වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සැන්ටින් සමුගනී

සැන්ටින් සමුගනී

අඩසිය වසකටත් වැඩි කාලයක් සිනමාව පුංචිතිරය වේදිකාව පෝෂණය කළ ප්‍රවීණ නළුවකු වූ සැන්ටින් ගුණවර්ධන 16 වැනිදා අභාවප්‍රාප්ත විය. 1962 හෙන්රි ජයසේනයන්ගේ ජනේලය වේදිකා නාට්‍ය තුළින් සිය රංගන ජීවිතය ඇරඹු සැන්ටින් ගුණවර්ධන වෘත්තියෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියෙක් ලෙස කටයුතු කරනු ලැබිණි. කුවේණී, තවත් උදෑසනක්, මනරංජන වැඩවර්ජන, අහස් මාලිගා, හුණුවටයේ කතාව, අපට පුතේ මගක් නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, සුබ සහ යස, ජුලියස් සීසර් ආදී බොහොමයක් වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක විය. වේදිකාවෙන් රංගනයට අත්පොත තැබූ සැන්ටින් ගුණවර්ධන සිය රංගනයෙන් අඩු ප්‍රමාණයක් සිනමාවට දායක විය. බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ සිව්රඟ සේනා ප්‍රියන්ත කොළඹගේ ඇරුමෝසම් වැහි චිත්‍රපට දෙක සඳහා පමණක් රංගනයෙන් දායක විය.

පුංචිතිරයේ ජනප්‍රිය චරිතයක්වු සැන්ටින් සඳක කතාවක්, අත්ත බිදෙයි, ගිරය, ගැහැනු ළමයි, දූදරුවෝ, සෙනෙහෙවන්තයෝ ආදී ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක විය.

හුණුවටයේ සයිමන් සෂාවා, සුබ සහ යස නාට්‍යයේ සුබ මෙන්ම සෙනෙහෙවන්තයෝ නාට්‍යයේ කළ පියාගේ චරිතය තුළින් සැන්ටින් ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක්විය.

වටුවත, අහිංසා, කණකොක් හඬ, වෙර පුඤ්ඤ, නිග්රෝධ මිග, පැණි වළලු ආදී කෙටි නාට්‍ය හතක් සැන්ටින් විසින් නිෂ්පාදනය කළ අතර මෙම සියලු නාට්‍ය සඳහා සංගීත නිර්මාණය කරනු ලැබුවේ ඔස්ටින් මුණසිංහයන් විසිනි.

හෙන්රි ජයසේනයන්ගේ ජනේලය නාට්‍යයේ පුටුපාල ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එක්වූ සැන්ටින් වයස අවුරුදු විසි හතරේදී රංගනයට එක්විය. දියණියකගේ පියකු වන සැන්ටින් ගුණවර්ධන මිය යන විට හැත්තෑ හයවන වියේ පසුවිය. අවසන් කටයුතු ඔහුගේ ඉල්ලීම පරිදි පසුදාම සිදු කෙරිණි. චන්දන