටවුට්වලට වෙනම. මේ ආකාරයට අපිට ලැබෙන සියයට 50 න් මේ සේරම ගෙවිය යුතුයි. ඉතින් කොහොමද අපි ඔලුව උස්සන්නේ. මේ හැම විදිහකින්ම අපෙන් බදු අරන් චිත්‍රපටයක් බලන්න එන ප්‍රේක්ෂකයාගෙනුත් බද්දක් ගන්නවා. මේවාට සහනයක් නොලැබුණොත් මේ කර්මාන්තය දියුණු කරන්න බැහැ.

මේවට අමතරව තවත් වැඩ වෙනවා. මෑතකදී විශාල මුදලක් වැය කරලා දෙමළ චිත්‍රපටයක් ගෙන්වලා. මේ මුදල් නැවත ලබා ගන්න අපූරු ක්‍රමවේදයක් තමයි අනුගමනය කළේ. චිත්‍රපටයක් මණ්ඩල හරහානේ අපට ලැබෙන්නේ, නැතිව ගෙන්වන අය හරහා නෙවෙයිනේ. නමුත් මේ චිත්‍රපටය ගෙන්වපු කෙනා ඇතුළත් වෙලා ශාලා හිමියන්ගෙන් සියයට 75, 65, 70 අධි ප්‍රමාණයේ ප්‍රතිශතයක් ඉල්ලනවා. ඒ ප්‍රතිශතය ඉල්ලන්නෙත් අපි කියමු දුවන දින ගණන සති තුනයි කියලා. එතකොට සියයට 75 ගණනේ සති තුනට ගණන් හදල එයින් ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕනෑ. ඊට පස්සේ තමයි කොපි ගහල චිත්‍රපටය අපට ලැබෙන්නේ.

මේ චිත්‍රපටය ලංකාවේ දුවයි ද නැද්ද කියන එක මේ අයට වැඩක් නැහැ. සංස්ථාවේ සභාපතිතුමාට තිබෙන බලය හරියට පාවිච්චි කරනවා නම් මෙවැනි දේ සිදු වෙන්න බැහැනේ. අපිට වෙන අසාධාරණය කාටද කියන්නේ. අන්තිමට බැට කන්නෙත් හැම ප්‍රශ්නයකටම තනියම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේත් චිත්‍රපට ශාලා හිමියන්ටයි. සිනමා ශාලා බොහොමයක් තියෙන්නේ නගරේ හොඳම තැන. සමහර දවස්වලට රුපියල් 400, 600 ආදායමට චිත්‍රපට දුවනවා. කියන්න ලැජ්ජයි ඊට එහා පැත්තේ ඉන්න කඩල විකුණන, බුලත්විට විකුණන කෙනා මීට වැඩිය හොයනවා. මෙන්න නියම සැබෑ තත්ත්වය.

ප්‍රදර්ශකයෝ මීට පෙර මේ සම්බන්ධයෙන් කතා කළේ නැහැ නේද? ඇයි ඒ?

ඇත්තෙන්ම දැන් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රදර්ශකයෝ නැහැ, සංගම් නැහැ. ඒවා නියෝජනය කරන්නේ වෙනත් පාර්ශ්වයන්. අපි කතා නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නය තිබුණා. ඒ මිනිස්සු චිත්‍රපටය ගැනීමේ අවස්ථාව නැතිවන නිසා විකල්පයක් නැහැනේ. නිශ්ශබ්දව ඉන්නවා. සිනමාව විසින් ඇති කරපු සංස්කෘතිය සිනමාව විසින් ගොඩ නගන ලද කලාත්මක හා වානිජ සංස්කෘතිය විතරක් නොව ඒ හා පැමිණි අපගේ අභිමානය නැති වෙලා.

අපි දැන් නිකමුන් වෙනවා. මෙහෙම මේක මියැදෙන්න දීලා ඔහේ බලාගෙන ඉන්න පුලුවන්ද? මේ ක්‍රමය වහා වෙනස් කළ යුතු නැද්ද, සිනමාවේ නාමයෙන් හරි මේක වෙනස් කරන්න ඕනෑයි කියලා තමයි අපි මේ ඉදිරිපත් වෙලා මේ හෙළිදරව්ව සිද්ධ කරන්න තීරණය කළේ. ඒක හින්ද සරසවිය අපට දුන්නු මේ අවස්ථාවට ස්තුතිවන්ත වෙනවා.